Skip to main content

එදා ඉදිකටු තුඩ රත්කර තීන්තෙන් හම මත හණ ගැසූ තැන පටන් අද ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් ත්‍රිමාණ ටැටූ සමමත මැවෙන තැනට දියුණව ඇත. ඒ දියුණුව තුල ටැටූ කලාවේ ප්‍රගමනය සහ සමාජ භාවිතය පිළිබඳ කතාකරන්න අපි ගොඩවුනේ හොරණ රත්නපුර පාරේ “අලංකාර“ සැලූන් වෙතයි. අලංකාර චමීල් පසුගිය කාලයේ කළ ටැටූ නිර්මාණ නිසාම දැඩිලෙස කතාබහට ලක්වුණු ටැටූ නිර්මාණ ශිල්පියෙකි.  එය එක්තරා ආකාරයක සාකච්ඡාවට වඩා ටැටූ පිලිබඳ පාඩමක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.

 

අලංකාර අපි මේ කතාව tattoo ඉතිහාසය ගැන කතා කරලම පටන් ගමු.

2වන ශතවර්ෂයේදී මිසරයේ මමී වල පවා ටැටූ  තිබුණු බවට විවිධ පර්යේෂකයින් කරපු පර්ය්ෂණ වලින් හෙලිකරගෙන තියෙනවා. ඒ වගේම  ඉතිහාසයේදි අපට වෘත්තීය ටැටූ චිත‍්‍ර ශිල්පියෙකු ගැන ලිඛිත සාක්ෂියකට හමුවන්නේ අමෙරිකානු ජාතික Martin Hildebrandt ගේ නාමය. ඔහු අමෙරිකානු සිවිල් යුද්ධය තිබුණු කාලයේ අමෙරිකානු සොල්දාදුවන්ගේ වගේම පාර්ශව යේ ජර්මන් සොල්දාදුවන්ගෙත් ටැටූස් ඇඳලා තිබෙනවා. ඒ 1861- 1865 වැනි වර්ෂ වල. 

අම්මා බුදුවේවා, මරුවා සමග වාසේ කියලා පපුවේ පච්ච කොටාගත්ත තැන ඉඳගෙන අද ටැටූ කලාව දිහා බලද්දි ඒ වෙනස ගැන ඔබ මොකද හිතන්නෙ

ලංකාවේ මේ ටැටූ කලාව එතරම්ම ප්‍රචලිත නැහැ. නමුත් ලංකාවෙන් පිටට ඒ කියන්නේ ආසියාකරයට යුරෝපාකරයට යන්න, මේ ටැටූ කලාව ඉතාම සාමාන්‍යකරණය වුණු කලාවක්.  ලංකාවේ අතීත චිත්‍රපට දිහා බැලුවොත් බොහෝ තැන් වල පච්ච ගහනවා කියන අදහසින් මේ කලාව තිබුණා. මට මතකයි එක චිත්‍රපටයක විජය කුමාරතුංග කියනවා මගේ අම්මා කියලා පච්චයක් කොටන්න කියලා. අම්මා බුදු වේවා මරුවා සමග වාසේ වගේ වගේ ටැටූ මෙතරම්ම ප්‍රචලිත වෙන්නත් මේ විත්‍රපට බලපෑවා. එහෙම බැලුවොත් ටැටූ ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. සාමාන්‍යකරණය නොවුන ප්‍රශ්නයක් නිසා තමයි මේ ගැන අපට කතා කරන්න වෙලා තියෙන්නේ. ඇත්තටම අතීතයේ ගොඩාක් ප්‍රචලිත වුණේ lettering tattoo. ඒ කියන්නේ අකුරු වලින් හැඩවුණු tattoos. බොහෝ වෙලාවට ටැටූ නිර්මාණයක් තමන්ගේ ඇඟේ ඇඳගන්න හේතුවුණු කරුණු තිබුණා. බොහෝ පිරිස් ජීවිතේ එක් විශේෂ සිදුවීමක් සිහිපත් කරමින් tattoo ඇන්දා. තවත් පිරිසක් තමන්ගේ ආදරවන්තියගේ නම ඇඟේ ඇඳගත්තා. ඒ වගේම උපන්දිනයක් විශේෂ වැකියක්, ප්‍රබලව දැනිච්ච දෙයක්, ඇඳගන්න යොමු වුණ අවස්ථාත් තිබෙනවා. වර්තමානයේදී බොහෝ පිරිස් මේ lettering tattoo වලින් එහාට ගිහින් විවිධ විවිධ චරිත රූප වගේ දේවල් ටැටූ කරන්න යොමු වෙලා තියෙනවා.

