Skip to main content
wasim akram

1966 ජුනි මස 03දා පාකිස්ථානයේ ලාහෝර් හීදී උපත ලද වසීම් අක්‍රම් යනු දශකයකට අධික කාලයක් මුළු ක්‍රිකට් ලොවම සලිත කල නාමයකි. 1990 දශකය තුල පිතිකරුවන්ට දැකිය හැකි මාරාන්තික ස්වප්නයන් වේ නම් ඉන් එකක් වසීම් අක්‍රම් නමට ලියවී තිබිය යුතුමය. පිතිකරුවන්ගේ නිදිවර්ජිත රාත්‍රීන් රැසකට වගකිව යුතු මෙම වමත් වේග පන්දුයවන්නා තම ක්‍රීඩා දිවිය තුල පිතිකරුවන් රැසකගේ ක්‍රීඩාදිවියන් වල ඛේදාන්තයන් වෙනුවෙන්ද වගකිව යුතුය. අධික වේගයකින් පිතිකරුවන් වෙත තම යෝකර් පන්දුව මුදාහල මෙම දේහදාරී වේග පන්දු යවන්නා පාකිස්තාන ධජය වෙනුවෙන් ටෙස්ට් තරඟ 104කුත් එක්දින ජාත්‍යන්තර තරඟ 356කුත් නියෝජනය කල අතර 2013 වසරේදී විස්ඩන් සඟරාව විසින් නම් කල ලොව එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිතම ලෝක ටෙස්ට් කණ්ඩායමට ඇතුලත් වූ එකම පාකිස්තාන ජාතිකයාද වේ.

Court-issued-Arrest-Warrants-against-Wasim-Akram-770x430.jpg

 

තම ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුල රිවර්ස් ස්වින්ග් පන්දුව නවමු තලයකට රැගෙන ගිය වසීම් අක්‍රම්, එක්දින පිටිය තුලත් ටෙස්ට් පිටිය තුලත් එක ලෙස දස්කම් දැක් වූවෙකි. මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම එක්දින කඩුළු දවාගැනීමේ ලෝක වාර්තාව ඔහු සතු කරගන්නා තෙක්ම එකී වාර්ථාව වසීම් අක්‍රම් නමට ලිය වී තිබූ අතර ලසිත් මාලිංග විසින් ජාත්‍යන්තර කඩුළු ත්‍රිත්වයන් හතරක් දවා ගන්නා තෙක්ම කඩුලු ත්‍රිත්වයන් හතරක් දවාගත් ලොව එකම ක්‍රීඩකයා වූයේද ලාහෝරයෙන් බිහි වූ වසීම් අක්‍රම් ය. 1992 වසරේ ඉම්රාන් ඛාන් පාකිස්තානය වෙනුවෙන් ලෝක කුසලානය දිනා ගනිද්දී එකී ලෝක කුසලානය පාකිස්තානයට දිනා දීමට ප්‍රබල දායකත්වයක්  එවකට 26 හැවිරිදී මෙකී වමත් වේග පන්දු යවන්නා ලබා දී තිබිණි. 1984 වසරේදී වයස අවුරුදු 18ක යෞවනයෙකු ලෙස පාකිස්ථාන ජාතික කණ්ඩායම් වරම් දිනාගන්නා වසීම් අක්‍රම්, 2002 වසරේදී විස්ඩන් සඟරාව විසින් ලොව බිහි වූ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්භාවනාවට පාත්‍ර වන්නේ  මුත්තයියා මුරලිදරන්, ඇලන් ඩොනල්ඩ්, ග්ලේන් මැග්‍රාත්, වකාර් යුනිස්, ජොයෙල් ගානර් වැනි පන්දු යවන්නන් අභිබවා යමිනි.

