Skip to main content
Drama Sinhabahu Dr Sarathchandra

ඉතින් සිංහබාහු ගැන තවත් අර්ථකතනයක් මෙය විදිහට ඉදිරිපත් කරන්න හිතුවා. මේ අර්ථකථනය ගෙන එන්නේ රංගනශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය. ඔහු අද සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. ඉතින් අපි ප්‍රසන්න්ජිත්ව හමුවෙන්න ගියා. එම අවස්ථාවේ ප්‍රසන්නජිත් නාට්‍ය කලාව ගැනේ උනන්දුවක් දක්වන තරුණ පිරිසක් සමග නාට්‍ය පුහුනුවීමක යෙදෙමින් හිටියේ.

 

සිංහබාහු ඔයාට සුවිශේෂී වෙන්නේ කොහොමද? අපි ප්‍රසන්න්ජිත්ගෙන් ඇහුවා.

සිංහබාහු නාට්‍ය මම මුලින්ම දකින්නේ පාසල් යන කාලයේ. එම අවස්ථාවේ මම බොහොම සරල විදිහට එම නාට්‍ය රසවින්දා. පසු කාලයේදී මට සිංහබාහු වඩාත් ගැඹුරින් හදාරන්න අවස්ථාව ලැබුනා. සිංහබාහු නාට්‍යයේ සාහිත්‍යමය රසය, නාට්‍යමය ගුණය, යටි පෙළ, මහාවංශයේ කතාවට දීලා තියෙන නව අර්ථකථනය වගේ දේවල් පිළිබද ගැඹුරින් හදාරන්න ගත්තා. එම ගැඹුරු හැදෑරීමෙන් පස්සේ මට සිංහබාහු ගැන තව තවත් ඇල්මක් ඇතිවුනා. පසුව මම රංගනයෙන් මෙම නාට්‍යට සම්බන්ධ උනාට පස්සේ තව තවත් සිංහබාහු ගැන මගේ උනන්දුව වැඩි වුනා. මම හිතන්නේ ලංකාවේ වැඩිපුරම විචාරයන්ට හසු වුනු නාට්‍ය අතරින් එකක් තමයි සිංහබාහු. එම විචාර අතරෙත් විචාරකයන්ට හසු නොවුණු මාන තියෙනවා කියල මට හිතෙනවා. සාමාන්‍යයෙන් සිංහබාහු ගැන විචාරවල කියවෙන්නේ පාරම්පරික පියපුතු ගැටුම, ගෙහිසිත ප්‍රේමය වගේ දේවල්. මෙම විචාර අතර මට හිතෙන්නේ සිංහබාහු කියන්නේ බලය පිලිබඳ ප්‍රබල ප්‍රකාශනයක් හැටියට. මට හිතෙන්නේ සිංහබාහු චරිතය තුල පාරම්පරික පිය පුතු ගැටුම අභිබවා ගිය බලය පිලිබඳ ප්‍රකාශනයක් ගැබ්වෙනවා කියලා.

නාට්‍යයේ එක අවස්ථාවක සිංහබාහු විසින් තමන්ගේ මවගේ සහ පියාගේ ඇත්ත තත්ත්වය දැනගන්නවා. එම අවස්ථාවේදී සිංහබාහු විසින් තම දෙමව්පියන්ව තරදියක දාල කිරනවා වගේ දෙයක් කරනවා.

“සිංහයෙක් වේ මා පියා
ජන්මයෙන් ලත් මේ අරන්නේ
පුරුදු වූ වැසේ සදා”

අනික් පැත්තෙන් මෙහෙම කියනවා.

“කුමරියක් වේ මගේ මව්
උත්තරීතර ජන්ම ලද්දී
උරුම වූ යස ඉසුරටා
මටද හිමි වේ වංග රාජ්‍ය
ප්‍රබල නරවර පරපුරෙන්
කුමක් දෝ මේ පාපේ ලෙනේ මේ විසීමේ සෙතක්දෝ”

මෙහිදී අම්මගේ සුදුසුකම් ලෙස සිංහබාහු දකින්නේ අම්මගේ ඉහල පන්තික හිමිකම් ටික විතරයි. සිංහබාහු තමන්ට අවශ්‍ය දේවල් ටික විතරක් එකතුකරගන්නවා. මෙතෙක් කල් තමන් හිටපු පරිසරය අමතක වෙලා ‘මටද හිමේ වේ වංග රාජ්‍ය’ කියලා කියනවා. ඊළඟට එයා කියන්නේ මොකක්ද?

