Skip to main content
india

 

 

දුංගේෂ්වරී කන්ද බෝසතාණන් වහන්සේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ස්ථානයයි.

උදෑසනම පංසලින් පිටත්වූ අප තිදෙනා පැය එකහමාරක් පමණ ඉතාමත් දුෂ්කර මාර්ගයන්හී පයින්ම ඇවිද ගොස් ගංගාවන් දෙකකින්ද එගොඩ වී බොහෝ වෙහෙසකර ගමනක අවසනදී දුංගේෂ්වරී කන්දේ පාමුලට ළඟා වීමට සමත් වීමු. කඳු ශීර්ෂයට නැඟීම ඉතාමත්ම අනතුරුදායක වූ බැවින් කිසිවෙතුත් කඳු මුඳුනට නඟින හෝ නැඟ්ග බවක් පෙනෙන්නට නොතිබුණි. එහෙත් අප තිදෙනා ඒ දූෂ්කර හා අවදානම් අභියෝගය ජය ගැනීමට තීරණය කළෙමු. මඳක් නඟින විට චමින්ද මල්ලීට තවත් උඩට නැඟීම පිළිබඳව කැමැත්තක් නැතිබව අපට තේරැණි. එතැන් සිට මමත් විරාජ් මල්ලිත් කන්ඳ නැඟීම දිගටම කරගෙන ගිය අතර චමින්ද මල්ලී අපට සමාන්තරව කඳු අතර තිබූ සානුවක් දිගේ ඇවිඳ ආවේය.

 

ජාතක කථාවක එන ගිරව් දෙදෙනෙකු කන්දක දෙපැත්තේ සිටි හොඳ හා නරක මිනිසුන් අතරට වැටීම සිහිකරවූ සිද්ධියක් මට මේ කඳු තරණයේදී පියවි නෙතින්ම දැක ගන්නට ලැබිණි. එනම් මේ කඳු වැටියේද එක් පැත්තක් නපුරු වංචාකාරී මුදල් ගසාකන මිනිසුන්ගෙන්ද අනෙක් පැත්ත ඉතා හොඳ කරුණාවන්ත ගොවි තැනින් දිවි ගෙවූ ගොවියන්ගෙන්ද සමන්විත වීමයි.බලාපොරොත්තු වූ ආකාරයටම කන්ඳ මුදුනටම නැංඟ අප ගොවියන් වාසය කරන ඉසව්වෙන් ආපසු බුද්ධගයා පංසලට යාම සඳහා පල්ලම් බැස්සෙමු.

 

 

37516376_10156719931197022_2227867650321547264_n (1).jpg

 

 

37684795_10156719931402022_9066006097281679360_n.jpg

 

 

37689776_10156719931322022_6506342963394641920_n.jpg

 

 

37511951_10156719931372022_3707752143155888128_n (1).jpg

 

 

37633140_10156719931607022_6509547206565953536_n.jpg

(Photo -Trip Advisor)

 

වෙලාව ඒ වෙනවිට දහවල් දෙකට පමණ වන්නට ඇත. කන්ඳ නැඟීමත් බොහෝවෙලා අව්වේ සිටීමත් නිසා අප තිදෙනාම හොඳටම තෙහෙට්ටු වී සිටියෙමු. පිපාසයට වතුර පමණක් ගෙන ගිය අපට ඉතා තදින්ම කුස ගිනිද දැනුණි.ඒ වෙලාවේ අපේ එකම අරමුණ වූයේ කඩයක් සොයාගෙන හොඳට බඩ කට පුරා මොනවා හෝ කෑමය. අප ගමන් කරමින් සිටි ගම්මානයේ ගොවියන් කිහිප දෙනෙකුගෙන්ම කෑමට යමක් සොයා ගැනීම සඳහා කඩයක් තිබේදැයි විමසූ විට ඔවුන්ගේ පිළිතුරු එතරම් සුබවාදී නොවුණි. මා සමඟ සිටි සොයුරන් දෙදෙනාගෙන් විරාජ් සොයුරාට හින්දි භාෂාව මැනැවින් හැසිරිය හැකි විය. ඔහු හින්දි භාෂාවෙන්ද ඔවුන්ගෙන් කඩයක් පිළිබඳ විමසූ විට අපට ලැබුණේ එකම පිළිතුරය. එනම් අහල පහළක කිසිදු කඩයක් නැතිබවයි.

 

මේ අතර අප දෙස උවමනාවෙන් පැත්තකට වී බලාසිටින වයසක මිනිසකු මා නෙත ගැටුණි. වයස අවුරැදු 70 ක් පමණ වූ මේ වයෝවෘධ තැනැත්තා දුටුවිට මගේ සිහියට එකවරම ආවේ මහත්මා ගාන්ධි තුමායි. කෙසඟ සිරුරත් මදක් කොණ්ඩය තිබූ තට්ට හිසත් ඒ පෙනුම තවත් වර්ධන කෙරුණි. උපැස් යුවලක් පැළඳ නොසිටිය නිසා ඔහුගේ කරුණාව පිරි දෙනෙත මට හොඳින්ම පෙනුණි.

 

ඔහු අප ළඟට පැමිණ අපට අවශ්‍ය කුමක්දැයි හින්දි භාෂාවෙන් විචාලීය. අප කෑම ගැනීම සඳහා කඩයක් සොයන බව දැනගත් පසු කඩයක් ළඟපාතක නැතිබව පවසා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස අපට ආරාධනා කළේ අපව මදක් විමතියටත් ඒ සමඟම සතුටටත් පත් කරමිනි.

