Skip to main content
Croatia

 

 

ක්‍රො ඒෂියාව ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්. ගෙවුණු ෆිෆා පාපන්දුවසන්තයේ ලෝකේ වැඩිම අවධානය දිනාගත්ත අසිරිමත් රාජ්‍යය තමයි ක්‍රො ඒෂියාව.මම දන්නවා සමහර අය ක්‍රො ඒෂියාව කියලා රටක් තියෙනවද කියලා දැනගත්තෙත් මේ ෆිෆා පාපන්දු තරගාවලියෙන් පස්සේ කියලා. ඒකට කාටවත් වැරැද්දක් කියන්න බෑනේ. මොකද මේ ලොකේ හැම රටක් ගැනම අපි දන්නේ නැහැනේ. අනික තමන් ජීවත් වෙන රටේවත් හැම නගරයක්ම ගමක්ම අපි දන්නෙත් නෑනේ. ඒක නිසා අපි නොදන්න දේ ගොඩයි. දන්නේ නැති දේවල් ගැන දැනගන්න නිසා තමා කියන්නේ මැරෙනකල් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා.

 

 

එහෙනම් යමුකෝ ක්‍රො ඒෂියාව පැත්තේ ගිහින් එන්න. මම මීට ටික කාලෙකට කලින් ක්‍රො ඒෂියාව ගැන ලියන්න හිතන් හිටියේ එහේ තියෙන සුන්දර පරිසරය නිසාම. ඒත් ඒක වැළකුණා මොකක් හරි හේතුවකින්. හැබැයි දැන්නම් නොලියම බැහැ. ක්‍රො ඒෂියාව තියෙන්නේ කොහෙද..? බැලුවද සිතියමක් අරන්..? ක්‍රො ඒෂියාවට රටවල් හතරක් මායිම් වෙනවා. ඒ තමා ස්ලොවේනියාව, හංගේරියාව, සර්බියාව සහ බොස්නියාව. අනික් පැත්තෙත් මායිම් වෙන්නේ ආද්‍රියාටික් මුහුදට. සරළව කිව්වොත් ක්‍රො ඒෂියාව කියන්නේ අග්නිදිග යුරෝපා රටක්.

 

 

අවසන් මහ තරගයේදී ක්‍රො ඒෂියාවට මුණ ගැසුණු ප්‍රංශය අතර මැද්දෙන් තියෙන්නේ ඉතාලිය. දැක්කේ නැද්ද ප්‍රංශෙයි ක්‍රො ඒෂියාවෙයි ජාතික ධජ වල වර්ණ තීරුවල එහෙම සමානකමක්...? දැක්කා නේද...? සුදු, රතු, නිල් පැහැ වර්ණ තීරු තිරස් අතට ප්‍රංශ ධජයේ සහ සිරස් අතට ක්‍රො ඒෂියා ධජයේ පිහිටලා තියෙනවා. ඒ ඇරුනම ක්‍රොඒෂියා ධජයේ මැද සංකේතයක් තියෙනවා. (Coat of Arms)

 

ක්‍රො ඒෂියාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 56,594ක් වෙනවා. ජනගහණය මිලියන 4.28ක්. වැඩිදෙනෙක් රෝමානු කතෝලික භක්තිකයින්. 6වන සියවසේදි පමණ ක්‍රො ඒවියානු ජාතිකයින් මේ ප්‍රදේශය ආක්‍රමණය කළා. ඉන්පසුව තමා මේ රාජ්‍යය ගොඩනැංවිලා තියෙන්නේ. 925දී පළමු රජතුමා ලෙස ටොමිස්ලෝ පත්වුණා. එතැන් පටන් ක්‍රො ඒෂියාව රාජධානියක් ලෙස සියවස් දෙකක් පමණ පැවතුනා. ක්‍රො ඒෂියාව දැන් පාලනය වෙන්නේ ජනරජ පාර්ලිමේන්තුවක් හරහා. හැබයි බොහොම ඉහළ ජීවන තත්වයක් නම් ඒ රටේ ජනතාවට තියෙනවා.

 

adriatic-beach-boat-1190122.jpg

 

boat-buildings-church-161393.jpg

 

aerial-android-wallpaper-architecture-286758.jpg

 

 

ඒ වගේම ක්‍රොඒෂියාව එක්සත් යුරෝපීය සංගමයේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ, යුරෝපා කවුන්සිලයේ, නේටෝ සංවිධානයේ සහ ලෝක ව්‍යාපාර සංවිධානයේ සාමාජිකත්වය දරනවා. ඒ වගේම එක්සත් මධ්‍යධරණී සංගමයේ ආරම්භක සාමාජිකයෙක්. ක්‍රොඒෂියාවේ ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ කර්මාන්ත ක්ෂේත්‍රය සහ කෘෂිකර්මය. ඒ වගේම සංචාරක ව්‍යාපාරයද ඉතා ඉහළින්ම ආදායම් උපයන මාර්ගයක්. සංචාරක කර්මාන්තයේ ලෝකයේ විසිවන තැනට ඉන්නේ ක්‍රො ඒෂියාව. ඇත්තටම ක්‍රො ඒෂියාව ඉතාම සුන්දර රටක්.

