Skip to main content
india

 

 

පහුවදා, එනම් ඔක්තෝබර් පහළොස් වෙනිදා මගේ අරමුණ වුණේ බුද්ධගයාව බලා පිටත් වීමය.උදෑසනින්ම කල්කටා මහා බෝධි පංසලේ ස්වාමින් වහන්සේට වැඳ සමුගත් මා හවුරා දුම්රියපළ බලා පිටත් වීමි.හවුරා දුම්රිය පොලින්  රුපියල් 80 කට ටිකට් පතක් මිලදී ගෙන ගයාවට පැමිණියෙමි.

 

ගයාවේ සිට ත්‍රීවීලරයකින් බුද්ධගයාවට ළඟා වීමි. බුද්ධගයාව පිස හමා ආ මද පවන ආඝ්‍රහණය කළ මට බුදුන් වහන්සේගේ සීල සුගන්ධය දැනුණි. උන්වහන්සේ බුද්ධත්වයට පත්වූ මේ පුරවරය බුදුන් දවස කෙලෙසටනම් තියෙන්නට ඇතිද? බුදුන් ඇතුළු මහා රහතුන් වැඩ විසූ මේ භූමියට පය තැබීමම මා පෙර කළ පුණ්‍ය කර්මයකැයි මට සිතිණි. ඒ මොහොතෙහිම මගේ දෙනෙත් කඳුළිනි බර වූයේ මගේ නැසීගිය දෙමාපියන් සිහිවීමෙනි. 

 

මා ඔවුන් කැටුව මෙහි එන්නට කොපමණනම් සිහින මැව්වෙම්ද? ඒත් අද තනිවූ මා ගැන සිතී ඇතිවූ ආත්ම අනුකම්පාව බුද්ධගයාව පියවි නෙතින් දැකීමෙන් ඇතිවූ බුද්ධාලම්බනක් ප්‍රීතියෙන් ක්ෂණිකවම පහව ගියේය.මගේ ඊළඟ ප්‍රශ්නය වූයේ එදා රාත්‍රිය නතර වීමට තැනක් සොයා ගැනීමය. මදක් විපරම් කළ විට දිනකට රුපියල් 125 කට හෝටලයක නිදහසේ සිටිය හැකි කාමරයක් ලබා ගත හැකි විය.

 

පහුවෙනිදා කැමරාවද එල්ලාගෙන බෑගයේ තිබූ සුදු කමිසයකින් හා කළු කලිසමකින් සැරසී මා ගෙනා බාල සපත්තු කුට්ටමද පයෙහිලා මගට බැස්සෙමි. බුද්ධගයාවේ බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ස්ථානයේ බෝධියත් සමඟම වූයේ විශාල පංසලකි. ඒ අසලට ගිය මට ඇතිවූ හැගීම් මට විස්තර කිරීමට වචන නැත. ඔබ එතනටම ගොස් ඒ අත්දැකීම විඳගතහොත් පමණක් මා තුළ ඒ මොහොතේ වූ හැගීම ඔබට දැනෙනු ඇත.

 

බුද්ධගයා පංසලේදී මට හමුවූයේ ඉතාමත්ම විශේෂිතවූ ස්වාමින්වහන්සේ නමකි. උන්වහන්සේ දඹදිව සිද්ධස්ථාන පිළිබඳ ලියූ පොත් කිහිපයක්ම මම  කියවා තිබිණි.බොහෝ පොත් පත් ලියා පළ කොට ඇති මේ ස්වාමින් වහනසේ ඕස්ට්‍රේලියානු ජාතික ශ්‍රාවස්ථියේ ධම්මික හිමිය.

 

උන්වහන්සේ මා සමඟ බොහෝ කුළුපග වූහ. ලංකාවටද බොහෝ වාරයක් වැඩම කර තිබූ උන්වහන්සේගේ සහයට පැමිණ සිටියේද ලංකාවේම සහෝදරයෙකි. බුද්ධගයාවේ බාහිරින් පෙනෙන දේට වඩා බොහෝ වටිනා විස්තර උන්වහන්සේගෙන් මට දැන ගන්නට ලැබිණි.

