Skip to main content
cook

 

 

1984 නත්තල් රාත්‍රියේ එංගලන්තයේ ග්ලොස්ටර් හී උපත ලබන ඇලෙස්ටෙයර් නේදන් කුක් එංගලන්තය එතෙක් මෙතෙක් බිහිකරන ලද හොඳම ටෙස්ට් පිතිකරුන් ලෙස හැඳින්වීම වරදක් නොමැතිවන්නේ ශතකයකින් අරඹා ශතකයකින් අවසන් කල තම ටෙස්ට් ක්‍රිකට් පුරාණය අවසන එකී පුරාණය එංගලන්තය වෙනුවෙන් රැස් කරන ලද විශාලතම ටෙස්ට් ලකුණු පැස බවට වාර්තා පොත් අතර ලියවාගන්නට ඔහු සමත් වූ නිසාය. එමෙන්ම දකුණත් පිතිකරුවන් රජයන ලොව ඉහලම ටෙස්ට් ලකුණු වාර්ථාවේ ඉහලින්ම වැජඹෙන වමත් පිතිකරුවා බවට පත්වන්නට ඇලිස්ටෙයාර් කුක් සමත්වන්නේ තම අවසන් ටෙස්ට් ඉනිමේදී අද්විතීය ටෙස්ට් පිතිකරු කුමාර් සංගක්කාර අභිබවා යමිනි.

 

2016 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජිණිය වන දෙවන එලිසබෙත් රැජිණ විසින් CBE (MOST EXCELLENT ORDER OF BRITISH EMPIRE) නම්බු නාමයෙන් පිදුම් ලද මෙම වමත් හුරු ආරම්භක පිතිකරුවා තම කුළුඳුල් ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන්නේ 2006 මාර්තු 01 දා ඉන්දියාවට එරෙහිවය. එතැන් පටන් ඇරඹි ඔහුගේ ක්‍රිකට් පුරාණය අවසන් වන විට ඔහු එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරඟ ගණනකට ක්‍රීඩා කල ක්‍රීඩකයා මෙන්ම එංගලන්තය වැඩිම තරඟ ප්‍රමාණයකට මෙහෙයවූ නායකයා වශයෙන්ද එංගලන්ත ක්‍රිකට් වංශකතාවල තම නාමය සනිටුවහන් කරගෙන තිබිණි. පළමු ස්ලිප් හී පන්දු රකිමින් වසර් 12ක් එංගලන්තය වෙනුවෙන් පිත්ත හැසිරවූ මෙම අපූරු පිතිකරුවා ටෙස්ට් ලකුණු 12000 සීමාව පසුකල ලොව ලාබාලතම පිතිකරුවා මෙන්ම එම සීමාව පසුකල එකම එංගලන්ත ජාතිකයා ලෙසින්ද එංගලන්ත ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළේය. ටෙස්ට් ශතක 33ක් තම නාමය ඉදිරියෙ ලියවා ගත් කුක් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරඟ 50ක ජයපැන් පානය කල එකම ක්‍රීඩකයාද වේ.

 

ඉතාමත් අසීරු අවස්ථාවන් වල පවා තම කණ්ඩායම වෙනුවෙන් තම පිත්ත ක්‍රියාත්මක කල ඇලෙස්ටෙයර් කුක් වේගයෙන් පරිවර්තනය වූ එක්දින රටාවෙන් ඉවත් වී තම පූර්ණ අවධානය ටෙස්ට් ක්‍රීඩාවට යොමු කරන්නේ ක්‍රීඩකයෙකු ලෙස තම ක්‍රීඩා දිවිය අකාලයේ නශ්ට වීමට ඉඩ නොතබමිනි.

 

ක්‍රිකට් ක්‍රීඩාවෙන් එපිට දක්ශ රචකයෙකුවන ඇලෙස්ටයර් කුක් ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතට මෙන්ම මෙට්‍රෝ පුවත්පතට තීරුලිපි රචනා කරන අතර ඇලෙස්ටෙයර් කුක් යනු සෙක්සපෝන වාදනයේද දක්ශයෙකි. බ්‍රිතාන්‍යය තුල පිළිකා මර්ධන වැඩසටහන් රාශියක ක්‍රියාකාරීයෙකු වන ඇලෙස්ටෙයර් කුක් බ්‍රිතාන්‍ය තුල සැලකෙන්නේ මහත්මා ක්‍රීඩාවේ සිටින දුර්ලභ ගණයේ මහත්මයෙකු ලෙසය. විනෝදාංශයක් ලෙස ගොවිපළක් පවත්වා ගෙන යන ඇලෙස්ටෙයර් කුක් දරුවන් දෙදෙනෙකුගේ පියෙකුද වේ.

 

ක්‍රිකට් උපන් දේශයේ ධජය රැගෙන ලොව පුරා තම පිත්තෙහි ආධිපාත්‍යය පැතිරූ ඇලෙස්ටෙයර් කුක් හිරු නොබසින අධිරාජ්‍යය ලොවට හඳුන්වා දුන් අපූරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් තම ගමනාන්තය සටහන් කරනු ලබන්නේද තරඟයක් තීරණය වෙනස් කරන ලද වර්ණවත් සහ අලංකෘත ශතකයකිනි.

 

ඇලෙස්ටෙයර් කුක් නම් ක්‍රිකට් පිටියේ හුරිබුහුටි වමත් ආරම්භක පිතිකරුවාගේ වසර 12ක වර්ණවත් සහ වාර්තාගත ක්‍රිකට් පුරාණය සිනමාපටයක් වේ නම් එකී සිනමාපටයට මීටත් වඩා සොඳුරු අවසානයක් පිටපත් කරන්නට කිසිවකුට නොහැකි වනු ඇත.

 

ඇලෙස්ටෙයර් "ද චෙෆ්" කුක් ඔබට සුභ ගමන්..!!

 

Sri Lankan Editor

Asanka Arambagoda

 Sri Lankans Online Sub Editor Colombo

 

Standard (Image)