Skip to main content
Chandi

 

2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් දූපත් සංචාරය ඇරඹීමට ඇත්තේ තවත් දිනකිහිපයකි. වසර 11කට පසු ටෙස්ට් තරඟමාලාවක් සඳහා කොදෙව් දේශය වෙත ගොඩබසින ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශය තුල ප්‍රථම ටෙස්ට් තරඟමාලා ජයග්‍රහණය ලබා ගැනීම සඳහා තම උපරිම ප්‍රයත්නය යොදවනු ඇත.

කුමාර්  සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තිලකරත්න දිල්ශාන්, ලසිත් මාලිංග සහ මුත්තයියා මුරලිදරන් වැනි ප්‍රභල ක්‍රීඩකයන්ට පවා නොහැකි වූ මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට චන්දිමාල් සහ බළමුළුවට හැකි වේ දැයි බලා සිටිය යුතුය.

 

කොදෙව් දේශය තුල ලබන ටෙස්ට් ජයග්‍රහණය ශ්‍රි ලංකා කණ්ඩායමට දෙඅන්තයකින් වැදගත් වන්නේ එරටදී ලබන මුල්ම ජයග්‍රහණය මෙන්ම වත්මන් ටෙස්ට් පිටිය තුල ශ්‍රි ලංකා කණ්ඩායමට හිමිව ඇති ස්ථානයෙන් ඔබ්බට ඒමට එය ඉතා වැදගත් ආරම්භයක් වන හෙයිනි. කොදෙව් සංචාරයෙන් අනතුරුව ශ්‍රි ලංකා කණ්ඩායාමට නැවත හිමිවන්නේ තම මව්බිමේ තරඟමාලා දෙකක් හේතුවෙන් මෙම තරඟමාලාව ජයග්‍රහණය කිරීමට හැකි වේ නම් එය ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරි අනාගතයට ඉතා වැදගත් වනු ඇත. දැඩි අර්බුදයට ලක්ව සිටින මෙරට ක්‍රිකට් කණ්ඩායම හතුරුසිංහගේ ආගමනය ගැන මහත් බලාපොරොත්තු තබා තිබීමත් හතුරුසිංහට කණ්ඩායම සමඟ කටයුතු කිරීමට ප්‍රමණාවත් කාලයක් මේ වනවිට ගෙවී ගොස් තිබිමත් හේතුවෙන් හතුරුසිංහ පාර්ශවයෙන්ද මෙම තරඟමාලාව අතිශයින්ම තීරණාත්මක වනු ඇත. එමෙන්ම ආබාධයකින් අනතුරුව කණ්ඩායමට එක්වන ඇන්ජිලෝ මැතිව්ස් හටද මෙම තරඟාමාලාව අතිශයින්ම වැදගත් වන්නේ ඇන්ජිලෝ මැතිව්ස් නම් මෙරට ක්‍රිකට් පිටියේ මීළඟ දැවැන්ත ප්‍රතිරූපයෙහි අනාගත ඉරණම තීන්දු කරන කාලවකවානුවෙහි ආරම්භය මෙය වන බැවිනි.

 

කෙසේ නමත් දිනේශ් චන්දිමාල් මේ වනවිට ටෙස්ට් පිටිය තුල තම කණ්ඩායම කෙරෙහි යම් පමණක විශ්වාසයක් ගොඩනගා ගෙන ඇති අතර අගාධයකට ගමන් කරමින් නොව අගාධයකට වැටීතිබෙන මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අවසන් මාස හය තුල යම් හෝ වර්ධනයක් සිදු වී නම් සිදු වූයේ ටෙස්ට් කණ්ඩායම පමණක් වීමේ ගෞරවයද නායකයෙකු ලෙස ඔහුට හිමිවිය යුතුය. එමෙන්ම එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් වලට වඩා දැඩි ස්ථාවරත්වයක් හා යහපත් තරඟකාරීත්වයක් ටෙස්ට් පිතිකරණ ලැයිස්තුව තුල ඇතිව තිබීමද ධනාත්මක ප්‍රතිරූපයක් මතුකරන අතර යම් පම්කණක හෝ ගැටලුවක් වේ නම් ඒ ආරම්භක පිතිකරණ ස්ථානය පමණක් වන අතර ඇන්ජිලෝ මැතිව්ස්ගේ ආගමනය සමඟම මැදපෙල පිතිකරණය තවදුරතත් ශක්තිමත් වේ යැයි උපකල්පනය කල හැක.

 

පසුගිය තරඟවාරයේ ඉන්දීය සංචාරයේදී සැකසී තිබූ බොහෝ බටහිර ඉන්දීය කොදෙව් තණතීරු පිතිකරුවන්ට හිතකර වීම හේතුවෙන් පිතිකරුවන්ට වැඩි කාර්‍යයභාරයක් මෙකී තරඟාවලිය තුල ඇති වේ යැයි බලාපොරොත්තු වීම වැදගත් ය. දිනේශ් චන්දිමාල් යටතේ එක්සත් අරාබී එමීර් රාජ්‍යය තුල පාකිස්තානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් ඉන්දියාවේ තුල රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා වැනි ශ්‍රේණිගත කිරීම් හී ඉහළින්ම සිටින දඟ පන්දු යවන්නන් ඉදිරියේ තරඟ දෙකක් ජයප‍රාජයෙන් තොරව නිමාකිරීමත් මෑත කාලීන තරඟ සමයන් හී මව්බිම තුල අපරාජිතව සිටි බංග්ලාදේශය පරාජය කිරීමත් හේතුවෙන් මෙම තරඟාමාලව පිලිබඳ ඇති බලාපොරොත්තු තීව්‍ර කරන අතර 1993 පටන් ඇරඹී කොදෙව් - ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවෙහි කොදෙව් දූපත් හී තරඟමාලාවක් ජයග්‍රහණය කරන ලද පළමු ශ්‍රි ලාංකික නායකයා මෙන්ම දෙරටෙහි ටෙස්ට් ඉතිහාසය තුල මව්බිමෙන් එපිට ටෙස්ට් තරඟමාලාවක් ජයග්‍රහණය කල පළමු නායකයා වන්නටද දිනේශ් චන්දිමාල් වෙත හැකියාව ලැබෙනු ඇත්දැයි අප ඉතා ඕනෑකමින් බලා සිටිය යුතුය.

Sri Lankan Editor

Asanka Arambagoda

 Sri Lankans Online Sub Editor Colombo

 

Standard (Image)