Skip to main content
Art

 බොහෝ විට එකල නිවෙස්හි විශාල ආලින්දයක් ද වූ බැවින් මේ අර්ථවත් සුන්දරත්වය එහි මනා සේ ගැබ් වී තිබිණි. බෞද්ධ නිවසකට උරුම වූ යම් අනන්‍යතාවයක් සටහන් කළ පැරැන්නෝ ඉන් අපමණ සුවයක් ද නිවීමක් ද අත් වින්දහ. එසේ ම යමෙකු තම නිවසට පිවිසීමට ප‍්‍රථම ඔහුට හෝ ඇයට මේ පුණ්‍යවන්ත සොඳුරු දසුනින් සංග‍්‍රහ කිරීමට ද නිරායාසයෙන් ම ලත් ඉඩක් එකල බෞද්ධයා සතු විය.

මෙහි පදනම සකස් වන්නේ 1880. 06. 27 වෙනි දින අම්බලන්ගොඩ දී උපත ලබන ලද කුසලතාවන්ගෙන් පරිපූර්ණ එම්. සාර්ලිස් නම් වූ අග‍්‍රගණ්‍ය ශ‍්‍රී ලාංකික සිත්තරාගේ තෙලිතුඩිනි. කුඩා කල පටන් බුදු දහමට ලැදි වූ සාර්ලිස් පාලි, සංස්කෘත හා කාව්‍ය ශාස්ත‍්‍රය හදාරමින් නව යොවුන් වියෙහි දී ම කොළඹ පැමිණියේ ය. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නා හිමියන්ගේ දුලබ මඟපෙන්වීම ද නො අඩුව ලත් ඔහු විද්‍යෝදය පිරිවෙනෙහි චිත‍්‍ර ඇඳීම ආරම්භ කරමින් තම හැකියාවන්ගෙන් බෞද්ධ බිතුසිතුවම් කලාව පෝෂණය කිරීම ඇරඹී ය.

යටත් විජිත යුගයේ අග භාගය වන විට මහනුවර යුගයේ බෞද්ධ චිත‍්‍ර කලාව බොහෝ දුරට අභාවයට යමින් තිබූ අතර යුරෝපීය ආභාසය ලත් බෞද්ධ චිත‍්‍ර කලාවට වැඩි නැඹුරුවක් දක්වන චිත‍්‍ර ශිල්පීන්ගේ තෙලිතුඩින් විහාර බිතු සිතුවම් හැඩ වන්නට විය. බොහෝ විට මෙම සිතුවම් තුළ ස්වභාවිකත්වය මනා සේ ප‍්‍රකට වීම නිසා රසික සිත් ඇද බැඳ ගැනීමේ විශේෂ හැකියාවක් එ්වාට තිබිණි. සාර්ලිස් මෙකී සිතුවම් කලාවේ හිණි පෙත්තෙහි වැජඹුනු අද්විතීය කුසලතාවයක් පෙන්වූ සිත්තරා විය. එමෙන් ම ඔහු මූර්ති ශිල්පයෙහි ද දැක්වූයේ මහත් ශූූර බවකි. කොළඹ අශෝකාරාමය, පොතුපිටියේ පූර්වාරාමය, තම්මිටි බෝමළු විහාරය ඔහුගේ හැකියාවන්ගෙන් හැඩ වුණු සුන්දර විහාර අතර ප‍්‍රකට ය. එහෙත් විශේෂ කරුණ නම් මේ සිත්තරාගේ ගුරුවරයෙකු ගැන ප‍්‍රකට සඳහනක් නො වීම ය. බොහෝ විට තම නිර්මාණකරණයේ දී ගවේෂණය හා ස්වයං අධ්‍යනය තුළින් ඔහු තම කුසලතාවය වඩා තියුණු කර ගන්නට ඇත. කෙසේ වෙතත් මෙම ශෛලිය තුළ දී ඔහු ඉක්මවා ගිය ශිල්පියෙකු තවත් නැති තරම් ය. අජන්තා සම්ප‍්‍රදාය ගුරු කොට ගත් හෙළ සිතුවම් කලාවට බැහැර යුරෝපීය ආභාසය ඇසුරු කළ සිතුවම් කෙරෙහි ලාංකික විද්වතුන් එතරම් ප‍්‍රසාදයක් නැති වුවත් ඔවුන් පවා සාර්ලිස්ගේ සිතුවම් අගය කළහ. බුදු දහමට තිබූ ලැදියාව හේතුවෙන් ම මේ කලාකරුවා බෞද්ධ සිතුවම් කලාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පළමුවරට බෞද්ධ සිතුවම් මුද්‍රණය සඳහා යොමු විය. එ්, සිරිලක පුරා අඩු මුදලකට බෞද්ධ නිවෙස් වෙත ලබා දීම සඳහා ය.