මේ කලාව ලංකාව ඇතුලේ ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ?

බටහිර ජාතීන් ලංකාවට සංක්‍රමණික වීමත් සමග ටැටූ ලංකාවට ආවා. විශේෂයෙන්ම නාවිකයින් ලංකාවට පැමිණීමත් සමග තමයි ටැටූ කලාව ලංකාවට එන්නේ. ඒ ඉතිහාසය සොයාගෙන ගියොත් අපිට දකින්න පුළුවන් වෙනවා නාවිකයින් මාලිමාව, නැවට අදාල කොඩියක් එහෙමත් නැතිනම් නැංගූරම, මුහුදු ලිහිණියා වගේ රූප ඇඳගෙන තිබුණා. ඒ හරහා මයි ප්‍රථම වතාවට මේ කලාව ලංකාවට එන්නේ. නමුත් මම කලින් කිව්වා වගේ අම්මා බුදු වේවා වගේ ප්‍රසිද්ධ ටැටූ ආවේ 70 දශකයේ වගේනේ. ලංකාවේ මේක ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ මෑත කාලීනව. විවිධ වූ චිත්‍රපට වල සුවිශේෂි වුණු චරිත ටෑටූ නිර්මාණයන් කරගෙන ඉන්නවා අපේ මිනිස්සු දැක්කා. අන්තර් ජාල පරිහරණය ඉතාමත් සුලබ දෙයක් බවට පත් වීමත් එක්ක ඒ සුවිශේෂි චරිත ඇඳගෙන තිබුණු ටැටූ අන්තර්ජාලය හරහා මිනිස්සු හොයන්න ගත්තා.  අන්න ඒ හොයාගත්තු ටැටූ අපේ අයට ඇඳ ගත්න ඔනේ වුණා. චිත්‍රපට හරහා ප්‍රසිද්ධියට පත්වුණු ටැටූ තිබුණත් ටැටූ ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ  2000න් පස්සේ.  

චමීල් ඔයා ගොඩාක් තැන් වල lettering tattoo ගැන කතා කළා. ඒවගේ තවත් විවිධ වූ tattoo වර්ග ඇති?

පොලිනේසියන් ටැටූ, ට්‍රයිබල් ටැටූ, හයිඩා ටැටූ, වගේ තවත් ගොඩාක් ටැටූ වර්ග තියෙනවා. ඒවා අතරින් අපි එකක් ගැන කතා කලොත් මෞරි ගෝත්‍රිකයින්ටම අනන්‍ය වුණු  ටැටූ තියෙනවා. ඒවත් ගෝත්‍රයෙන් ගෝත්‍රයට වෙනස් වුණු රූප තමයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ ටැටූ භාවිතා කරලා තියෙන්නේ තමාගේ පිරිස අඳුනගන්න, ඒ වගේම මොන ගෝත්‍රයේ පිරිසක්ද? මොන නායකයාගේ පිරිසක්ද කියලා අඳුනගන්න ඒ ටැටූ භාවිතා කරලා තියෙනවා. ඒවගේම එකම කැලේ දඩයම් සීමාව ලකුණු කරගන්න පවා ඒ ගෝත්‍රකයින් මේ ටැටූ පාවිච්චි කරලා තියෙනවා. පොලිනේසියන් ටැටූ දැන් ගොඩාක් ජනප්‍රියයි.

ටැටූ 3D කිරීම එහෙමත් නැතිනම් ත්‍රිමාන කිරීම ගැන කතා කරමු

3D tattoo කියලා වෙනමම වර්ගයක් නැහැ. ටැටූ වල එක් අවදියක් තමයි 3D කියන්නේ. තවත් විදිහකින් කිව්වොත් එක පරිනාමීය වුණු අවස්ථාවක්. ඕනෑම ටැටූ එකක්  3D කරන්න පුළුවන්. ඇත්තටම මේ 3D  කියනවට වඩා ඒකට realistic tattoo කියනවානම් තමයි හරි. එය නියමාකාරයෙන් කරන්න ශිල්පීය දක්ෂතාවයත් බලපානවා. එකක් තියලා අඳිනවා වගේ 3D කරන්න බැහැනේ විශේෂයෙන් චිත්‍ර කලාව පිළිබඳ හැකියාවක් වගේම දැනුමක් තියෙන්න ඕනේ. උදාහරණයක් කියන්නම් මගේ මිතුරෙක්ගේ මල්ලි කෙනෙක් මකරෙක් චිත්‍රනය කරගෙන ඇවිත් තිබුණා. ඇවිත් මගේ මිත්‍රයට පෙන්නලා තිබුණා. මගේ මිත්‍රයා අහලා තිබුණා, මොකක්ද බං ඔය කටුස්සෙක් කකුලේ එල්ලිලා ඉන්නවා වගේනේ ඕක පේන්නේ කියලා.  අන්න ඒ වගේ තමයි කරන දේ හරියට දැනගෙන කරන්න ඔනේ.

