Skip to main content
mihinthale

 

 

කිසිඳු වළා රොදක් නැති අහස නිශ්චල ජල තලයක් මෙන් පැහැදිලිය. හරියටම නිල් රෙද්දක් රැළි නොමැතිව ඇතිරුවා වැනිය. අහසේ රබානක් සේ දිලෙන පොසොන් සඳට අමතරව පෙනෙන්නට තිබෙන්නේ ඊට දකුණු පසින් පායා ආ එකම එක තරුවක් පමණි. වෙනදාට පෙනෙන දහසකුත් එකක් තාරකාවෝ කලා සපිරි සඳ එළියට බිය වී පලා ගොස් ඇති හැඩකි . සඳේ මහිමය පරදා දිලෙන නිර්භීත තාරකාවට තනිකමක් දැනී ඇතිවා සේය. පරිසරය වියලිය. දහවල පැවති උණුසුම මදින් මද හමා යන සිහිල් පවනේ දැවටී ඉවත්ව යයි.

 

 බටහිර අහසේ තවමත් හිරු තබා ගිය රක්ත වර්ණ රේඛා බොඳවී ගිය සිතුවමක සේයා මවද්දී මගේ සිත අතීතය කරා දුව යන්නට විය.එදා, එනම් මීට වසර 30 කට පමණ පෙරද මෙලෙසම පොසොන් සඳ නැග ආවාය. අපේ නිවසට නැඟෙනහිරින් , වැට මායිමේ වූ මගේ පළමු උපන් දිනය සිහිවීමට මාව ළඟින් තබා ගෙන තාත්තා සිටවූ කොස් ගසත්, ඒ දිසාවේම නිවස ඉදිරිපිට පාරේ අනෙක් පසින් වූ විසල් කෝන් ගසත් අතරින් පායා ආ සඳ , මා මේ ලෝකයේ කොහේදිවත් දැක නොතිබුනු සුන්දරම සඳයි. අද, ඒ දසුන මැවුමට දායක වූ කොස් ගසත්, එය සිටවූ තාත්තාත්, ඒ සුවිසල් කෝන් ගසත් මෙලොව නැත. ඇත්තේ අදත් එලෙසින්ම පායා නැගෙන සඳ පමණකි.

 

පොසොන් උත්සවයට අනුරාධපුරයට හා මිහින්තලයට තරම් ජනතාව එක් රැස් වන වෙනත් පෙදෙසක් ලංකාවේ නොමැත. අද තරම් පුද්ගලික වාහන සහ පුද්ගලික බස් රථ බහුල නොවූ ඒ කාලයේ පොසොන් උත්සවයට එක් රොක් වන කෝටි ගණනක් වූ බැතිමතුන්ගේ ප්‍රධානම ප්‍රවාහණ පහසුකම වූයේ දුම්රියයි. එකල අපේ පාසල් වලට සතියක් පමණ නිවාඩු ලැබුණි. සිද්ධස්ථාන, දුම්රියපොළ සහ මුළු නගරයම අලුත් පාටින් හැඩ වැඩ වී පිරිසිදු වී රටේ නන්දෙසින් එන බැතිමතුන් පිළි ගැනීමට සැරසුණේ අවුරුද්දට නිවසට එන තම දූ දරුවන් පිළි ගැනීමට පෙර මඟ බලා සිටින මවක විලසිනි.

 

ඒ දිනවලට විශේෂ දුම්රිය සේවා සහ බස් සේවා අනුරාධපුරයට ධාවන වීම ඇරඹෙයි. නඟර සභාවට බොහෝ වැඩ පැවරෙයි. නව ජල නල හා කරාම සවි කිරීම , තාවකාලික වැසිකිළි පහසුකම් සැපයීම හා නඟරය පිරිසිදු කිරීම ආදිය සඳහා වැඩි වැඩියෙන් සේවකයන් යෙදවේ. පොලීසියට පිට පොලීසි වලින් අමතර නිලධාරීන් ගෙන්වා ගනු ලබයි. තාවකාලික බස් නැවතුම්පළක් ඉඳිවෙයි. නඟරය වෙනදාට වඩා කාර්‍යබහුල වන අතර කවදාවත් දැක නැති පිරිස් තැන තැන දැක ගන්නට ලැබෙයි. පොසොන් කඩ සහ දන්සැල් ඉඳිවන අතර තොරන් කිහිපයක්ද තැනේ. ඒ අතරම වෙනත් ප්‍රදේශ වල ඇති වැව් වලින් අමතර ජලය එවා, තිසා වැව, නුවර වැව සහ අභය වැව වැනි වැව් කට ළඟටම පුරවන ලද අතර ඒවා හමා යන සුළඟේ එතී රැළි නැංවූයේ මහා සමුද්‍ර සිහිපත් කරමිනි. මේ දිනවල දුම්රියේ එද්දී පාලම් වල වැදීමෙන් හා වැව් වල ගිලී යාමෙන් සිදුවූ හදිසි අනතුරුද වාර්තා නොවුනාම නොවේ. ඒවා කොලු ගැටයන්ගේ විසේටම සිදු වූවා විය.