 

 

දළ ජාතික ආදායමෙන් 20%ක්ම සංචාරක ව්‍යාපාරය හරහා ක්‍රො ඒෂියාවට ලැබිලා තියෙනවා. 2017 වසරේදි යුරෝ බිලියන 9.5ක ආදායමක් සංචාරක කර්මාන්තය හරහාක්‍රො ඒෂියාවට ලැබිලා තියෙනවා. මම කලිනුත් කිව්වනේ මම මීට ටික කාලෙකට කලින් ක්‍රො ඒෂියාව ගැන ලියන්න හිටියේ කියලා. ඒ මෙන්න මෙයා නිසා. කවුද දන්නවද..? ඒ Plitvice Lakes ජාතික උද්‍යානය නිසා. මේ වන උද්‍යානය හොයාගෙන තියෙන්නේ 1949 වසරෙදි. 1979 වසර වෙනකොට යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුම ජාතික උද්‍යානයක් ලෙස සංරක්ෂණය කරන්න නම් කරලා තියෙනවා. සංරක්ෂිත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 296.85ක්. මේ භූමියේ විශේෂත්වය තමයි, දකින්න ලැබෙන දියඇළි පද්ධතිය. දන්නවද දියඇළි 92ක් අපිට මේ ප්‍රදේශය තුළ එකවර දැකගන්න පුළුවන්. ඒ සියළුම දියඇළි වෙත ළඟා විය හැකි ලෙස මාර්ග ඉදිකරන්න ඒ අය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමා යන එන අයත් ඒ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන් ඒ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න වග බලා ගන්නවා. දියඇළි විතරක් නෙමෙයි, මේ වන උද්‍යානයේදි අපිට විල් 16කුත් දැකගන්න පුළුවන්. උසම දිය ඇල්ලේ උස මීටර් 78ක්. පොඩිම දිය ඇල්ලේ උස මීටර් 25ක්. මේ ජාතික වන උද්‍යානයෙන් පැළෑටි වර්ග 1,267ක් හොයාගෙන තියෙනවා විශේෂ 109කට අයත් වෙන ඒවා. ඉන් 75ක්ම ඒක දේශිකයි. ඒ කියන්නේ ක්‍රො ඒෂියාවට ආවේණිකයි. ඒ වගේම ඕකිඩ් විශේෂ 55ක් හොයාගෙන තියෙනවා. මේ සියළුම ශාක සහ පැළෑටි නීතිය යටතේ ආරක්ෂා වෙනවා.

 

 

ඒ විතරක් නෙමෙයි. විවිධ සත්ත්ව විශේෂ රැසක් මේ උද්‍යානය තුළදී දැකගන්නහැකියාවක් තියෙනවා. යුරෝපීය දුඹුරු වලසා, වෘකයන්, බකමූණන්, කැළෑ බළලුන්වැනි සුන්දර සතුන් දැකගන්න පුළුවන්. ක්ෂීරපායි සත්ත්ව විශේෂ 50ක් පමණක් මෙහි ජීවත් වෙනවා. ඒ වගේම විවිධ සමනල්ලු 321ක් පමණ හමුවෙලා තියෙනවා. ඉන් 76ක් පමණ දිවා කාලයේ සැරසරන අය. 245ක් පමණ රාත්‍රී කාලයේ සැරිසරන අය. මේ වන උද්‍යානය ජෛව විවිධත්වයෙන් සුපෝෂණය වුණු එකක්. මෙහි කුරුළු විශේෂ 157ක් පමණ ඉන්නවා. ඉන් විශේෂ 70ක්ම එම වන ගහණයේම උපත් ලබන අය. ඒ වගේම වවුල් විශේෂ 20කටම නිවහන වෙන්නේ මේ පාරාදීසය තමයි. දුර්ලභ වවුල් විශේෂයක් වන Plecotus මේ උද්‍යානය තුළදී හමුවෙනවා. සංචාරක ආකර්ෂණයෙන් ඉතාම ඉහළ ස්ථානයක රැඳෙන මේ ජාතික උද්‍යානයට 2016වසර වනවිට සංචාරකයින් 1,429,228 දෙනෙක් ඇවිල්ලා තියෙනවා.

 

 

අපේ තරම් දිගු ඉතිහාසයක් නැති වුණාට ක්‍රො ඒෂියාව කියන්නේ දියුණුවේ හිණිපෙත්තටම ගිය රටක්. ඒ වගේම ඉතාම සුන්දර රටක්. ජීවිතේ පුංචිම හරි ඉඩක්, අවස්ථාවක් ලැබුණත් ගිහින් එන්න ක්‍රො ඒෂියාව පැත්තේ. තවත් තවත් ලස්සන සුන්දර දේවල් මුණගැසේවි නොවැරදීම.

 

 

Sri Lankan Editor

නදීශානි බණ්ඩාර දොඩංගොල්ල .දෝහා සිට ....

 Sri Lankans Online Sub Editor Doha, Qutar