Skip to main content
day 1

 

මා ඔබට පොරොන්දු වූ පරිදි මගේ ඥාති සොයුරාගේම වචන වලින් ඒ දඹදිව චාරිකාව ඔබ වෙත ගෙන එන්නම්.

මෙතැන් සිට දිගහැරෙන්නේ ඔහුගේ ඒ අධිෂ්ඨානයේ කතාවයි...

 

****************************************************************************

ඒ දෙදහස් හතේ මැයි මාසයයි. දඹදිව ගමන සඳහා උවමනා මුදල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මා අත තිබිණි. 

දඹදිව ගමන් සංවිධානය කරන ආයතන කිහිපයක් වෙත ගිය මා ආපසු ආවේ බලාපොරොත්තු සුන් කරගෙනය. එයට හේතු කිහිපයක්ම විය. ඒ වන්දනා නඩ උපරිම වශයෙන් දඹදිව ගතකරන කාලය වූයේ මාසයකි. එමෙන්ම ඔවුන්ගේ කාල සටහනකට සිරවී යාමටද සිදුවන්නේය.

මට උවමනා වූයේ මට ඕනෑ හැටියට ඒ සිද්ධස්ථාන බලා වැඳ පුදාගෙන ඇතිපදම් කල් අරගෙන නිවී සැනසිල්ලේ මේ ගමන නිම කර ගැනීමටයි. මේ වන්දනා නඩ සමඟ ගොස් මගේ අභිලාෂයන් ඉටු කරගත නොහැකි බැව් හැගී ගියෙන් ඒ උත්සහය අත් හැරියෙමි.

 

මේ අතරතුරේදී මා සමඟ මේ ගමනට එකතුවීමට කැමැත්ත පළ කොට සිටි යහළුවන් කිහිපදෙනාද ටිකෙන් ටික මේ ගමනට එක්විය නොහැකි බවට එක එක වර්ගයේ නිදහසට කරුනු කියමින් මඟ හරින්නට උත්සහ කරන බැව් මට හැඟුණි.


එහෙත් මගේ අධිෂ්ඨානය මේ කිසිම දෙයකින් බිඳුවක් හෝ වෙනස් නොවුණි. සිදුවූයේ එය තව තවත් ශක්තිමත් වීම පමණකි.

 

මම මුලින්ම පොත් සාප්පු හා පුස්තකාල පීරමින් ඉන්දියාව හා දඹදිව පිළිබඳව වූ පොත පත සොයාගෙන කියවන්නට පටන් ගතිමි. ඉන්දියාවේ සිතියම් බලා මගේ ගමන් මාර්ගය හා කාල සටහන සකස් කළෙමි. අතරින් පතර විවේක ගැනීම සඳහා දින කිහිපයකුත් වෙන් කිරීමෙන් අනතුරුව මුළු චාරිකාවම දින පනස් හතරක කාලයකින් නිම කරගැනීමට හැකි බව මට වැටහුණි. 

 

මා මිලදී ගත් හා පුස්තකාලයෙන් සොයාගත් පොත් අතර සිංහල,ඉංග්‍රීසි මෙන්ම පරිවර්තන කෘතිද විය. ඒ කාලය තුළදී මම ඉන්දියාවේ චාරිකා විස්තර හා වන්දනා විස්තර පොත් පත්ද බොහෝ සේ පරිශීලනය කළෙමි.

එපමනක් නොව සයිබර් අවකාශයේ පවා සැරිසරමින් තව තවත් විස්තර සහ ඒ ඒ ස්ථානවල භූ ගෝලීය පිහිටීම් හා අක්ෂාංශ හා දේශාංශ පවා සොයා ගෙන සටහන් කර ගතිමි.

මේ අතර අනගාරික ධර්මපාල තුමා ආරම්භ කළ ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ කොළඹ පිහිටි ශාඛාවට ගොස් තව තවත් කරුනු රැස් කළෙමි.

තනිකඩ පුද්ගලයෙකුවූ ධර්මපාල තුමා තනිවම තමන්ගේ අප්‍රතිහත දහිරියෙන් සියලු බාධක දුරලා මේ කෙරුවාවූ සේවය දුටු මගේ හිතට තවත් මහා හයියක් දැනුණි. මක් නිසාද යත් මාද තනිකඩ එමෙන්ම මව්පියන්ද අහිමි පුද්ගලයෙකු නිසාවෙනි.

