Skip to main content
tharjani

 

 

 

යාපනයේ ඉපිද මඩකලපුවට පැමිණ දැල් පන්දුව අතට ගන්නා ඇය අවසානයේ නවතින්නේ මෙරට දැල්පන්දු ඉතිහාසයට ආසියානු ශූරතා දෙකක් එක්කරමිනි. ආසියානු දැල්පන්දුවේ "ජිරාෆ්" ඇය විය යුතුය. අනෙක් සියලුම ක්‍රීඩිකාවන් කල යුතුව තිබුණේ කෙසේ සෝ ඇයට පන්දුව පිරිනැමීම විතරය. ඇය ගෝල් කණුව අසල සිටිමින් ඉතා පහසුවෙන් පන්දුව දැල තුලට දමන්නේ තම උසට බාධා කරන්නට එකියෙක් ලොව නොමැති බව දන්නා නිසාමය. 2009 දීත් 2018දීත් ඇය ලංකාව වෙනුවෙන් ආසියානු ශූරතාවක් දිනා දීමට කල කී දෑ සහ දැරු බර කිරා මැන බැලීම අසීරුය.

 

ඇය දෙමලෙකි. පට්ට දෙමලෙකි. යාපනයේ දෙමලෙක් වූ ඇය ලංකාවටම කියන නමුත් කිසිවකු තේරුම් නොගන්නා කතාවකි. ලංකාවේ බහුතරය අදහන්නේ තර්ජනීලා සාමයේ හා සංහිඳියාවේ ප්‍රතිමූර්තීන් ලෙසය. නමුත් තර්ජනී පවසන ඇතුලාන්තය තේරුම් ගැනීමට තරම් අප සංස්කෘතිකව මෝරා නැත. නැත්තම් අපි කැමති නැත. තර්ජනීලා දැල්පන්දුව අල්ලන්නේ අවම ක්‍රීඩා පහසුකම් තිබෙන නැගෙනහිර  විශ්ව විද්‍යායාලයේදී මිස පාසලේදී නෙවේය. දකුණේ කෙල්ලන්ට වාගේ පාසලේ පටන් දැල් පන්දු ගහන්නට පහසුකමක් තර්ජනීට තිබුණේ නැත. දකුණේ කෙල්ලන්ට වාගේ කොට සායක් ඇඳගෙන පිටියට බහින්නට තර්ජනීලාට ඉඩක් තිබුණේද නැත.

 

තර්ජනීලා අපට කියන කතාව නම් මෙරට ඇති ආර්ථික යුද්ධයේ ශෝකාන්තයයි. තර්ජනීට මෙරට ආර්ථික යුද්ධය ජයාගැනීමට අවැසි උසක් දෙවියන් ඇයට ලබාදී තිබුනි. තර්ජනීට එසේ ආසමාන්‍යය උසක් නොතිබිණී නම් තර්ජනී අද යාපනයේ කොහෙ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක සේවය කරනු ඇත. තර්ජනීලා වාගේ සියයක් යාපනයෙන් මඩකලපුවෙන් කිළිනොච්චියෙන් සොයා ගැනීම අපහසු නැත. නමුත් ලංකාවට ඇති ලොකුම ගැටලුවත් ඒ තර්ජනීලා සොයා ගැනීමට ඇති නොහැකියාවය.

 

පාසල් ක්‍රීඩාව උතුරෙ පමණක් නොව දකුණේද බෙදෙන්නේ විවිධ හැඳි වලිනි. ක්‍රීඩා සමාජ ජාලය ඇත්තෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල ක්‍රීඩා භාර නිළධාරියා සඳහා රාජකාරියක් මවන්නට මිස ක්‍රිඩකයන් තනන්නට නොවේය. ජාතික තේරිම් පද්ධතියක් ක්‍රියාත්මක වන්නට තියා එහෙව් පද්ධතියක් වත් නැත. නමුත් අප තවමත් යාපනෙන් ආ තර්ජනී ගැන උදම් අනමින් සිටින්නෙමු.

 

ක්‍රීඩා ජීවිතය තුල මා දැක ඇති හොඳම ශාරීරික යෝග්‍යතාවක් සහිත වේගපන්දු යවන්නා කිළිනොච්චියෙ දෙමලෙකි. පන්දුවාර 8ක් වේගයේ කිසිම අඩුවක් පාඩුවක් කිසිම හතියක් අමාරුවක් නොමැතිව ඔහු පන්දුයවයි. පසුවදාට වුවද ඔහු පන්දුයවන්නට සුදානම් ය. නමුත් ඔවුන් කිසි දා කොළඹක් දැක නැත. පැම්නෙන්නට සිහිනයක් වත් ඔවුන් සතුව නැත. දවල් හීන දැක තේරුමක් නැති බව ඔවුන් තේරුම් ගෙන ඇතිවා විය යුතුය.

 

අප තර්ජනී ගැන උදම් අනන්නේ ඇය අපට ආසියානු ශූරතාවක් දිනා දුන් නිසා විතරය. අප මුරලි ගැන උදම් අනන්නේද ඔහු ක්‍රිකට් ලොව දිග්විජය කල නිසා විතරය. එසේ නොවන්නට එදත් අදත් හෙටත් මුරලිලා තර්ජනීලා බෙදුම්වාදී හැඩි දෙමලුන් විතරය.

 

ලංකාවේ පොදු ජන සමාජය එලියට පැමිණිය යුතු සංස්කෘතික යුද්ධයත් ආර්ථික යුද්ධයත් තර්ජනීලා අපට පෙන්වා ඉවරය. ලංකාව සංස්කෘතික හා ආර්ථික ත්‍රස්තවාදය පරදන මොහොතේ පටන් තර්ජනීලා යාපනෙන් කිළිනොච්චියෙන් මාඩකලපුවෙන් පමණක් නොව මහ ඔය, බිබිල , පදියතලාවෙන්ද සිය  ගණන් බිහිවනු ඇත.

 

 

Sri Lankan Editor

Asanka Arambagoda

 Sri Lankans Online Sub Editor Colombo

 

Standard (Image)