 

මේ දිනවල පාසල් නිවාඩු ලැබෙන අපගේ සිත් වලටද මේ උද්‍යෝගය හා සතුට කාන්දු වේ. අපට වඩා මේ දිනවල සතුටට පත්වන්නේ අපේ තාත්තාය. නිවස සරසන්නට සෑදූ පොසොන් කූඩු සහ පුංචියට තැනු මහින්දාගමනය මට තවම මතකය. කාඩ්බෝඩ් වල මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු පිරිස, තිස්ස රජතුමා, පිරිස සමඟ පැමිණි තවුසා, මුව පොව්වා සහ අඹ ගස් චිත්‍රයට නැඟුවේ මායි. නංගී ඒවා පාට කොට හැඩයට කැපුවාය. ආරාධනා ගල කලු කඩදාසියෙන් සරසා ඇත්තම අඹ අතු කපා ඒවායෙන් සරසා තැනූ මිහින්තලය මට අදටත් මේ දැන් කළ කී දේ මෙන් මතක් කළ හැක.

 

පොසොන් කඩ වලින් හැඩ වන වීථි හා කතුරු ඔන්චිල්ලා, මෙරිගෝ රවුන්ඩ් සහ මාරක ළිඳේ මෝටර් රථ ධාවන වැනි විනෝද ක්‍රීඩා පෙන්වන කානිවල් පොළවල් නැරඹීම තාත්තා නංගීව සහ මාව බයිසිකලයේ තබා ගෙන ශුද්ධ නඟරය පුරාම ගියේය. අපටත් වඩා ඒවා බැලීමට ආශාව තිබුණේ තාත්තාටය.

 

මේ දිනවලට පිට පළාත්වලින් අපගේ නෑදෑයින් අවම වශයෙන් දහ දෙනෙකුවත් අපගේ නිවසට පැමිණීම සාමාන්‍ය දෙයක් විය. ඒ සඳහා අපේ අම්මාද සැරසුණේ ඉතාමත්ම ප්‍රීතියෙනි. කුඩා අපට ඒ තරම් සතුටක් තවත් නොවුණි. ඔවුන් ගෙනෙනා දේවල් ලැබීමත් සහ ඔවුන් සමඟ එක් වී රාත්‍රිය පුරා පොසොන් කඩ ගානේ යාමටත් , දන්සැල් වැඳීමට ලැබීමත් එයට හේතුවයි.

තාත්තා වරක් අම්මාගේ විරෝධයද නොතකා පොසොන් කඩයක් දැමීමට තීරණය කළේ පොසොන් සමඟ ඔහුගේ තිබූ බැඳීම හා එයින් ඔහු ලැබූ විනෝදය නිසා යැයි ඒ ගැන සිහිවෙද්දී දැන් මට සිතේ. එය තේ කඩයකි. කඩය සෑදීම සඳහා බිම් කඩ නඟරසභාවෙන් ලැබුණේ මිහින්තලයට සෙනඟ ගෙන යන බස් ගාල අසබඩිනි. තාත්තා සමඟ මාද කඩය හැදෙන අයුරු බලන්නට ගියෙමි. ශක්තිමත් මිනිසුන් හය හත් දෙනෙකු ඉතා ශක්තිමත් කණු සිටුවා පොල් අතු බැඳ සැදූ කඩයේ ඉඳිකිරීම් කටයුතු පුංචි යුද්ධයක සිරි ඉසිලීය. කුඩා අපද කඩයේ දිවා රාත්‍රී නැතිව ගත කළෙමු. රාත්‍රියේ පොල් අතු බිම අතුරා පින්නේ පෙඟෙමින් හා අවටින් ඇසෙන පිරිත් හඬේ නැළවෙමින් නිදා ගත් අයුරු කිසිදාක මට අමතක නොවේ. කඩෙන් ලාභයක් හෝ පාඩුවක් ලැබුනාදැයි මම නොදනිමි. කිසිදු දෙයකින් නොසැලුණු තාත්තාගේ මුහුණින් හෝ හැසිරීමෙන් කිසිදාක මට එය දැක ගත නොහැකි විය. මට ලැබුණු එකම දායාදය වූයේ පොසොන් සමය අවසන වැළදුණු පාචනය සහ උණ පමණකි. කඩය අසල වූ සිසිල් පැන් දන්සලකින් දවස පුරා බිව්, වැව් දියෙන් තැනු සිසිල් පැන් එයට හේතුව වූ බව පසුව මම දැන ගතිමි.

