Skip to main content
day 2

 

 

නිල් කැටයක් වන් මහා සාගරයෙන් වටවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය ටිකෙන් ටික මගෙන් ඈත්වී තිතක්ව නොපෙනී යද්දී පුළුන් වලින් නිමවූ වලා තොටිල්ලක මා තනි  වුණෙමි.

 

කෙසේ හෝ මාගේ උත්සහය මල් පළ දරා මෙතෙක් දුර සාර්ථකවූ මගේ ගමන ගැන සිතීමෙන් ඇතිවූ සතුටත් සමඟම මොකක්දෝ විස්තර කරන්නට හෝ වටහාගන්නට නොහැකි පාළුවක් හා තනිකමක්ද මගේ සිත තුළ හොල්මන් කරන්නට වූයේ මගේ සිතේ යම් හිස් බවක් ඉතුරු කරමිනි.ඒ කෙසේ වෙතත් සුවපහසු ගුවන් ගමන නිමවා යානය චෙන්නායි ගුවන් තොටුපලට සේන්දු විය.

 

ආගමන විගමන කටයුතු නිමවා බෑගය සහ කැමරාව කරේ දමාගත් මා ගුවන්තොටුපලින් එළියට විත් ඉන්දියවේ නිල් අහස් කුස දෙස බලා සැනසුම් සුසුමක් හෙළුවෙමි.ඒ වනවිට වෙලාව පස්වරු දෙකට පමණ වන්නට ඇත.  හිරු රශ්මියේ ඉතා දැඩිබවක් ලංකවේ සිටයදීටත් වඩා ඉතා තදින්ම මට දැනුණි.ගුවන් තොටුපලින් පිටවූ මගේ ඊළඟ කාර්‍යය වූයේ ත්‍රීශූල් දුම්රිය පොළ සොයාගැනීමයි.

 

කලින් ඉන්දියාවේ සිතියම් ගැන කර තිබූ මනා අධ්‍යයනයට පිං සිදු වන්නට මට දුම්රිය පොළ සොයාගැනීම එතරම් අසීරු කටයුත්තක් නොවුණි.ගුවන් තොටුපළ අසලින් දිවෙන මහා මාර්ගය පැන මුඩුක්කු වැනි ඉතා කුඩා නිවාස පේළියක් අතරින් පයින්ම ගොස් ත්‍රීශූල් දුම්රිය පොළට සේන්දු වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.

 

මගේ අරමුණ වුයේ එතන සිට දුම්රියෙන් එග්මෝර් දුම්රිය පළට යාමයි.ඉන්දියානු  රුපියල් හයක් ගෙවා ටිකට් පතක් මිලට ගෙන විනාඩි 20 ක දුම්රිය ගමනකින් පසු එග්මෝර් දුම්රිය පළට ළඟා වීමට මට හැකි විය.

ww.jpeg

(එග්මෝර් දුම්රියපළ)

 

ඒ වන විට ටිකක් හැන්දෑවෙමින් පැවතුණු නිසා මගේ ප්‍රධානම කාරිය වුණේ රාත්‍රිය ගත කිරීමට කාමරයක් සොයා ගැනීමයි.දුම්රියපළ අවට සැරිසරද්දී 'මාෂා' නම් හෝටලයක් ඇස ගැටුණි. තවත් රෑවනතුරු  කාලය කාදැමීම අනතුරුදායක වූ නිසා ඒ හෝටලයෙන් කාමරයක් කුලියට ගැනීමට තීරණය කළෙමි.

උදේ සිට දිගටම ගමනේ යෙදීම නිසා තිබූ ඇඟ පතේ තෙහෙට්ටුව හා  රුදාව යන තුරුම  පැයක් පමණ වතුර මල යටම වී ගත කළෙමි.නැවුම් දියෙන් ගත සිත දොවා ගත් පසු කලින්ම රත්‍රි ආහාර ගෙන ඇඳට වැටුණු මාහට නින්ද ළඟා වීමට ගතවූයේ මොහොතක් පමණි.පහුවදා උදෑසනින්ම පිබිඳ පාතරාසය හෝටලයෙන්ම සප්පායම් වී කැමරාවද ගෙන මගට බැස්සෙමි.

 

එදින මගේ ඉලක්කය වූයේ චෙන්නායි කෞතුකාගාරය නැරඹීමයි.  මා ළඟ තිබූ ගමන් විස්තර සහ ප්‍රදේශවාසීන්ගේ මද උදව්ද ඇතිව මා කෞතුකාගාරයට ළඟාවන විට උදෑසන දහයට පමණ වන්නට ඇත.මා එහි ඇතුල්වීමේ දොරටුවේ තිබූ ප්‍රවේශපත්‍ර කවුළුවෙන් එහි සිටි ඉංදියානු ජාතික කාන්තාවට මා විදේශිකයෙකු බවත් කෞතුකාගාරය බලන්නට පැමිණි බවත් ඉංග්‍රීසි බසින් පවසා විදේශිකයින් සඳහා වූ ටිකට් පතක් ඉල්ලා සිටියෙමි.

 

මගේ මුහුණ දෙසත් ඇඳ සිටි ඇඳුම් දෙසත් විමසිල්ලෙන් බැලූ ඈ, " උඹ දැන් ඉන්දියාවේ ඉන්නේ. ඒ නිසා උඹ දැන් ඉන්දියානුවෙක් " යැයි ඉංග්‍රීසි බසින් පවසා ඉන්දියානු  රුපියල් 15 ක්වූ ස්වදේශිකයන්ගේ ටිකට්ටුවක් මට නිකුත් කළේ කරුණාබරිත දෙනෙතින් මා දෙස බලාය. එතනින් නොනැවතුනු ඇය කැමරාවට මුදල් අය කළේද නැත.මා හිතේ හැටියට කෞතුකාගාරය නරඹා අවශ්‍ය ඡායාරෑපද කැමරාවේ සටහන්කර ගතිමි.

 

2 p1.jpg

(චෙන්නායි කෞතුකාගාරය)

 

ඉන්පසු දිවා ආහාරය සඳහා අසල තිබූ සයිවර් කඩයක් බදු ආපනශාලාවකට වැදී කඩල හොදි සමඟ චපාති වලින් බඩ පුරවා ගෙන එග්මෝර් දුම්රිය පොළ බලා පා එසවූයෙමි.ඉන්දියානු රුපියල් 1761ක් ගෙවා කිලෝ මීටර 1663 ක් දුරින් පිහිටි කල්කටාවට පහුවෙනිදා  එනම් ඔක්තෝබර් දහය යාම සඳහා ටිකට් පතක් මිලදී ගතිමි. 

ඒ කාරිය නිම කොට දුම්රිය පළින් පිටත් වෙද්දී වටින් ගොඩින් සැදෑ අඳුර ගලාඑමින් පැවති නිසා එදින සංචාරය එතැනින් නිමකොට නැවතී හුන් හෝටලය බලා පිය මැන්නෙමි.

තව කොටසක් ලබන සතියේ....

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)