 

බුද්ධගයා විහාරය කළ අශෝක අධිරාජයාගේ කාලයේ එතුමා විසින් විහාරය වටා ඉතා මනරම් ගල් ගරාදි වැටක් ඉදිකරවූහ. එය අදටත් මනරම්ව විරාජමාන වෙයි. එහෙත් ධම්මික හිමියන් මා සමඟ පැවසූ පරිදි මේ වෙහෙර විහාර අභාවයට ගිය කාලයේ මිනිසුන් ඔවුන්ගේ ගෙවල් සෑදීම සඳහා මේ ගල් වැටේ තිබූ ගල් බොහොමයක් ගලවාගෙන ගොස් ඇත. ඉන්පසුව අනගාරික ධර්මපාලතුමන්ට පින්සිදුවන්නට යළිත් මේ වෙහෙර විහාර බෞද්ධ ජනතාවගේ පුදපූජාව සඳහා නතු වූ පසු ඉංදියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ගරා වැටුණු ගල් වැට ඇතුළු විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කලහ. මෙහිදී ගල් වැටට අහිමිවී තිබුණු ගල් කණු වෙනුවට සිමෙන්තියෙන් කළ ගල් කණු ආදේශකොට ඇත. එහෙත් බැලූ බැල්මට ඒ සියල්ලම ගල් කණු සේ දිස්වේ. ධම්මික හිමියෝ ඒ වටා ඇවිද අපට ඒ මුල් කාලයේ තිබූ ඇත්තම ගල් කණු පෙන්වා දුන්හ.එමෙන්ම බුද්ධගයා විහාරය අවට ඇති නොයෙකුත් ප්‍රතිමා ආදියද පිළිබඳව අපට පැහැදිලි කළහ. ඒ අතර තිබූ ප්‍රතිමාවක ජාතක කතාවක් සම්පූර්ණයෙන්ම නිරෑපනය කර තිබිණි.

 

nepal-buddhagaya-banner-lumbini-travels-1.jpg

(බුද්ධගයාව)  

 

එම කතාවෙන් නිරෑපනය වූයේ වඳුරකු පාටලීය වනයේදී බුදුන්ට දඬුවැල් බෑයක් පූජා කළ පුවතයි. එහෙත් වඳුරාගේ බලාපොරොත්තු කඩ කරමින් බුදුන් වහන්සේ එය පිළිනොගත්තෝය. එයට හේතුව සොයා බැලීමේදී දඬුවැල්බෑයේ මැසි පැටවුන් ඇතිබැව් වඳුරා දිටීය. වහාම ඒවා අයින් කළ වඳුරු තෙමේ බුදුන්ට නැවත එය පූජා කළහ. උන්වහන්සේ එවිට එය පිළිගෙන එවෙලේම එය වැළදූහ. මෙයින් ප්‍රීතියට පත් වඳුරා උඩ පනිමින් නටන ජවනිකාවත් එසේ ගස් උඩ පනිමින් නටද්දී ළිඳකට වැටී ඔළුව එහි සිරවී මරණයට පත්වූ විලාසයත් ඒ ප්‍රතිමාවේ මනාවට නිරෑපනය කර තිබිණි. එසේ මිය ගිය වඳුරා ඊට මොහොතකට පෙර කරගත් පිනින් එවෙලේම දිව්‍යලෝකයේ උත්පත්තිය ලැබූ බවත් ජාතක කථාවේ කියවෙයි. ධම්මික හිමියෝ ඉතාම නිහතමානීව අපට මේවා පහදා දීමට තරම් කාරුණික වූහ.

 

එපමණක් නොව සිදුහත් කුමරා බුදු වූ ස්ථානය,  රුවන් සක්මන කළ මළුව ආදී ස්ථානද අපට පෙන්වා දුන්හ.එදා රාත්‍රියේ මා පෙරදා ගතකළ හෝටලයෙන් සමුගෙන ,බුද්ධගයා පංසලේ නතර වූයෙමි. 

 

පහුවෙනිදා පංසලෙන්ම උදේ ආහාරය ගෙන මා කලින් සැලසුම් කරගෙන තිබූ බුද්ධගයාවේ වැදගත් ස්ථාන කිහිපයක් නැරඹීම සඳහා තනිවම පිටත් විමි.මුලින්ම මා ගියේ බුද්ධගයාවේ ඉපැරණි කෞතුකාගාරයටයි.කෞතුකාගාරය නරඹා සිත් ගත් දේ කැමරාවේ සටහන් කරගත් මම ඉන්පසුව සුජාතා දේවියගේ මාළිගාව නැරඹීම සඳහා නේරංජනා නදිය හරහා ඉදිකොට තිබූ පාලමක් මතින් ගමන් කරමින් සිටියෙමි. 

 

පාලමෙන් එගොඩවී තනිවම ගමන් කරමින් සිටි මට ඇස ගැටුණේ පාලමෙන්‍ එගොඩ පාර අයිනේ කතා කරමින් සිටින තරුණයින් පිරිසකි. මට මතක හැටියට එතන තරුණ ගැටව් හය දෙනෙකු හෝ හත්දෙනෙකු පමණ සිටින්ඔනට ඇත. ඔවුන් මොන මොනවදෝ කියමින් මා දෙස බලන බැව් මගේ ඇස් කොනින් පෙනුණි. ඔවුන් මේ අර අදින්නේ මාව කොල්ල කෑමට බැව් හොඳින්ම පැහැදිලි වූයෙන් මා ඉක්මන් අඩි තබමින් එතනින් පැන ගතිමි. මගේ වාසනාවට කුමන හෝ හේතුවක් නිසා ඔවුහු මා ලුහුබැඳ ආවේ නැත.