ක‍්‍රමයෙන් බුදු දහමින් ඈත්ව සිිටි එවක ලක්වැසියන් තම නිවෙස්හි එංගලන්ත රජ පවුලේ ප‍්‍රභූන්ගේ සිතුවම් ප‍්‍රදර්ශනය සඳහා යොමුවී තිබිණි. වැඩිකලක් යාමට මත්තෙන් සාර්ලිස්ගේ බලාපොරොත්තු සඵල වන්නට විය. එවකට ලංකාව තුළ උසස් තත්ත්වයේ වර්ණ පින්තූර මුද්‍රණය සඳහා පහසුකම් නොතිබීම හේතුවෙන් මෙම සිතුවම් මුද්‍රණය සඳහා ජර්මනියට යැවීමට ඔහුට සිදු විය. එ්වා ලිතෝ මුද්‍රණයෙන් හැඩ වෙමින් තිබිණි. එසේ දුෂ්කර වූ කැප කිරීමක ප‍්‍රතිඵලය සාර්ථකත්වය කරා යන විට ඔහු එයින් සියුම් සතුටක් භුක්ති වින්දේ ය. ක‍්‍රමයෙන් එ්වා බෞද්ධයන් අතර ජනප‍්‍රිය වූ අතර පරගැති චින්තන දහරාවට හසුව ගුණ දහමින් ඈත්වෙමින් සිටි බොදු ජනතාවට යළිත් බුදු දහම සමීප කරවීමට තෙලිතුඩ යොදාගැනීමේ හැකියාව ඔහු මැනවින් ප‍්‍රකට කළේ ය. එහි දී බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු දැක්වූ ඓතිහාසික දායකත්වය සදා අමරණීය වන බව ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.

සිදුහත් කුමරු පියුම් පිට වැඩම කිරීම, කේශ ෙඡ්දනය, අභිනිෂ්ක‍්‍රමණය ඇතුළු බුද්ධ චරිතයේ අසිරිමත් සිදුවීම් අලලා සැකසුනු සිතුවම් බොහොමයක් මේ අතර විය. අදටත් ඇතැම් පැරණි නිවෙස්හි රාමුකරන ලද මෙම සිතුවම් දැකිය හැකි ය. මේ උතුම් ප‍්‍රයත්නය තුළ දී ජන විඤ්ඤානයෙහි කැපී පෙනෙන වෙනසක් බෞද්ධ සිතුවම් කලාවට කළ හැකි බව ද ඔහු ඔප්පු කළේ ය. එහෙත් අවාසනාවකට එම ප‍්‍රබෝධය නිර්මල ධර්මයෙහි අසිරියෙන් අභිෂේක ගන්වන්නට එකල පන්සල අපොහොසත් වීම නිසා කාලයාගේ ඇවෑමෙන් එම සිතුවම් ද මිනිසුන්ගේ ගුණධර්ම මෙන් සමාජයෙන් ඈත්වන්නට විය. එමෙන් ම ඊට බලපෑ වෙනත් හේතූන් ද තිබෙන්නට ඇත. කෙසේ වෙතත් එම සිතුවම් කෙරෙහි බෞද්ධයා දැක්වූ ගෞරවාදරය සැලකිය යුතු කලක් මේ දහම් දිවයින තුළ පැවතීම සිතා බැලිය යුතු කරුණකි. පසුකාලීනව බලපෑ සමාජ ආකල්ප හා පරගැති චින්තන දහරාව යළි සක‍්‍රීය වීම තුළ යළිත් ලක්වැසියා කළු සුද්දන්ගේ රූකඩයන් බවට පත්වීම නිසා බෞද්ධ සිතුවම් කලාව ගෘහ වාසයෙන් ඈත් විය. එහෙත් දීර්ඝ කාලයකට පසුව භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ‍්‍රී සද්ධර්මය ඇසෙන මේ යුගයේ එවැනි සිතුවම් යළි නිවෙස් තුළ දැක ගැනීමට බෞද්ධයන් අකමැති වීමට හේතුවක් නැත. එහෙත් අද ඇති ගැටලූව නම් ඊට අදාළ කිසිදු යන්ත‍්‍රණයක් අප සතුව නොමැති වීම ය.

