Skip to main content
india

 

 

බුද්ධ ගයාවේදී හමුවු එස් ධම්මික ස්වාමින් වහන්සේ, චමින්ද හා විරාජ් සොයූරන්ගෙන් සමු ගැනීම මට ඉතාමත්ම දුෂ්කර කාරියක් විය. අපගේ ඇසුර පැවතියේ ටික දිනක් වුවද, මව් බිමෙන් ඈත්ව දුරු රටක වුන්  අපගේ මිතුරු බැම්ම ඒතරම්ම ප්‍රබල බව අප සැමටම දැනුණේ සමු ගැන්මේ මොහොත කෙමෙන් ළඟා වෙද්දීය.ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ය යන බුද්ධ වචනය තව වරක් මෙනෙහි කරමින් මම ඔවුන්ගෙන් හා බුද්ධ ගයාවෙන්ද සමු ගතිමි. 

 

මට දැනුණේ වචනයෙන් කිව නොහැකි මහාම මූසල තනිකමක් හා පාළුවකි. එහෙත් ඇත්තෙන්ම මුළු දිවිය පුරාවටම මා මේ තනි කම දරාගත යුතූ නොවේදැයි සිතා සිත සනසා ගතිමි. බුද්ධ ගයාවේ සිට රජගහ නුවරට යාම සඳහා මා බසයකට ගොඩ වූයේද මේ අවුල් වූ මානසික තත්වයෙන් යුක්තවය. පැය දෙකහමාරක් පමණ ගමන් කළ බසය ෆාගුල් ගඟින්ද එතෙරවී රජගහ නුවරට ළඟා වන විට දහවල් 12.30 පමණ වී තිබුණි. 

 

ඉතාමත් සුන්දර නඟරයක්වූ රජගහ නුවර වටේම මනරම් කඳු වළල්ලකින් ආවරණය වී තිබුණු අතර මේ කඳු පවුර නිසා නඟරයට ලැබී තිබුණේ ස්වාභාවික ආරක්ෂාවකි. සාරශොභාවට ඉදි කෙරුනු  මුස්ලිම් පල්ලියක්ද නඟරයේ දක්නට ලැබුණු අතර මුස්ලිම් වරුන් හොඳින්ම දියුණු වී වසන නඟරයක ලකුණු එයින්ම පෙනුණි. 

 

නඟරය වටාවූ කඳු වැටි අතර සුන්දර තැනිතලාවක පිහිටා තිබූ බෙංගාලි බෞද්ධ පංසල මගේ මීළඟ නැවතුම්පළ වුණි. ඉතාමත් සෙනෙහසින් මා පිළිගත් බෙංගාලි පංසලේ හාමුදුරුවෝ,  උඩුමහලේ පිහිටි නිස්කලංක කාමරයක් මට නැවතීම සඳහා වෙන් කර දුන් සේක. එදා කෑම පංසලෙන්ම ගත් මා හවස් වරුව පංසලේම ගත කළෙමි. මගේ කෑම බීම ගැන විශේෂයෙන්ම සොයා බැලූ පංසලේ ස්වාමින් වහන්සේවද මේ මොහොතේ මා ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරමි. 

 

පහූවෙනිදා එනම් ඔක්තෝබර් 24 වෙනිදා උදෑසනම අවඳි වූ මම උදෑසන කෑම ගැනීමට සුදුසු හෝටලයක් සොයන අතරම නඟරයද දැක බලා ගැනීමේ අරමුණින් උදයෙන්ම පන්සලින් පිට වී, වීදි වල ඔබ මොබ ඇවිද්දෙමි. රාජ්ගිර්( රජගහනුවර) පොලිස් ස්ථානය අසබඩ පිහිටි ' සාරදා ' නම් වූ හෝටලය මගේ ඇස ගැටුණේ මේ මොහොතේදීය. 

 

ඉතා හොඳ මට්ටමේ තිබුණු එම හෝටලයට වැදුණු මම බඩ කට පුරා උණු උණු චපාතී , අල සහ පරිප්පු හොදි සමඟ අනුභව කළෙමි. රස නිසා සහ ඉතා දීර්ඝවූත් වෙහෙසකරවූත් ගමනක් ඉදිරියේ ඇති නිසා කුස පිරෙන්නම චපාති අටක් පමණ කෑ බව මතකය. ඉන්පසු ඉතා ප්‍රසිද්ධ රජගහනුවර උණු දිය උල්පත් බලා පයින්ම ඇවිද ගියෙමි. එහි පැමිණ සිටි විශාල පිරිස් දිය නාමින් පසු වූහ. මෙම ජලය ස්නානය කළ විට ලෙඩ දුක් සුව වන බවට විශ්වාසයක් විය. මෙම උල්පත් හා නාන පිරිස් දුටුවිට මගේ සිහියට නිතැතින්ම නැගූනේ ලංකාවේ ත්‍රිකූනාමයේ ඇති උණු දිය උල්පත්ය. 