 

ඔවුන් කල්ලිය සිටියේ ගඟෙන් එගොඩ පාරේ දකුණුපසට වන්නටය. කලින් මනාව අධ්‍යනය කළ සිතියම් හා විස්තර වලට අනුව සුජාතා දේවියගේ මාලිගයට යාමට වමට හැරී යායුතු විය.පාලමෙන් එගොඩවී, කලින් සටහන් කරගත් මාර්ග සංඥා අනුව ඉතාමත්ම පටු පාරක් දිගේ ඇවිද කුඹුරු මැදින්‍ ගොස් අවසානයේදී සුජාතා මාළිගාව තිබූ තැනයැයි සැලකෙන ඉසව්වකට සේන්දු විමි. එතැන දක්නට ලැබුණේ ස්තූපයකි.

 

ඒ ඉසව්වේම පිහිටා තිබූ අජපාල නුග රුක සහ යාබදව පිහිටා තිබූ සිහිල් ජලයෙනි පිරි විලද  බලන්නට ගියෙමි. එම ස්ථානයේ ඉදිකොට තිබුණේ හින්දු කෝවිලකි. බුදුන් වහන්සේ ඉපදුණු ඉන්දියාවේ බුදු දහම යටපත්‍ කරගෙන හින්දු ආගම කෙතරම් නම් දුරකට ව්‍යාප්ත වී තිබේද යන්නට මෙයත් කදිම උදාහරණයකි.

 

ඉන්පසු ධර්මාරන්‍ය නම්වූ බුදුන් දවස තාපසයන් විසූ ආරාමයක් නැරඹීමට ගියෙමි. සත්‍ය සොයා ගිය බෝසතුන් ඒ සඳහා තාපසයන්ගෙන් යම් උදව්වක් ගතහැකිදැයි බැලීමට පැමිණ තිබුණේ මෙතනටය. මෙතැනද වර්තමානයේ දක්නට ලැබුණේ හින්දු කෝවිලකි.මේ ස්ථානයේ සිට බැළූ විට බුදුන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කළ දුංගේෂ්වරී කන්ද මනාවට පෙනුණි. උන්වහන්සේ ඒ දුෂ්කරක්‍රියා කරන සමයේ, මේ ධර්මාරණ්‍යයේ විසූ ශ්‍රාස්තෘ වරයෙකුගෙන් ශිල්පශාස්ත්‍ර ඉගෙනුමට පැමිණි බැව්ද ජනප්‍රවාදයෙ කියවෙයි.

 

මේ සිද්ධස්ථාන වැඳ පුදාගෙන ආපසු බුද්ධගයා පන්සලට එන්නට හැරුණු විට, මෙතෙක් වේලා සිතින් බැහැරව තිබූ පාලම අසලදී මා දෙස බලා සිටි තරුණයින් පිරිස ගැන හදිසියේම මගේ සිහියට නැඟුණි. පාලමෙන් එගොඩ වන්නට මේ මාර්ගයේම ආපසු ගියහොත් මා යන්නේ ඔවුන්ගේ මරු කටටම බැව් මට සිහිවුණි.

 

ඒ අවස්ථාවේ මා පසුකර ගිය තවත් පිරිසක් ගඟට සමාන්තරව තිබූ පාරේ තවත් උඩහට ගොස් පාලමට සමාන්තරව නොඟැඹුරු ජලයේ බැස ගඟ තරණය කරනු මගේ පූරැවේ පිනකට මා නෙත ගැටුණි. මමද ඔවුන් අනුගමනය කරමින් ගඟ තරණය කිරීමට සමත් වුණෙමි.මෙතැනින් ගඟින් එගොඩවූ විට මා සේන්මදු වූයේ 'මහන්තා' නම් හින්දු පූජකයාගේ මාලිගය අසලටයි.

 

බුදුදහම වල්වැදී තිබුණු යුඟයේ මේ බුද්ධගයා පංසලද හින්දු කෝවිලක් ලෙස පවත්වා ගෙන ගොස් ඇත. ඒ කාලයේ මෙහි ප්‍රධාන පූජකයා වී සිට ඇත්තේ මේ මහන්තා නම් හින්දු පූජක තැනයි. ඔවුහූ බුදුන්වහන්සේගේ පිළිම වලට ජටා බන්දවා නළලට තිලක තබා හින්දු දෙවියන්‍ සේ සලකා පුදපූජා පවත්වා ඇත.