ලංකාවේ මහා බෝධි සංගමයට ගිය මට එහි ප්‍රධානී පූජ්‍ය බානගල උපතිස්ස හාමුදුරුවන්ව හමු විණි. උන්වහන්සේගෙන් වැඳගත් කරුනු රාශියක් සපයා ගන්නට හැකිවීම මගේ සතුටට කාරණයක් විය.

මා තනිවම මේ ගමන යාමට අදහස් කරන බැව් අසා මට ආශීර්වාද කොට ලංකාවෙන් චෙන්නායි වලට ගොස් එතනින් සාංචිවලට යන ලෙස මට උපදෙස් දුන්නේද උන්වහන්සේයි.

 

මේ අතර ඉන්දියාවට ගොස් සංගීතය හැදෑරෑ සංගීත විශාරද වරයෙකුද මේ දිනවලම මට හමුවුණේ අහම්බෙනි. එතුමාටත් මගේ ගමන ගැන පැවසූ විට එතුමන්ද තනිවම යෑමේ අවදානම පෙන්වා දී මට අවශ්‍යවූ තවත් වැදගත් තොරතුරු රාශියක්ද මා වෙත ලබා දීමට තරම් කාරුණික විය.

ඉන්පසුව මට තිබුණ ප්‍රධානම ප්‍රශ්නය වුණේ ගමන සඳහා අවශ්‍ය මුදල් ගෙන යන්නේ කෙලෙසද යන්නයි. තනිවම යන ගමන නිසා මුදල් ළඟ තබා ගැනීමේ අවදානමත් මට හොඳින්ම වැටහී තිබිණි. එතරම් මුදල් ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මෙන්ම රටින් පිටට ගෙන යාමේ අසීරුතාවයත් මට පෙනුණි. ඒ දිනවල දිවා රෑ නොමැතිව මගේ හිතට වද දුන්‍ ප්‍රශ්නය වූයේ මෙයයි.

සංචාරක චෙක් පත් මගින් මුදල් ගෙනයා හැකි වූවත් ඉන්දියාවේදී ඒවා මාරු කරගැනීම සඳහා ඒ ඒ අදාළ ස්ථාන සොයාගත නොහැකි වුවහොත් මා වැටෙන කරදරය පිළිබඳ මට බිය සිතුණි. මේ නිසා ඒ අදහස හරිගියේ නැත.

මේ දිනවල මා සේවය කරමින් සිටියේ මහනුවර ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේය. දිනක් මා සුපුරුදු පරිදි දිවා ආහාරය ගැනීම සඳහා කොටුගොඩැල්ල වීදිය කෙළවර වූ කුඩා ආපනශාලාවකට යමින් සිටියෙමි. ඒ යන අතරතුරත් මගේ හිතේ වැඩකරමින් තිබුණෙ මේ මුදල් ප්‍රශ්නයමය.

හදිසියේම මගේ ඇස ගැටුණු දෙයින් මුලින්ම පුදුමයටත් ඉන්පසුව ඉතාමත් සතුටටත් පත් වුණෙමි.

පුදුමය නම් මෙතරම් කලක් මේ වීදියේම ගමන් කළත් මේ ගොඩනැඟිල්ල ඇස නොගැටීමයි. සතුටනම් දඹදිව චාරිකාවට අවශ්‍ය මුදල් ගෙනයාමට පොටක් පෑදීගෙන එන බව හැඟීමයි.මා දුටු මේ අරුමය වූයේ State Bank Of India හි මහනුවර ශාඛාවයි.කෑම ගැනීමට යෑම අමතක කළ මම වහාම බැංකුවට ගොස් නියෝජ්‍ය කළමනාකාර තුමා හමුවී මගේ අවශ්‍යතාවය එතුමාට සැලකර සිටියෙමි.

බෞද්ධයෙකු වූ එතුමා මගේ ගමන ගැන හොඳටම පැහැදුණු බවක් ඔහුගේ කථාවෙන් හා මුහුණේ ඉරියව් වලින් මට වැටහුණි. ඒ විතරක් නොව මා කළ යුත්තේ කුමක්දැයි පවසා සිටියේ ඉතාමත්ම කරුණාවෙන් සහ මිත්‍ර ලීලාවෙනි.