“යන්ට දැන් නම් කාලේ වේ
මෑණියන් හා නැගණි සමගින්
උරුමේ අපගේ සොයමිනා
වංග දේසේ වෙසෙන ජනතා
කෙරෙහි වේ මා යුතුකමා”

මේ ආකාරයට ‘යුතුකම’ කියන කාරණය තමන්ගේ අවශ්‍යතාවය ඉටුකරගැනීම සඳහා භාවිතා කරනවා. අද විශේෂයෙන්ම දේශපාලන ලෝකය තුල ‘යුතුකම’, ‘වගකීම’ වගේ දේවල් තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න භාවිතා කරනවා. ගල් ලෙන ඇරියට පස්සේ සිංහබාහු තමන්ගේ මවට සහ නැගෙනියට කියන්නේ මොකක්ද?

“ඔබ දෙදෙනා මා සමග
නො අවොත් යන්ට වේ
ඔබ දමා මේ ලෙනේ
මට උරුම මා දිවිය
මා සොයා යා යුතුය”

මෙතෙක් කල් වින්ද දේ සතුට නෙමෙයිද? කියලා සුප්පා දේවි පුන පුනා අහනවා. සිංහබාහු යම් කිසි නරුම බවකින් තමයි මෙතනදී හැසිරෙන්නේ. මෙම නරුමකම එන්නේ තරුනකමත් එක්ක නෙමෙයි. බලය විසින් තමයි
ඔහුව මේ තත්වයට පත් කරන්නේ. බලය වෙනුවෙන් ඕනේ දෙයක් කැප කරන්න මෙය සුදානම් කියන එක තමයි පැහැදිලි වෙන්නේ.

අන්තිමට තාත්තා එක්ක සටන් කරන්න යනකොට මෙයාගේ හිත උණු වෙනවා.

“ආදර වදනින් අමතන ම පියා
කෙලෙසද මා දැඩි සිතින් මරන්නේ”

නමුත් එක පාරටම මෙයාගේ සිත වෙනස් වෙනවා

“උණු වුවහොත් සිත අනුකම්පාවෙන්
කරන්ට නොහැකි ය මා සතු යුතුකම”

සිංහබාහු තමන්ගේ යුතුකම වෙනුවෙන් තාත්තව පවා මරන්න සුදානම්. නමුත් තාත්තා මේ විදිහට හැසිරෙන්නේ ඇයි කියලා මෙයා තේරුම් ගන්න උත්සාහ ගන්නේ නැහැ. එම ගැටලුව සඳහා කල යුතු පිළියම මොකක්ද කියන එක කල්පනා කරන්න සිංහබාහු අමතක කරනවා. ජනතාවගේ සිත දිනා ගන්න නම් එම අවස්ථාවේ ජනතාවගේ පැත්ත ගන්න ඕනේ කියලා සිංහබාහු දැනගෙන හිටියා.

අන්තිම අවස්ථාවේ පවා සිංහබාහුගේ හිත වැඩ කරන්නේ හරිම නරුම ආකාරයට. මේකට තියෙන හොදම උදාහරණය තමයි එක අවස්ථාවක තම පියාව විවේචනය කරන සිංහබාහු, තමන්ට වාසිදායක අවස්ථාවන් වලදී තාත්තාව වර්නන කරනවා.

“දන හට වද දෙන්න මෙසේ
ඔද බිඳලමි සිංහයාගේ
සිංහ රජෙක් වේය මා පිය අසරු
යුතු විකුමෙන් පතරා”

තවත් අවස්ථාවක ‘සිංහයෙකු මෙන් බල ඇති බාහු යුවලකින් යුත් මට සිංහබාහු යයි නම් තබා ඇත.’ කියලා කියනවා.

බලය ලැබුනට පසු ඉතාම නරුම ආකාරයට හැසිරෙන තරුණයෙක් තමයි මම සිංහබාහු තුලින් දකින්නේ.
අවසානයේ සිංහයාගෙන් බේරන්න මරණ බයට සිංහබාහුගෙන් ඊතලය විදුනා කියලා සමහරු කියනවා. නමුත් මම නම් එහෙම දෙයක් දකින්නේ නැහැ. එක බයවෙලා ක්ෂණිකව කරපු විදීමක් නෙමෙයි. හිතා මතාම කරපු දෙයක්. සිංහබාහුගේ මේ දෙබස් වලින් ඒක පැහැදිලි වෙනවා.

“විදිනෙමි මේ වර නොම වරදින ලෙස
සිප ගන්නට එන කල මා ලඟට”

 

Standard (Image)