 

මෙම ප්‍රදේශය පුරාම දක්නට ලැබුණේ අපිරිසිදු හා ඉතාමත් අපිළිවෙළ ස්වභාවයකි. ඉවුරු  කැඩී බිඳී වල් බිහිව තිබූ ඉවුරු පිසිමින් මේ ජල දරාව ගලා ගියාය. ඉවුරු දෙපස සුදු පැහැ ද්‍රව්‍යක් බැඳී තිබිණි. ඒ මේ විශේෂිත ජලය ඉවුරේ පාෂාණ හා ගැටීමෙන් ඇතිවූවාද එසේත් නැතිනම් නාන ජනයා සෝදා හරින සබන් පෙන වලින් ඇතිවූවාදැයි මම නොදනිමි. 

 

ඒ කරුනු කෙසේ වෙතත් මගේ අරමුණ වූයේ මේ උල්පත් අසලින් දිවෙන පාරේ ගොස් වේහාර කන්ඳට නැගීමයි. මද වෙලාවකින් මට වේහාර කන්දට ළඟා විය හැකි විය. කන්ඳ උඩට කිලෝ මීටර එක හමාරක් දෙකක් පමණ එක හුස්මටම නැංගෙමි. කන්ඳට නගින මාර්ගය අඩි 3 - 4 ක් පමණ පළලට හොඳින් සිමෙන්ති දමා බෑවුම් සහිත ස්ථාන වලදී පඩිද බැඳ තිබූ නිසා ගමන සිතූ තරම් දුෂ්කර වූයේ නැත. මගේ ඉලක්කය වූයේ මේ කන්ඳේ පිහිටි පිප්ඵලී ගුහාව සොයා ගැනීමයි. 

 

මේ ගුහාවේ කාශ්‍යප මහා රහතන් වහන්සේ ගිලන්ව වැඩ විසූ බවත් බුදුන් වහන්සේ කාශ්‍යප හාමුදුරුවන්ගේ සුවදුක් බැලීමට මෙම ගුහාවට වැඩම කළ බවත් ඉතිහාසයේ කියැවේ. කෙසේ හෝ සිතියම් වල දක්වා තිබූ ආකාරයට ගමන් කළත් ගුහාවක සලකුණක හෝ දක්නට නොලැබුණි. මග දෙපසවූ වන වැහැබද ටික ටික රෑස්ස ගසින් යුතු ඝන වනයකට හැරෙමින් තිබුණි. මඟ තොටේ කිසිවකුදු දක්නට නොවූ අතර මගේ හිතට යාන්තමට බියක්ද නොදැනුනාම නොවේ. 

 

එහෙත් උත්සහය අත්නොහැර තවත් අඩි 200-300 ක් පමණ කැලය තුළට ගමන් කරන විට හින්දු කෝවිලක් දක්නට ලැබිණි. ඒ අසලම යම් වැඩක නිරත වී උන් තරුණ  පූජකයෙකු මා තවත් කැලය තුළට යනු දැක හින්දි භාෂාවෙන් කුමක්දෝ කියා මහා හඬින් කෑගැසීය. 

 

ඒ වෙලාවේ කෝවිල අවට පූජකයා හැරුනු කොට කිසිවකුන් හෝ පෙනෙන්නට නොසිටියෙන් ඔහුගේ කෑගැසීම නෑසුණා සේ අඩිය ඉක්මන් කළෙමි. මන්ද මෙවැනි පාළු දේවාල වලට ගොස් දරුණු කොල්ලකෑම් වලට බඳුන් වූ කිහිප දෙනෙකුම ඒ පිළිබඳව මා හට කළින්ම අනතුරු හඟවා තිබුණු නිසාවෙනි. 

 

මගෙන් ඒ කෑගැසීමට කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ඔහු ඊටත් වඩා මහා හයියෙන් කන් දෙසටද ඇඟිලි දිගු කරමින් කියන්නට උත්සහ කරන්නේ මගේ කන් නෑසෙන්නේද යන්න වග ඔහුගේ අංග චලනයෙන් වටහා ගත් මම කෝකටත් කියා නැවතී , මම පිප්ඵලී ගුහාව සොයාගෙන යන බවත් ඔහු කියූ දෙය නොතේරුනු බවත් ඉංග්‍රීසියෙන් පවසා සිටියෙමි. 