රාත්‍රිය පුරා දෙපා වල දුහුවිලි නාගෙන කකුල් කෙඩෙත්තුව හැදෙන තුරු කඩයක් කඩයක් ගානේ ඇවිද ගිය හැටි අදද සිහිවන්නේ කවියක් මෙනි. අන්නාසි සුවඳ සහ තැන තැන පඳුරු වල රැඳුණු දිලිසෙන රැල් හා කොළ මට මේ දැන්ද දැනෙනවා සේය. මේ පොසොන් සඳ යට මේ මහා ජනකායේ කෙතරම් නම් පෙම්වතුන් හමු වන්නට ඇතිද? කෙතරම් නම් ඔවුන් පෙම් කෙළින්නට ඇතිද? පිංවතුන් කෙතරම් නම් ප්‍රමාණයක් සිද්ධස්ථාන වැඳ පුදා ගෙන බුද්ධාලම්බනක් ප්‍රීතියෙන් පිනා ගොස් නිවී සැනසෙන්නට ඇතිද?

 

එදා කහ පාට ඇහැල මලින් බරවන ඇහල ගස් යායවල් කහ සිවුරු පොරවාගත් සඟපිරිස් සිහියට නංවද්දී මිහින්තලයේ විසල් පඩිපෙළ දෙපස වූ සුදු අරලිය මලින් පිරි අරලිය දෙවැට සුපසන් උපාසිකාවන් පිරිසක සිහියට නැංවීය.

 

එහෙත් මේ අසිරිය අසූව දශකයේ අග භාගයේදී අනුරාධපුරයෙන් තුරන් විය. පොසොන් සඳ වෙනදා මෙන් නැඟ ආවද, ඇහැල මල් හා අරලිය මල් වලින් ගස් බර වූවද ඒවා බලන්නට , විඳින්නට කිසිවකු වූයේ නැත. පොසොන් කඩ හා තොරණින් හිස් වූ මංමාවත් සහ පිට්ටනි ටයර් සෑයන්හි දැවෙන මිනී කඳු වලින් පිරී ගියේය. අනුරාධපුරයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් මල්වතු ඔයේ දිය රතු පැහැයට හැරුණි.

 

අනූව දශකයේ මැඳ රටින් පිටවූ මට වසර 23 කින් පමණ පොසොන් මාසයේදී අනුරාධපුරයට යාමට නොහැකි විය. භිෂණ සමයක් දැන් පෙනෙන්නට නැත. රටේ එතරම් දියුණුවක් නැතත් අප තාක්ෂණය හා විද්‍යාවෙන් සිටින්නේ ඉතාම ඉහළ තැනකය. කොතරම් නෑ බෑ කියූවත් මිනිසුන්ට වාහන ඇත. එදා මෙන් කෝච්චියේ සිරවී ගොස් විශ්‍රාම ශාලා වල හෝ ගස් යට සිටින්නට උවමනා නැත. සල්ලි තිබේනම් ඕනෑපදම්‍ හෝටල් ඇත. සමහර විට නවතින්නටද උවමනා නැත. තමන්ගෙම වාහන තිබෙන නිසා සහ මහා මාර්ග එදාට වඩා හොඳ නිසා උදේම අනුරාධපුරයට ගොස් හවස් වනවිට නැවත කොළඹට යා හැකිය.

 

එහෙත් එදා තිබූ පොසොන් අසිරිය හා අප විඳි සුවය අද එහි ඇතිදැයි යන්න සැක සහිතය. සඳ දිහා බලන්නටවත් මිනිසුන්ට ඉස් පාසුවක් නැත. බුදුන් වඳින්නේද " මෙන්න බුදුනි මල් , ඔන්න අපි ගියා" යන න්‍යායෙනි.

 

අපේ දරුවන් ඇතුළු යොවුන් පරපුර ගැන මට ඇති කනගාටුව නම් මෙයයි. ඔවුන්ට අපි එදා දුටු පොසොන් සඳ දැක ගන්නට ලැබේවිද? දියුණුවෙන් සැඟවී යන අතීත ශ්‍රී විභූතිය නම් මෙයම නොවේද?

 

එදා පොසොන් නිවාඩුව අවසන් වී නෑදෑයින් පිටව ගිය පසු පාළු වූ නිවසද පැමිණි පිරිස් ආපසු ගොස් හා පොසොන් කඩ ඉවත් කර සොහොන් පිටි බඳු වූ පූජා නඟරයද බලමින් ඉතාම දුකින් හුදෙකලාවෙම බයිසිකලය පැදගෙන ගිය අන්දම මට අද සිහිවේ.

ඒ කෙසේ වෙතත් අදත් එදා මෙන්ම පොසොන් සඳ නැඟ ඒවි. ඇහැල මල් සුළඟේ නටාවි. අරලිය මල් දෙවැට පාවඩ එළාවි. මට අද ඇති එකම සැනසුම නම් එයයි. එයම පමණයි.

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....