ඔහු පවසා සිටියේ ඔවුන්ගේ බැංකුවේ ගිණුමක් ආරම්භ කොට එහි මුදල් තැන්පත් කොට ATM කාඩ් පතක් ලබා ගන්නා ලෙසයි. ATM පත ඒමට සති දෙක තුනක් ගත වෙන නිසා එය වහාම කළ යුතු බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

එසේම ඉන්දියාවේ සෑම ටවුමක පාහේ ඔවුන්ගේ බැංකුවේ ශාඛා තිබෙන බව පවසා සිටි එතුමා තනිවම ඉන්දියාවේ සංචාරයේ බැරෑරුම් කමත් පෙන්වා දී තම ඇඳිවත නැතිවුණත් ගුවන් බලපත්‍රය හා ගුවන් ටිකට් පත් ආරක්ෂා කරගන්නා ලෙස මට ඉතාමත්ම වටිනා ගුරුහරුකමක්ද දුන්නේය.

ATM කාඩ් පත නැතිවුවත් ඕනෑම ශාඛාවකට ගොස් තමන් ලංකාවේ සිට ආ බවත් ඒ අතරම එතුමාට දුරකථන ඇමතුමක් දෙන ලෙසත් සහ එවිට මට අවශ්‍ය මුදල කිසිදු කරදරයකින් තොරව ලබා ගත හැකි බවත් පැවසුවේ මගේ සිතට බලාපොරොත්තුවේ අරුනළු උදා කරමිනි.

 

මේ වන විට මා ඉංදියාවට හා නේපාලයට යාමට අවශ්‍ය වීසා සහ ඉන්දියානු ගුවන් සමාගමින් කොළඹ කටුනායක සිට චෙන්නායි දක්වා යාමට හා ආපසු ඒමට ටිකට් පත් පවා මිලදී ගෙන තිබිණි.ඒ නිසා මට වැඩි කාලක් නොවූයෙන් එවෙලෙහිම  රුපියල් 1000 ක් දමා ගිණුමක් අරඹා ATM කාඩ් පතක්ද ඉල්ලුම් කොට කැඩුණු තටු හදිසියේ සුවපත්වූ කුරුල්ලකු පරිද්දෙන් ආපසු කන්තෝරුවට ගියෙමි.

 

ඉන්පසු උද්ගත වූයේ තවත් ගැටලුවකි. ඒ වනාහී වටිනා ලියකියවිලි හා යම් මුදලක් නොපෙනෙන ලෙස සඟවා ගෙන යා හැකි බඳ පටියක් නොමැති වීමය.ගමන සඳහා අවශ්‍ය කරේ එල්ලාගෙන යාහැකි සැහැල්ලු ගමන් මල්ලක් මිලට ගන්නට ගිය විටදී කොළඹ හා නුවර කඩ පීර මට උවමනා අන්දමේ බඳපටියක් සෙවූවත් එය නිෂ්ඵල කාර්‍යයක් වුණි.මෙයින් අධෛර්‍ය නොවූ මම නුවර තිබූ හම් කඩයකින් බඳ පටියක් තනා ගැනීමට තරම් ප්‍රමාණවත් පදම් කළ හම් කැබැල්ලක් මිලට ගතිමි. ඉන්පසු එය කපා, ගාංචු අල්ලා ඇතුළතින් අඟල් හයක් පමණ දිග පොකට්ටුවක් මසා එයට zip එකක්ද සවිකර මමම ඒ බඳ පටිය සාදා ගත්තේ උත්සහය ඇත්නම් කළ නොහැක්කේ කුමක්දැයි මගෙන්ම විමසමිනි.

 

ඉන්පසු මගේ ගිණුමේ තිබූ මුදල් ලක්ෂ තුනක් පමණ අලුතින් ඇරඹූ ඉන්දියානු බැංකු ගිණුමේ තැන්පත් කළෙමි. තව මුදලක් ඇමරිකානු ඩොලර වලට හරවා ඩොලර හය සියයක් පමණ හොඳ ඝනකම පොලිතින් උරයකට බහා වතුර නොයන සේ හොඳින් පාස්ස ගෙන සීල් කර ගත්තෙමි. එසේ කළේ හදිසියකදී ජීවිත ආරක්ෂාව සඳහා වතුරකට පැන පීනන්නට සිදුවුව හොත් මුදල් දියෙන් නොතෙමී රැක ගැනීමටයි. මේ මුදල මා සෑදූ බඳපටියේ පොකට්ටුව තුළ බහා සඟවා තැබුවෙමි. 

 

මේ අතරතුරදී මා මිලට ගත්, තමන් ගිය ඉන්දියාවේ සංචාරය ගැන ලියා තිබූ පොතක් කියවද්දී එහි කතෘ ගුරු උපදේශක ගොඩ්වින් සමරවීර මහතා මහනුවර පදිංචි කරුවකු බැව් දැනගන්නට ලැබුණි.