 

එවිට කැඩුණු ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන් ඔහු මා පිප්ඵලී ගුහාව තිබෙන ඉසව්ව පසු කොට කැලය තුළට පැමිණ ඇතිබවත් තවත් කැලය ඇතුළට ගියේ නම් සොරුන්ටද අහුවිය හැකිව තිබූ නිසා කෑගසා මා නවතාලන්නට උත්සහ කළ බවත් පැවසීය. ඉන් අනතුරුව ගුහාවට යන පාරද පෙන්වූ ඔහුට මම මහත් සේ ස්තූති කොට එතැනින් පිටවුණෙමි. ඒ මාර්ගයේ ටික දුරක් ගමන් කළ විට ඉතා කුඩා ගුහා තුනකින් සමන්විත වූ පිප්ඵලී ගුහාව සොයා ගැනීමට මට හැකි විය. 

 

ගුහාව ඉතා කුඩා වූ අතර මද දුරක් ඇතුළට ගොස් බැලූ විට ප්‍රධාන ගුහාවෙන් වමට බෙදී ගිය තවත් ගුහාවක් දිස් විය. ඉතා දැඩි අන්ධකාරයෙන් යුක්ත වූ ගුහාව තූළට මම ගෙන ගිය විදුලි පන්දම දල්වාගෙන ඇතුල් වූනෙමි. අඩි 50 ක් හෝ 60 ක් දුරට විහිදෙන ගුහා තුළ වැස්සකදී නම් ඇතුලතින් කාන්දුවන වැහි ජලයෙන් නොතෙමී සිටින්නට බැරි හැඩක් දක්නට ලැබුණි. ගුහා තුළ තිබූ මඩ ගතිය හා දිය සීරාව නිසා ඒ බව තවත් සහතික විය. 

 

ගුහාවේ පිංතූර කිහිපයක් කැමරාවේ සටහන් කරගත් මම ආපසු කන්ඳ පහළට බැස දකුණු දෙසට විහිදුණු අතුරු පාරක ගමන් ගත්තෙමි. මේ පාරේ මද දුරක් යන විට හමු වූයේ ජෛන කෝවිලකි. එහි සිටි පූජක තැන මට එය ඇතුළට එන්නැයි කතා කළත් මා සත්ව සමින් කළ සපත්තු සහ ඉණ පටියක් පැළඳ සිටි හෙයින් එම ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කොට කඩ මංඩියට සේන්දු විමි. එම දේවාල ඇතුළට සත්ව සමින් නිමවූ දේ රැගෙන යාමට ඉඩ නැති බව මම දැන සිටියෙමි. 

 

ඉන් පසු පොලිසිය අසල පිහිටි තවත් හෝටලයකට වැඳී දිවා ආහාරය ගන්නට සිතුවේ ඒ මොහොතේ මා පෙලූ කුස ගින්න ඉතා ප්‍රභලව නැගී ආ නිසාය. ආහාරයෙන් පසු වට පිටාව දෙස කිසිදු විශේෂිතවූ අරමුණක් නොමැතිව දෑස් යොමද්දී තනි අශ්වයකු විසින් ඇදගෙන යනු ලබන කරත්ත විශේෂයක් කඩ පොළේ පේළියට නවත්වා ඇති අයුරු මගේ ඇස ගැටුණි. 

 

ඒ පිළිබඳව හෝටල් හිමියාගෙන් විමසූ විට ඒවා කුලියට දුවන ' ටොන්ගා' නමින් හඳුන්වන කරත්ත විශේෂයක් බැව් දැනගන්නට ලැබුණි. මා එතැනට ගොස් අවට ඇති සිද්ධස්ථාන ගැන එක් කරත්තයක් තබාගෙන සිටි වියපත්  රියදුරකුට පවසා ඒවා බැලීමට යාමට කීයක් අයකරන්නේදැයි විමසා සිටියෙමි. මඳක් කල්පනා කළ ඔහු, ගමන සඳහා ඉන්දියානු  රුපියල් 125 ක් ඉල්ලූ අතර වෙලාවේ හැටියට එය සාධාරණ බැව් හැගී ගියෙන් කරත්තයට නැඟී සංචාරය ඇරඹීමි. 