 

1984 වසර අගභාගයේ නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට පෙරාතුව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පාකිස්තාන කණ්ඩායමේ පුහුණු සැසියක් පැවති අතර ඒ සඳහා එවකට තම පාසල් කණ්ඩායමට හෝ ක්‍රීඩා කිරීමට සුදුසුකම් නොලත් වසීම් අක්‍රම් මෙම පුහුණු සැසියේ දැල් පන්දු යවන්නෙකු ලෙස එක්වීම සඳහා අවසරයකින් තොරවම පැමිණ තිබිණි. මුල් දින දෙකෙහිදීම අවස්ථාවක් නොලැබුනද තෙවන දිනටත් ලාහෝ‍ර් පිටියට ආ මෙම  යෞවනයාට මුහුණ දෙන්නට ජාවේද් මියැන්දාද් තීරනය කල අතර එකී තීරණය පාකිස්තාන ක්‍රිකට්‍ වංශකතාවට කොපමණ බලපෑමක් කලේද යන්න මේ වනවිට තහවුරු වී අවසන් ය.  තම තෙවන එක්දින තරඟයේදීම කඩුළු 5ක් දවාගැනීමෙන් නොනැවතී තම දෙවන ටෙස්ට් තරඟයෙදී කඩුළු 10ක් දවාගනිමින් ඉනික්බිති දශක 2කට ආසන්නව ක්‍රිකට් පිටිය පුරා හමාගිය මාරාන්තික වසීම් සුළි කුණාටුවෙහි ආරම්භය සටහන් කළේය. 


වසීම් අක්‍රම් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 257 තවමත් අංක 08 පිතිකරුවෙකු විසින් ලබාගත් ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව වන අතර එම ඉනිම පුරාවට ඔහු විසින් එල්ල කරන ලද හයේ පහරවල් 12 අදටත් ඕනෑම පෞද්ගලික ටෙස්ට් ඉනිමක එල්ල කරන ලද වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් වේ. 1999 වසරේ පැවැති ලෝක කුසලානයේ දී පාකිස්තාන කණ්ඩායම අවසන් මහා තරඟය වෙත රැගෙන එන්නට මෙම වමත් වේග පන්දු යවන්නා සමත් වුවද මෙකී තරඟයේදී පාකිස්තානයට අමිහිරි පරාජයක් අත්විඳින්නට ලැබීමත් සමඟම මෙම තරඟය මුදලට පාවා දුන් බවට චෝදනා එල්ල වන්නට විය. මෙම අපහාසත්මක චෝදනාවන් වසීම් අක්‍රම් වෙතද එල්ල වූ නමුත් එම චෝදනාවන් ඔප්පු කරන්නට කිසිවකුට නොහැකි විය. වයස අවුරුදු 30දී දියවැඩියා රෝගයට ගොදුරු  වූ වසිම් අක්‍රම්, දියවැඩියා රෝගය පිටුදැකීම සඳහා සමාජ සේවා සංවිධාන රාශියකට ක්‍රියාකාරීයෙකු ලෙස තම දායකත්වය ලබා දෙන්නට විය.


2003 වසරේ ලෝක කුසලාන තරඟමාලාවේ තරඟ 06කදී කඩුළු 12ක් දවාගත් වසීම් අක්‍රම් අනපේක්ශිත ලෙස කණ්ඩායමෙන් ඉවත් කර දමන්නට පාකිස්තාන තේරීම් කමිටුව කටයුතු කල අතර පාකිස්තාන කන්ඩායම 2003 ලෝක කුසලාන තරඟමාලාවේ සුපර් සික්ස් වටයට සුදුසුකම් නොලැබීම මීට ආසන්නතම හේතුව විය. කෙසේ නමුත් ඉන් අනතුරුව නැවත වරක් කොළ පැහැ පාකිස්තාන වර්ණයෙන් සැරසීමට අවස්ථාවක් නොලද මෙම වමත් වේග පන්දු යවන්නා ලෝක ක්‍රිකට් ඉතිහාසය තුල තම නාමය නොමැකෙන ලෙස සනිටුවහන් කරමින් සමුගැනීමේ තරඟයක් නොමැතිවම ක්‍රිකට් අඹරෙන් බැස යන්නට ගියේය. 


කසකරුවෙකු මෙන් තම වමතෙහි රැඳි පන්දුව පිතිකරුගේ දෙපා අතරින් කඩුළු වෙත පියඹා යැවූ වසීම් "ද විපී" අක්‍රම් නම් වූ ක්‍රිකට් ලොව බියකරු ස්වප්නයෙහි මරාන්තික අසරුවාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා.....!!

.

Sri Lankan Editor

Asanka Arambagoda

 Sri Lankans Online Sub Editor Colombo

 

Standard (Image)