 

එහෙත් බෞද්ධයන්ගේ පිනට පහළ වූ අනගාරික ධර්මපාල තුමා ඉතා වෙහෙසව මෙම පන්සල්වල බෞද්ධ අයිතිය වෙනුවෙන් සටන් කොට එය දිනා ගැනීම උදෙසා නඩුවක් පවා දැමූහ. එතුමාගේ අභාවයෙන් පසුව ලැබුණු නඩුවේ තීන්දුව මෙම බුද්ධගයාවේ අයිතිය සියයට පනහක් බෞද්ධයන්ට හා ඉතිරි සියයට පනහ හින්දූන්ට නොවන්නට අපට අද වැඳපුදා ගැනීමට බුද්ධගයාවක් නොතිබෙන්නට ඉඩ තිබිණි. අනගාරික ධර්මපාල නාමය සදා අමරණීය වන්නේ මෙහෙයිනි. මේ ස්ථාන දැක බලා ගැනීමෙන් අනතුරුව පයින්ම බුද්ධගයා පංසල වෙත පියමැන්නෙමි.

 

ඔක්තෝබර් දහනමවෙනිදා උදෑසන ධම්මික හිමියෝ තවත් ලංකාවෙන් පැමිණ සිටි පිරිසක් සමඟ බුද්ධගයා පංසලේ හාමුදුරුවන්ගේ වාහනයෙන් ප්‍රදේශයේ සංචාරයක් යන බැව් පවසා මටද ඒ ගමනට එක්වන ලෙස ආරාධනා කළහ. උන්වහන්සේගේ ආරාධනය භාරගත් මා ඒ ගමනට එක්වූයේ ඉතාමත්ම සතුටිනි.

උන්වහන්සේ සමඟ 'ගයා හිස ' නමින් හැදින්වූ විශාල කඳු වැටියට ගියෙමු. එහිදී සුචිලෝම ජාතකයට සම්බන්ධ සූර්ජිකන්ද් පොකුණ දැක බලා ගතිමි. ධම්මික හාමුදුරැවෝ බුදුන්වහන්සේ විසින් 'ආදිත්‍ය පරියාය' සූත්‍රය දේශනා කළේ මේ ස්ථානයේ බැව් වැඩි දුරටත් පැවසූහ.

 

එහිදී ඉපැරණි හින්දු කෝවිලක් වූ විෂ්ණුපාද කෝවිලද දැක ගතිමි.එදින දහවල් ආහාරය පංසලෙන්ම සප්පායම් වී හැන්දෑ යාමයේ තනියෙන්ම මුචලින්ද විල හා කිරිපලු නුඟ  රුක බැලීමට පිටත් විමි.මුචලින්ද විල පිහිටා තිබුණේ මුචාරින්ගම නමින් හැදින්වූ ප්‍රදේශයේය.

 

ඉන්පසු බුදුන් වහන්සේ කළගුණ සැලකීම උදෙසා ගත කළ සත් සතියේ සත් වැනි සතිය ගත කළ රාජායතනයේ කිරිපලු නුඟ රුක තිබූ ස්ථානයද වැඳ පුදා ගත්තෙමි.එදා ඔක්තෝබර් විසි වෙනිදාය. උදෙන්ම පංසලෙන් පිටත්වීම සඳහා දාන ශාලව දෙසට ගිය මට තවත් අපූරු පුද්ගලයෙකු හමු විය. ඔහු නමින් චමින්ද නම් විය. මා මෙන්ම තනිවම ඉන්දියාවට පැමිණ සිටි මේ සොයුරාගේ අරමුණවූයේ මේ පංසලේ නැවතී භාවනා කිරීමයි. ඉතාමත්ම ඉක්මනින් මා සමඟ කුළුපගවූ හෙතෙම එදා බුද්ධගයාවේ දුංගේෂ්වරී කන්ද තරණයට යාමට බලාපොරොත්තු වන බැව් පැවසීය. මම එක පයින්ම ඔහුගේ චාරිකාවට එක්වන්නට කැමතිබැව් ඔහුට පැවසුවෙමි. ඒ අසා ඔහුද බොහෝ සතුටට පත් විය. මේ  ගමනට අප සමඟ යාමට ධම්මික හිමියන්ගේ සහයට  පැමිණ සිටි විරාජ් සොයුරාද එකතු වීම අපගේ සතුටට හේතු විය.

 

ලබන සතියේ දුංගේෂ්වරී කන්ද තරණය කල හැටි...

(චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....)

 

 

Standard (Image)