බෞද්ධ සිතුවම් කලාව, පෘථග්ජන සමාජය බුදු දහම වෙත නැඹුරු කරන සොඳුරු අත්වැලක් කරගත හැකි යුගය දැන් එළඹ ඇතැයි සිතමු. ඉදින් යමෙකු විසින් සම්මත නො කළ ද සිත නිවන – පින් වැඩෙන සොඳුරු ලැබීමකට අපි කවුරුත් ප‍්‍රිය කරමු. එය අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් බවට තෙලිතුඩකින් සාක්‍ෂි දරන්නට අපට ලැබෙන මහඟු අවස්ථාවකි.

සිරිලක තුළ දක්‍ෂ සිත්තරුන් හිග නැත. ලොව පුරා ප‍්‍රකට බෞද්ධ සිතුවම් දැනුදු බොහෝ තැන්හි අපගේ නෙත්මානයට නිතර හසුවෙයි. එහෙත් බොදු නිවෙස්හි තවමත් දක්නට ඇත්තේ් රාග ද්වේෂ මෝහ කෙලෙස් මුල්වලට ආහාර සපයන, පාපී ආශාවන්ට අනුබල දෙන දෙස් විදෙස් කලා නිර්මාණයන් ය. එ් අතර අල්ප වශයෙන් සිත් සනසන උසස් නිර්මාණ ඇතත් එ් තුළ බෞද්ධයන්ගේ සැබෑ අවශ්‍යතාවය ඉටුවන්නේ නැත. බොදු, නිවුනු, පසන් නිවසකට බෞද්ධ සිතුවම්, කලා නිර්මාණ තරම් අර්ථවත්, ගැළපෙන තවත් නිර්මාණ මේ ලොව තුළ ඇතැයි අපි නො සිතමු.

නිතිපතා නිවැසියන්ගේ ශ‍්‍රද්ධා ගෞරවය වඩවන අප නිරායාසයෙන් දහම වෙත යොමු කරන බෞද්ධ සිතුවම් දක්‍ෂ ලාංකේය සිත්තරුන්ගේ තෙලිතුඩෙහි පහස ලබමින් බොදු පසන් නිවෙස් කරා පැමිණීම අත්‍යවශ්‍ය ය. අපි විවෘත ආරධනාවක් ලෙසින් මේ කරුණ සිහිපත් කර සිටිමු. එම්. සාර්ලිස් සිත්තරාණන් ආරම්භ කළ මේ උතුම් කර්තව්‍යය එතුමන් නැවැත්වූ තැනින් ඉදිරියට ගෙන යමින් මේ පුණ්‍ය භූමියට දායාද කිරීමේ වගකීම අප සියලූ දෙනා වෙත ම පැවරී ඇත. එතුමන්ට ගෞරව උපහාර පිණිස එතුමන්ගේ ම සිතුවම් කිහිපයක් හෝ නීත්‍යානුකූල ලෙස යළි මුද්‍රණය කිරීම ද සුදුසු යැයි යෝජනා කරමු. එසේ ම එදා පටන් ඉතා සාර්ථක ලෙස ජනප‍්‍රියත්වයට පත්වූ බෞද්ධ සිතුවම් කලා ගෘහ ප‍්‍රවේශය නව නිර්මාණකරුවන්ට ද හොඳ අවස්ථාවකි. එහෙත් එහි දී මුදල මත හඹා නො යමින් සාධාරණ මිලක් මත නව ලොව තුළට බෞද්ධ සිතුවම්කරණයේ උතුම් ප‍්‍රවේශය ලබා දීමට ද අප වගබලා ගත යුතු ය. නැතහොත් එය ද තවත් එක ජාවාරමක් පමණක් බවට පත්විය හැකි ය. සිරිලක යළි දහම් දිවයිනක් කරා යන ගමනේ යම් දායකත්වයක් සිතුවම්කරණයෙනුත් ලබා දීමට අපටත් හැකි නම් එය ඉතා දුර්ලභ භාග්‍යයකි.

Standard (Image)