Skip to main content
west-indies-cricket

 

 

බටහිර ඉන්දීය කොදෙව් දූපත් රාජ්‍යයන් යනු ක්‍රිකට් ඉතිහාසය තුල තමන් නමින් පරිච්ඡේද ගණනාවක් ලියා ගන්නා ලද ස්වකීය ආරකින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙමින් ලෝක ක්‍රිකට් වංශකතාව තුල ප්‍රබල ක්‍රිකට් කණ්ඩායමක් වන අතර ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් පටන් බ්‍රයන් ලාරා තෙක් වන කොදෙව් ක්‍රිකට් පෞරෂයන් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට එක් කරන ලද අපූර්ව කැලිප්සෝ විචිත්‍රත්වයද අපුරූය. 

 

වරෙක සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විස්තර විචාරාක රිචී බෙනෝ, කොදෙව් දේශයට ආවේණික කැලිප්සෝ ක්‍රිකට්ද, පාකිස්තානයට ආවේණික් අවිනිශ්චිත හා ප්‍රවේගකාරී ක්‍රීඩා රටාවද, ශ්‍රි ලංකාවට ආවේණික නිසොල්මන් සහ ඉතා සටන්කාමී ක්‍රීඩා විලාශයද ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට අහිමි වූ ගිය කලක ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අඩක් අකර්මණ්‍ය වූ රෝගියෙකු බවට පත්වනු ඇතැයි වරෙක කරන ලද ප්‍රකාශයෙහි වලංගුතාව වැඩි කරමින් මේ වනවිට කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව දැඩි අගාධයක් වෙත ගමන් කරමින් සිටියි.

 

2012 වසරේ හදිසි එංගලන්ත සංචාරය හරහා එලියට පැමිණි එතෙක් අලුයට ගිණි පුපුරු මෙන් තිබූ මෙම පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර වූ විරසකය මේ වනවිට පිළිකාවක් මෙන් කොදෙව් ක්‍රිකට් වඩාගෙන හමාරය. ඩ්වේන් බ්‍රාවෝ, ක්‍රිස් ගේල්, සුනිල් නරායින්, කිරන් පොලාඩ්, ඩ්වේන් ස්මිත් වැනි නූතන කොදෙව් ක්‍රිකට් ප්‍රතිරූපයන් තම ජාතික කණ්ඩායම් කොන්ත්‍රාත්තුව පසෙකලා ඉන්දියානු රුපියල මත තම දෛවය සොයා යෑමත් සමඟම පුළුල් වූ කොදෙව් ක්‍රිකට් ශෝකාලාපය බිග්බෑශ්, පී එස් එල්, බී බී එල් වැනි ලෝ පුරා විහිදුණු ක්‍රිකට් වාණිජ්‍යකරණ ලීගයන් හී තව දුරටත් දිග හැරෙමින් පවතී. 2005 වසරේදී ක්‍රීඩකයන් විසින් පරිපාලනයෙන් කරන ලද ඉල්ලීම් පසෙකලමින් අලාභ ලබමින් තිබූ කොදෙව් ක්‍රිකට් පරිපාලනය කරන ලද ගෙවීම් කප්පාදුවේ විරසකය අද වන විට ලෝක කුසලාන 03ක් දිනු කොදෙව් කණ්ඩායමේ ලෝක කුසලාන සහභාගිත්වය මත ප්‍රශ්නාර්ථයක් පවා ඇතිකොට හමාරය.

 

2_0.jpg

 

3_0.jpg

 

4.jpg

 

49197.jpg

 

කොදෙව් සුපිරි තරු ලෝ වටා තම සුපිරි ක්‍රීඩාරටාවන් ප්‍රදර්ශණය කරමින් ගෝලීය වාණිජ ක්‍රිකට් ලීගයන් හී ඉහළම මිලක් හා ඉල්ලුමක් දිනා ගනිමින් එකී ක්‍රිකට් ලීගයන් හී වින්දනාත්මක හා ජනප්‍රියතාව ඉහළ නැංවීමට දායක වන අතරතුර එකී කොදෙව් දේශයේම ජාතික කණඩායම ලෝ වටා ක්‍රිකට් පිටියේ අසරණ සහ අකර්මණ්‍ය තත්ත්වයකට ඇඳ වැටීම ගැන පිටස්තර ඇසකින් බැලූ විට පවා මහත් ජුගුප්සාජනක හැඟීමක් ඇතිවීම අහඹුවක් නොවනු ඇත.

 

ක්‍රීඩකයන් පරිපාලනයෙන්ද, පරිපාලනය ක්‍රීඩකයන්ගෙන්ද මාරුවෙන් මාරුවට කරන ලද පලිගැනීම් මත කොදෙව් වංශකතාවට අඳුරු පරිච්ඡේදයක් ලියවා අවසන් ය. මෙකී ගැටුම් අතරතුර දිනේශ් රාම්දීන්, ඩැරන් බ්‍රාවෝ සහ ඩැරන් සැමී වැන්නවුන් අහිමිවීම පමණක් නොව බාබඩෝස් හී ජොෆ්රා ආර්චර් වැනි යොවුන් ක්‍රීඩකයන් එංගලන්තය වැනි රටවලට සංක්‍රමණය වීම වැනි අනාගත කොදෙව් ක්‍රිකට් අනාගතයම අවිනිශ්චිතතාවකට පත්වන ආකාරයේ ගැටළු නිර්මාණය වී අවසන් ය.

 

හෙටත්, සහ තවදුරටත් ඉන්දියානු රුපියල හමුවේ කොදෙව් ක්‍රිකට් දුප්පත්වීම වැලක්වීම අතිශයින්ම අපහසු වී ඇත. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟමාලවටද ඩ්වේන් බ්‍රාවෝ, කිරන් පොලාර්ඩ්, ඩැරන් සැමී, ඩැරන් බ්‍රාවෝ නම් වී නොමැති අතර ක්‍රිස් ගේල් සහ සුනිල් නරායින් තම ඉන්දියානු ප්‍රිමියර් ලීග් බිමෙහි කාර්යබහුලත්වය මත කොදෙව් නාමාවලියමත හිස්තැනක් ඉතිරි කරනු ඇත. ඇෆ්ගනිස්තාන , අයර්ලන්ත හා සිම්බාබ්වේ අභියෝග හමුවේ කොදෙව් ලෝක කුසලාන සම්ප්‍රාප්තිය අවහිර ව යතොත් එය කැලිප්සෝ ක්‍රිකට් නිමාවේ නවමු පරිච්ඡේදය බවටද පත්වනු ඇත.

 

ඉදින් පසුව, ඉන්දියානු මුදලාලිකරණයෙන් හපයක් වී ගේල්ලා බ්‍රාවෝලා බිමට වැටුණු පසු කොදෙව් කැලිප්සෝ ක්‍රිකට් හී අසිරිය අතීතයට පමණක් සීමා වී යාම කිසිවකුට හෝ නැවතිය හැකි වේ නම් එය අතිශයින්ම රමණීය වනු ඇත.

 

 

Sri Lankan Editor

Asanka Arambagoda

 Sri Lankans Online Sub Editor Colombo

 

Standard (Image)
sport