 

මෙතෙක් කල් මට මුහුණ පාන්නට සිදුවූ අකරතැබ්බ නිසා ආගන්තුකයෙකු එක්වරම විශ්වාස කොට ඔහු සමඟ යෑම පිළිබඳව මගේ සිතේ යම් චකිතයක් ඇති වූවත් ඔහුගේ පෙනුම හා කතා කළ විලාසය ඔහු ගුණයහපත් මනුෂ්‍යයෙකු බැව් මට ඒත්තු ගැන්වීය. ඊටත් අප තිදෙනෙකුම සිටීම මගේ සිතට ශක්තියක් විය.

 

ඔහුට තිබුණේ කටු මැටි ගසා මානා හෝ පිඳුරු සෙවිලි කළ මනරම් ගෙයකි. ගෙයවටා වත්ත මනාව පිරිසිදු කොට තිබිණි. නිවසේ පසෙකින් ඔවුන්ගේ කිරිපට්ටිය පිහිටා තිබූ අතර හොඳ නාඹර එළදෙනුන් කිහිප දෙනෙකුම එහි ලැග වමාරා කමින් පසුවූහ.

 

නිවසට අප කැටුව ගිය හෙතෙම ඔහුගේ බිරින්ඳෑට අපට කෑමට යමක් සූදානම් කරන ලෙස දැන්වීය. අප හමුවට ආ එම තැනැත්තියද ඉතාමත් හිතවත් සහ කරුණාවන්ත ලීලාවෙන් සිනහ වූවාය. අපට ආසන පනවා වතුර සෙම්බුවක් ගෙන අපට අත්පා මුහුණ සෝදා ගන්නට සැලසීය. ඉතාමත්ම ගෞරවයෙන් හරියට ශ්‍රාස්තෘ වරයෙකුට වතාවත් කරණ ආකාරයෙන් ඇයම අපගේ අත්පා දොවන්නට සැරසුණත් අප කාරැණිකව අපගේ මව්වරුනගේ වයසේම වූ ඇයව වළකා ලීමු.

 

අපව ගෙතුලට කැඳවා ගෙන ලෑලි පටි ගසාපු බංකුවක වාඩිවන්නට සලස්වා විශාල භාජනයකට එළකිරි දමා අප තිදෙනාට ලොකු ජෝගු 3 ක් දී ඒවාට කිරි වත් කොට අපට බොන්නට දෙන ලදී. ජෝගු ඉවර වෙන ඉවර වෙන වාරයට දෙවියන්ට සලකන අන්දමේ භක්තියකින් අපට කිරි පිළිගැන්වූ හෙතෙම අප කිරි බොන දෙස බලා මහත් සතුටක් විඳින අයුරු පෙනෙන්ට තිබිණි.

 

කිසිදු දරු මල්ලකු පෙනෙන්ට නොසිටි එම නිවසේ ඔහු අපට ඔහුගේම දරුවන් සේ සලකා සත්කාර කරන බැව් මට හැගුණි.

ඇති පදමට ඉතාමත් ප්‍රණීත කිරි බී බඩ කට පුරවාගත් අප, මේ සංග්‍රහය වෙනුවෙන් යම් මුදළක් තෑගි වශයෙන් දිය යුතු බව ඔවුනට නොතේරෙන සේ සිංහලෙන්ම කතිකා කර ගත්තද පසුව මේ අන්දමින් පියෙකු සේ මේ උතුම් මිනිසා කළ මේ අමිල සත් ක්‍රියාව යම් මුදළක් දීමෙන් වටිනාකමින් බාල කිරීම සුදුසු නොවන බව තීරණය කර ගතිමු. මන්ද ඒ මොහොතේ එය මිල කිරීමට සුදුසු දර්ශකයක් මේ මිහිමත නොතිබූ නිසාවෙනි. 

 

 

ඒ මොහොතේ අප තිදෙනාම දෑත් එක්කොට ඉතාමත්ම ගෞරවයෙන් අපේම පියාට මෙන් එතුමන්ට ආචාර කළෙමු. ඒ උතුම් මිනිසා එය, තමන්ගේම දරුවකුගෙන් ලැබෙන සැලකිල්ලක් ලෙසින් පිළිගත් බව ඔහුගේ මුහුණේ එවෙලෙහි ඇඳුනු සිනහවෙන් අපට සිතා ගත හැකි විය. 

 

ඉන්පසු අප සමඟ පාරට ආ ඔහු බුද්ධගයා විහාරයට යන පාර පෙන්වා අපව තනි නොකොට හැතැම්ම එක හමාරක් පමණ ඒ දුර කර්කශ අව්වේම දුහුවිල්ලෙන් වැසීගත් බොරළු පාරේ අප සමඟ පයින්ම ඇවිද ආවේය. 

 

ඉන්පසු පංසල පේන නොපෙනෙන මානයේදී අපෙන් සමුගත් ඔහු අප වෙන්වී නොපෙනී යනතුරුත් නැවතී බලා සිටින බැව් ආපසු හැරී බැලු මට කඳුළු අතරින් පෙනුණි. එසැනින්ම මගේ නැතිවූ පියා මේ පුද්ගලයා දැකීමෙන් මගේ සිහියට ආවේ මට මහත් තනිකමක් හා පාළුවක් සිතට එක් කරමිනි. එතුමාද මෙවැනිම අන්දමේ නිවුනු ගති ඇති කරුණාවන්ත මිනිසෙකි.

 

පංසලට ආ විගසම දැඩි මහන්සිය නිසාම චමින්ද හා විරාජ් සොයුරන්ගෙන් සමුගත් මා ඉතා වේලාසනින්ම නින්දට වැටුණෙමි.පහුවෙනිදා එනම් ඔක්තෝබර විසි එක්වෙනිදා අප ගුරුපා කන්දට යාමට තීරණය කළෙමු. 

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)