 

අප මුලින්ම බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංඝ්‍යා භේද භින්නවීම වැළැක්වීම සඳහා රැස්වූ පළමු ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය නැරඹීමට ගියෙමු. එම ස්ථානය 'සෝන්බණ්ඩාර' ගුහාව එසේත් නැත්නම් 'සප්තපර්නී' ගුහාව නමින් හැදින්වූනි. ඉන් පසු අප ගියේ ' වාලසංඝාටය'  නමින් හැදින්වූ චෛත්‍ය තිබූ ස්ථානයටයි. මෙම ස්ථානය හින්දු පුරා විද්‍යාඥයන් විසින් නම්කොට තිබුණේ 'මනියාර්මාක් ' නමිණි. 

 

අජාසත්ත රජතුමා විසින් එතුමාට ලැබුණු බුදු රජාණන් වහන්සේගේ 84,000 ක් පමණ සර්වඥ ධාතු නිදන් කොට මේ වාලසංඝාටය නිමවා තිබූ අතර එතුමා  ධාතුන් වහන්සේලා සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කඩු අතින් ගත් ලෝහමය භටයන් නිරතුරුවම  කරකැවෙන ' වාලසන්ඝාට' නම් වූ යන්ත්‍රයක් මේ තුළ සවි කොට තිබූ බව ජනප්‍රවාදයේ කියැවේ. 

 

ඉන් පසු අශෝක අධිරජ්‍යාගේ සමයේ එතුමා වෙහෙර විහාර සෑදීම සඳහා ධාතූන් වහන්සේලා මෙම ස්ථානයෙන් ලබා ගත් බවත් ඒ සඳහා මා යටකී යන්ත්‍රය නවත්වා ගැනීමට දෙවියන්ගේ සහය ලබා ගත් බවද ජනප්‍රවාදයේ දක්වා ඇත. පුරාණයේ අශ්ව කරත්ත ගමන් කිරීම නිසා ඒ රථ රෝදවලට හෑරැනු ගල් පොත්තක වූ රථ මාර්ගයද ජීවක අඹ වනය හා ආරාමය මෙන්ම අජාසත්ත රජතුමා දෙව්දත් තෙරගේ බසට මුවා වී තම පියාණන් වූ බිම්බිසාර රජතුමන්ව දස වද දී සිරකර තැබූ සිර මැඳිරියද දැක බලා ගත්තෙමි. බිම්බිසාර සිර මැඳිරිය දකිද්දී මගේ හදවත මොහොතකට නතරවූවා සේ මට හැගිණි. 

 

ඉන්පසු මා රැගත් 'ටොන්ගා ' අශ්ව රථය ගිජ්ඣකූට පර්වතය අසලට සේන්දු විය. කරත්තය කඳු පාමුල නතර කළ රියදුරු මහතා මට නිදහසේ සියලුම ස්ථාන බලා වැඳ පුදා ගෙන එන ලෙස දන්වා අශ්වයාද බරින් නිදහස් කොට කෑම හා බීම සපයා තෙමේද පැත්තකින් ඇලවී බුලත් මඩිස්සලය ගෙන ඉන් සප්පායම් වීමට පටන් ගත්තේ අසල සිටි අනෙක් පිරිස සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි.

 

එම ස්ථානයේ සිට කඳු මුඳුනට ගොස් ආපසු ඒම සඳහා කේබල් කාර් සේවාවක් සපයා තිබිණි. Arial Rope Way නමින් හැදින්වූ එම සේවාව කඳු මුඳුනටම ගොස් ආපසු ඒම සඳහා ඉන්දියානු රුපියල් 30 ක් අයකරුනු ලැබිණි. 

ටිකට් පතක් මිලදී ගත් මම කන්ඳ මුඳුනට ගොස් ජපන් සාම චෛත්‍යද වැඳ පුදා ගතිමි. ඉන් පසු කේබල් කාරයට නොගොස් පයින්ම කන්ඳ බැසීමට තීරණය කළෙමි. මද දුරක් පහළට බැසගෙන එද්දී ගිජ්ඣකූට පර්වතය පිහිටි කුඩා කඳු ගැටයට පිවිසෙන පූංචි පාරක් හමු විය. එය දිගේ ගොස් ගිජ්ජකුට පර්වතයට ළඟා විමි. දෙව්දත් තෙර බුදුන් වහන්සේ මතට ගලක් පෙරළූ ස්ථානයද වූයේ ඒ ළඟමය. එය දෙස මද වෙලාවක් බලා සිටි මට චිත්ත රෑප මැවී පෙනිණි. දෙව්දත් තෙර කෙතරම් නම් පාපතරයෙකු දැයි එවෙලේ නැවතත් මගේ  සිහියට නැගුණි. 