එතුමා හමුවීමට දිනෙක එතුමාගේ නිවසට ගිය මට වාසනාවකට එතුමා හමුවුණි. මගේ කතාව ඇසූ එතුමා මා කෙරෙහි විශ්වාසය තබා  A1 ප්‍රමාණයේ සිතියම් කිහිපයක් ෆොටෝ කොපි කරගන්නට කියා මා අතට පත් කළේය.

මගේ ගමන ගැන ඇසූ මා හඳුනන හාමුදුරුනමක්  "මහත්තයෝ පණට ආදරයක් ඇත්නම් මේ ගමන තනිවම නොයන" ලෙස මට අනතුරු හැඟවීය. එයට හේතුව වූයේ තනිවම ගොස් අතරමංවූවන්ව බලෙන් රැගෙන ගොස් ඔවන්ගේ වකුගඩු වැනි ශරීරෝපාංගයන්  විකිණීම සඳහා ගලවා ගැනීමේ තිරිසන් ව්‍යාපාරයක් ඉන්දියාවේ තදින්ම පැතිරීමයි.

ලංකාවේ වෙසෙක මගේ ළඟම නෑයා වූ මගේ අක්කාගෙත්‍ මගේ මේ අවදානම් සහිත ගමන පිළිබඳව තිබුණේ දැඩි අකමැත්තකි. එහෙත් මා ගත් තීරණය වෙනස් කිරීමට මේ කිසිවකුටත් නොහැකි විය. යහපත් අරමුණින් මේ ගමන යන නිසා මට කිසිදු අනතුරකට මුහුණ පෑමට සිදු නොවෙතැයි මට විශාල විශ්වාසයක් තිබිණි.

වටිනා ඔරලෝසු ආදිය හොරුන්ට ඇරයුම් කරන සුළු දේ නිසා ප්ලාස්ටික් පටියක් සහිත බාල වර්ගයේ ඩිජිටල් අත් ඔරලෝසුවක්ද සුදු කමිස කිහිපයක්‍ හා වටිනාකමින් අඩු කළු කලිසම් කිහිපයක්ද ගමන සඳහාම මිලදී ගතිමි.

වටිනා පාවහන් වෙනුවට ගමන සඳහා කැන්වස් වර්ගයේ බාල පාවහන් කුට්ටමක් තෝරා ගතිමි.

ඊළඟ ප්‍රශ්නය වූයේ මා අයැඳුම් කළ ATM කාඩ් පත තවමත් නොලැබීමයි. එහෙත් මගේ ගමනට ආශීර්වාද කරමින් මෙන් මා ලංකාවෙන් පිටවන දිනට පෙරදා එය තැපෑලෙන් මා වෙත ලැබිණි. බැංකු ශාඛාවට ගොස් එය ක්‍රියාකාරී කරගෙන එයින් මුදල් ගත හැකිබව පරික්ෂා කිරීමෙන් අනතුරුව මගේ ඉහේ මලක් පිපුණාක් බඳු හැගීමක් ඇති විය.

ඔක්තෝබර් මාසයේ අටවෙනිදාට පහන් වුණි. අවශ්‍යම ආම්පන්නයක් වූ විදුලි පන්දමක්ද මගේ ගමන් මල්ලට දමාගත් මා කැමරාවද එල්ලාගෙන ඒ පාළු නිවස වසා යතුරු මගේ සොයුරියට බාරදී පාරේ බසයෙන් තනිවම ගුවන් තොටුපලට යාමට පිටත් වුණෙමි.

 

මීට කලින් ගුවන් යානයක ගොස් නොතිබුණ මා ගුවන් තොටුපළේදී සියලුම නැවුම් අත්දැකීම් වලට මුහුණදී චෙන්නායී බලා පියාසර කරණ ඉන්දියානු ගුවන් සේවයේ යානයක අසුන් ගතිමි.

සුසුමක් හෙළා ළය සැහැල්ලු කොට දෑස් තරයේ පියාගත් මට මගෙන් වියෝවූ ආදරණීය දෙමාපියන් සිනහමුසු මුහුණින් මගේ මේ අවදානම් එහෙත් තීරණාත්මක ගමනට ආශීර්වාද කරමින් බලා සිටිනු බොඳවූ දෙනෙත් තුළින් දැකගත හැකිවිය.

තව කොටසක් ලබන සතියේ....

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)