Skip to main content
kubus

ඉතිං මට පුදුමාකාර ඕනකමක් තිබුණා මේක රස විඳින්න. මම නිකමට වගේ ඒ දවස්වල කියන්නෙත් "කුබුස් කාලා ඔටු කිරි බොන්න ඕන" කියලා. කුබුස් නම් කනවා. ඔටු කිරි බොන අදහස අතඇරියා. ඒක සාමාන්‍ය ප්‍රමාණයට වඩා උකු කිරි වර්ගයක් කියලා දැනගන්න ලැබුණු නිසා.

අපි පාන් කනවා වගේ, මෙයාලගේ දෛනික ආහාරයක් තමයි කුබුස් කියලා කියන්නේ. කුබුස් හදන්නේ තිරිඟු පිටි වලින්. ඒකට යීස්ට්, සීනි, කිරි, ඔලිව් තෙල්, ලුණු, වතුර සහ අවශ්‍ය නම් යෝගට් එකතු කරගන්න පුළුවන්.

කුබුස් වල විශේෂත්වය තමයි ඕනම විදියකට ආහාරයට ගන්න පුළුවන් වීම. සැන්ඩ්විච් එකක් වගේ හදාගන්න ඕනේ නම් ඒ විදියට හදන් ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්තන් අපි සාමාන්‍යයෙන් පාන් කන්නේ පොල් සම්බෝල, පරිප්පු, සීනී සම්බෝල එක්ක. අන්න ඒ වගේ වුණත් රස විඳින්න පුළුවන්. ඕනම එළවළු ජාතියක් එක්ක එහෙම නැත්තන් ලංකාවේ අපි හදාගන්න කොළ මැල්ලුම් එක්ක වුණත් කුබුස් ආහාරයට ගන්න පුළුවන්කම තියෙනවා.

මේ රටවල් වල ඕනම සිල්ලර බඩු වෙළඳහලක එහෙම නැත්තන් සුපර්මාර්කට් එකක වුණත් කුබුස් නම් නැති වෙන්නේ නෑ. හැඩයෙන් කුඩා, මධ්‍යම, විශාල ලෙස කුබුස් අලෙවි වෙනවා. සාමාන්‍යයෙන් එක පැකට් එකක කුබුස් රොටී 10ක් විතර අඩංගු වෙනවා. කටාර් මුදලින් රියල් 1ක් තමයි මිල වෙන්නේ. ශ්‍රී ලංකා මුදලින් රුපියල් 40 - 42ක් වගේ මුදලක්.

වෙළඳසැලෙන් මිලදීගන්න අවස්ථාවේදි කුබුස් තියෙන්නේ සාමාන්‍ය උණුසුම් ආහාරයක් ලෙස. නිෂ්පාදිත දිනයේ ඉඳන් වැඩි දවසක් කාමර උෂ්ණත්වයේ තියන්න නම් පුළුවන් කමක් නැහැ. නමුත් අධිශීතකරණය තුළ නම් තියලා ආහාරයට ගන්න පුළුවන්. නමුත් ඊට කලින් රත් කරන්න ඕනේ.

ලංකාවේ අතිශය ජනප්‍රිය ආහාරයක්නේ "කොත්තු" කියන්නේ. මේ කුබුස් රොටිත් පොඩි කෑලි වලට කපලා එළවළු, මස්, මාළු, බිත්තර වගේ තමන් කැමති දෙයක් එකතු කරන් කොත්තුවක් වගේ වුණත් සකස් කරගන්න හැකියාව තියෙනවා. වේල් තුනටම කුබුස් කාලා අමතර වේලකටත් කුබුස් කන්න නම් කිසිම ප්‍රශ්ණයක් නෑ.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

දෝහා සිට ලියමි

Standard (Image)