 

ඉන්පසු ඒ අසලම පිහිටා තිබූ ආනන්ද තෙරුන් හා සැරියුත් තෙරුන් වැඩවිසූ ගුහාවන්ද දැක බලා ගත්තෙමි. ඒ ගුහා ඇතුළත වහල සහ බිත්ති රත්තරන් පැහැයෙන් බැබැළුණි. එසේ වී තිබුණේ ජපානයෙන් එන බැතිමතුන් මහායාන පූජා ක්‍රමයකට අනුව රත්තරන් පැහැති ස්ටිකර එම බිත්ති මත ඇලවීමෙනි. ඒ අතර තවත් ලෙනක් විය. එය සූකරයන් එසේත් නැතිනම් ඌරන් විසින් හාරන ළඳැයි විශ්වාස කළ අතර එය හදුන්වනු ලැබුවේද ' සූකරකථ ලෙන' නමනි. 

 

ඉන්පසු පයින්ම අශ්ව කරත්තය වෙත ඇවිද ආ මම එහි නැඟී කඩ මංඩියට පැමිණ නැවතී සිටි බෙංගාලි පංසල වෙත එන විට හොඳටම අඳුර වැටී තිබිණි. පහුවෙනිදා එනම් ඔක්තෝබර 25 ස් වෙනිදා අශෝක අධිරාජ්‍යා විසින් කරවූ නාලන්දාවේ නටඹුන් බලන්නට යාමට තීරණය කළෙමි.

 

එදින රජගහ නුවර සිට පෞද්ගලික බස් රථයක නැගී සුප්‍රසිද්ධ පැරණි බෞද්ධ විශ්ව විද්‍යාලය වූ නාලන්දාව අසලටම යාමට හැකි විය. කෙටි දුරක් පයින් ඇවිද ගිය මම ප්‍රවේශ පතක් මිලදී ගෙන එම භූමියට අවතීර්ණ වීමි. මෙහි බැලූ බැලූ හැම තැනම වූයේ සුවිසල් ගොඩනැඟිලි කැඩී බිඳී ඉතිරි වූ ගඩොල් බිත්ති වල පාදම් කොටස්ය. එම ගඩොල් බිත්ති සිතා ගැනීමටත් අපහසු තරම් පළලකින් යුක්ත විය. එම වෙලාවේ ඉතාම තද අව් රශ්මිය තිබුනද මම ඒ ගැන නොතකා සම්පූර්ණ පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුතු ප්‍රදේශය පුරාම ඇවිද තොරතුරු සොයා බැලුවෙමි.

 

මෙතරම් සුවිසල් ගොඩනැඟිලි සංකීර්ණයක් එකල ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කළේ කුමන සිතකින්ද යන වග ඒවා දුටු විට මගේ සිතේ මතු වන්නට විය. ගොඩනැඟිලි වල ඉතිරි වී තිබූ දැවී ගිය දැව රාමු කොටස් එදා අතිබිහිසුණු ගින්නකින් කළ හානිය අදටත් අපට පෙන්වා දෙන සාක්ෂියකි.

 

මෙම ගොඩනැඟිලි සංකීර්ණ භූමියේම යම් තරමකට ඉතිරි වී ඇති උස් ගොඩනැඟිල්ලක සැරියුත් මහා රහතන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා සුරැකිව තැන්පත් කර තබා ඇති බව එහිදී දැනගත්තද මා ගිය දිනයේදීම එම ගොඩනැඟිලි පිහිටි පෙදෙසට ඇතුල්වීමට නරඹන්නන්ට තහනම් කර තිබුනෙන් ඒ මහඟු අවස්ථාව මගෙන් ගිලිහිණි. ඒ ගැන කරුණු විමසීමේදී මෙහි ඒ දිනවල සොරකමක් සිදු වී තිබූ නිසා එම හදිසි ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වී තිබූ බව දැන ගතිමි. ඒ කෙසේ වෙතත් ආපසු එන ගමනේදී නාලන්දා කෞතුකාගාරයද නරඹන්නට යාමට මම අමතක නොකළෙමි.

 

සැරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කාලයේ නිවාසය හා උන්වහන්සේ අපවත් වූ ස්ථානය මේ අවටම බැව් දැනගත් නමුදු ඒ ස්ථාන බැලීමට යාමට නොහැකි විය. ඔක්තෝබර් විසි හය වෙනිදා උදෑසන අවදි වූ මට, මීට දින දෙකකට පෙර 'ටොන්ගා' රථයේ මා ගිය චාරිකාව පයින්ම යන්නට ඕනෑ යැයි හදිසියේම සිතිණි. 

 

තව කොටසක් ලබන සතියේ........

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට ...

Standard (Image)