විවිධ රටවල්වල ටැටූ සංස්කෘතිය විවිධාකාරයි. ලංකාව ඇතුලේ තියෙන්නේ මොනවගේ ටැටූ සංස්කෘතියක්ද?

ආගන්තුකව මේ සමාජයේ කරක්ගහන ටැටූ වගේ කලාවකට ලංකාව ඇතුලේ අපිට සුවිශේෂි වුණු සංස්කෘතියක් තවමත් හැදිලා නැහැ. නමුත් හදන්න පුළුවන්. අපිට චිත්‍රකලාවේ සම්බන්ධයෙන් සුවිශේෂි ඉතිහාසයක් තියෙනවා. අපිටම අවේණික වුණු රටා මෝස්තර තියෙනවා. අපිට පුළුවන් ඒවා මේ මොඩර්න් ආර්ට් එක ඇතුළට ගේන්න. මේ ළඟදි මගෙන් ටැටූ එකක් කරගන්න කෙනෙක් ආවා. එයාට ඕනේ වුණේ මෞරි ටැටූ එකක්. ඒත් මම එයත් එක්ක කතා කරලා ලියවැලක් ඇසුරෙන් ආර්ට් එකක් කළා. ඒ වගේ තමයි. විශේෂයෙන්ම රටින් රටට සංචාරය කරන  බොහෝ සංචාරකයින් ලංකාවට ආවාමඅපේ රටේ විශේෂ දෙයක් ටැටූ කරගෙන යන්න කැමැතියි. එයාලා රටවලින් රටලවට යද්දි ඒ රටට අනන්‍ය වුණු යමක් චිත්‍රනය කරගන්නවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඔනේ වෙනත් රටක දෙයක් කොපි කරන්නේ නැතුව අපේ දෙයක් අලුත් විදිහකට කරන්න.  එකපැත්තකින් අපේ රට ජාත්‍යන්තරයට ගෙනියන්නත් එයම හේතුවක් වෙන්නත් පුළුවන්. එහෙම කල්චර් එකක් හදන්න පුළුවන්නම් අපිට කියලා ටැටූ සංස්කෘතියක් ගොඩනැගේවි.

ඔබ කාලයක් තිස්සේ ටැටූ කලාව එක්ක ජීවත් වෙද්දි ලංකාවේ ටැටූ ලෝලීන්ගේ රුචිකත්වය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති.

යුරෝපාකරයට යනකොට ටැටූ වලට ලොකු කියැවීමක් තියෙනවා. නමුත් ලංකාවේ බොහෝ පිරිසකට ටැටූ ගැන කියැවීමක් නැහැ. චිත්‍රපටයක දැක්ක දෙයක් එහෙමත් නැතිනම් අපේ භාෂාවෙන් කියනවානම් සෙට් එකේ කෙනෙක් කරන නිසා, ඒ වගේම ගෑණු ආදරවන්තියගේ නම ටැටූ කරගන්න එන අයත් එනවා. සම්බන්ධකම් නැති වුණාම ඒ නම අයින් කරගන්න කල්පනා කරන අයත් එහෙමත් නැතිනම් ඒ නම පේන්නේ නැතිවෙන්න  ඒක වෙනස් කරගන්න එන අයත් ඉන්නවා. බජාර් එකේ පොරක් වෙන්න වගේ අදහසකිනුත් ටැටූ කරගන්න අය ඉන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් සමහරක් අය රැන්ඩිගේ ටැටූ එක ගහන්න, අරයගේ ටැටූ එක ගහන්න කියාගෙන එන පිරිස් ඉන්නවා. ඇත්තටම තේරුමක් ඇතිව ටැටූ කරන පිරිසක් ඉන්නවා. ඒ අතර බයික් රයිඩර්ස්ලා විශේෂයි. ඒවගේම විවිධ ජොබ් අනුවත් ටැටූ කරගන්න එන අය එනවා. ලංකාවේ ටැටූ කරන්නෙම ලස්සන වෙනුවෙන් විතරයි. එතැනින් එහා ලොකු කියැවීමක් දක්වා ටැටූ එක යන්නේ නැහැ.

අද සමාජයේ ටැටූ එක සාමාන්‍ය දෙයක්. ඒත් ටැටූ ගහගත්ත කෙනෙක් දිහා සමාජය බලන විදිහක් තිබෙනවා. ඒ සමබන්ධයෙන් මොනවගේ අදහසක්ද තිබෙන්නේ?

ටැටූ තියෙන්නේ ගොඩාක් වෙලාවට ජනප්‍රිය සංස්කෘතියත් එක්ක. ගාල්ල නුවර කොළඹ සහ සංචාරක ප්‍රදේශ වල තමයි මේ ටැටූ කලාව ගැවසෙන්නේ. නමුත් ටැටූ ගමට යනකොට ඒක කලාවක් විදිහට දකින්නේ නැහැ. ටැටූ එකක් කරන කෙනෙක් කියන්නේ ඉහළ කායික මානසික දරාගැනීමේ හැකියාවක් තියෙන පුද්ගලයෙක්.  එය වෙනස් කලාකාරී ක්‍රියාවකින් හෝ සාමාජයීමය හේතුවක් නිසා නොහික්මුනොත් එය පිටවෙන්නේ කළහකාරී ක්‍රියාවකින්. ගහගන්න කෙනෙක්, කෙනෙක් වෙන්නත් පුළුවන්. ගමට යනකොට මෙවැනි චන්ඩි චරිත අපිට හමුවෙනවානේ. ඉතින් මෙවැනි හේතු නිසා ටැටූ එකක් කරගත්තු සාමාන්‍ය මනුස්සයෙක් ගමට ගියත් මිනිස්සු දකින්නේ චන්ඩියෙක් රන්ඩු කරන මනුස්සයෙක් විදිහට. කාලයත් එක්ක මේක කලාවක් විදිහට සාමාන්‍යකරණය වෙනකොට මේ ගැටළුව නැතිවේවි.

 

අද සමාජයේ පච්ච සිරාලා නෑ, ඒ නිසා ටැටූවලට තියන ඉල්ලුම වෙනස් සමාජ පන්තිවල පිරිස් අතරේ බෙදිලා ගිහින් පිරිමි සහ ගැහැණු කැමති ටැටූවල ස්වභාය කොහොමද?

ජපන් ටැටූවල තියෙනවා මකරා  කියන සංකල්පය. එයින් අදහස් කරන්නේ වේගය ශක්තිය ජවය දේවල්. පිරිමියෙකු ඒ සතුව ගුණංග තියෙනවා කියන කාරණය තමයි එයාලගේ විශ්වාසය. ඒවගේම සමනලයා මල් වගේ රූපවල සියුමැලි කම තියෙන්නේ ඒවා කාන්තාව වගේ කියලා තමයි ඉතිහාසයේ ඉඳන්ම කවි කතා වල පවා කියැවෙන්නේ. හැබැයි සමනලුන්ට කැමැති පිරිමි ඉන්න පුළුවන්. එක එක්කෙනාගේ සිතුවිලි වෙනස්. ඒවා අනුව වගේම කරන රස්සාව  අනුවත් ඒක වෙනස් වෙනවා. ඒවගේම ඇසුරු කරන සමාජයත් ඊට ගොඩාක් බලපානවා. ඒවත් එක්ක තමයි මේ ස්වභාවය වෙනස් වෙන්නේ. 

අවසාන වශයෙන් හැම තැනම දැන් tattoo නිර්මාණ ශිල්පීන් ඉන්නවා. අනෙකුත් ටැටූ ආර්ටිස්ලාගෙන් ඔයා වෙනස් වෙන්නේ කොහොමද?

ඇත්තටම මම කියන්නේ තවමත් මේ ක්ෂේත්‍රයට අලුත් මම තවමත් හදානවා. මේ කලාව ගැන. තවත් ආර්ටිස්ලා ඉන්නවා මටත් වඩා දක්ෂ. මම වෙනස්ද කියන්න මම දන්නේ නැහැ නමුත් හැමවෙලේම අපේ දෙයක් ඇසුරෙන් අලුත් නිර්මාණයක් කරන්න මම උත්සහා කරනවා. ටැටූ එකක් කරන්න කවුරු හරි ආවාම අපි එයත් එක්ක කතා කරනවා. එයාගේ අදහසටත් අපි ඇහුකම් දෙනවා. අපි එයත් එක්ක ටැටූ එක ගැන කතා කරනවා අපේ අදහසුත් එයාට දෙනවා එහෙම තමයි හැමවෙලේම නිර්මාණයක් කරන්න උත්සහා කරන්නේ.

Standard (Image)