Skip to main content
day6

 

 

චමින්ද මල්ලීට ධම්මික හාමුදුරුවන්  සමඟ වෙනත් චාරිකාවක් සඳහා යාමට තිබූ හෙයින් විරාජ් මල්ලී පමණක් මා සමඟ ගුරුපා කන්ඳට යාමට එක් විය.භාෂා කිහිපයක්ම මනාව හැසිරිය හැකිවූ විරාජ් මල්ලී ඉතා නිර්භීත හා ගුණවත් මිනිසෙකු බව මට ඔහු හා පැවැත්වූ කෙටි ඇසුරින්ම වැටහී තිබිණි. භාවනාවෙන් බොහෝසේ සිත දියණු කරගෙන වුන් ඔහුට මහා පුදුම අන්දමේ මානසික හා ශාරීරික ශක්තියක් ඇතිබව පෙනුණි.

 

උදයෙන්ම පංසලෙන් පිටත් වූ අප ගයා හංදිය දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැඟී ගුරුපා දුම්රියපළ බලා ගමන් ඇරඹීමු. කුඩා ස්ටේෂමක් වූ ගුරුපා ස්ටේෂම නවදිල්ලියේ සිට කල්කටාව දක්වා දිවෙන ප්‍රධාන දුම්රිය මගෙහි පිහිටා තිබේ. ගයාවේ සිට කිලෝමීටර 45 ක් දුම්රියේ ගමන් කොට, අප ගුරුපා  ස්ටේෂමට ළඟා වීමු. ස්ටේෂම පිහිටා තිබුණේ ගුරුපා කන්ඳ පාමුලයි. එතැනින් ගමන ආරම්භ කළ අප කිලෝමීටර එකහමාරක් පමණ කන්ඳ උඩට නැංගෙමු.

 

ගුරුපා කන්ඳ, දඹදිව වන්දනාවේ එන බැතිමතුන්ගෙන්  1% ක් වත් නොයන ස්ථානයකි. මේ කන්ද බෞද්ධයන්ට වැඳගත් වන්නේ එහි කාශ්‍යප මහා රහතන් වහන්සේ වැඩවිසූ නිසාවෙනි. බුදුරජාණන් වහන්සේට බොහෝසේ සමාන වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් කිහිපයකින සමන්විත වූ රෑපකායකට හිමිකම් කියූ කාශ්‍යප මහා රහතන් වහන්සේට මිනිසුන් බුදුන් වහන්සේ කියා රැවටුණහ. 

 

සමහරු බුදුරජුන්ට කාශ්‍යප රහතන්වහන්සේ යැයි සිතා දානය පූජා කළහ. එසේම තවත් සමහරෙක් කාශ්‍යප රහතන් වහන්සේ බුදුන් යැයි සිතූහ.මේ හේතුව නිසා බුදුන් වහනසේට යම් අවමානයක් වේ යැයි සිතූ කාශ්‍යප මහා රහතන් වහන්සේ බුදුන් වහන්සේ සමඟ එක පෙදෙසක වාසයෙන් වෙන්වී, මේ ගුරුපා කන්දට පැමිණ වැඩ විසූ බව ඉතිහාසයේ කියැවේ.

 

කන්ඳ මුඳුනට නැංග අපට එය ඉතාමත්ම සුන්දර පෙදෙසක් බැව් පෙනුණි. ඉතාම පාළු පෙදෙසක් වූ එහිදී අපට කිසිදු මිනිස් පුළුටක් නම් හමු වුණේ නැත.කන්ඳ මුදුනේ ස්වභාවිකවම නිර්මාණය වූ ගල් දෙබොක්කාවක් තිබිණි. මහා විශාල ගලක් යම් පාරිසරික හේතුවකින් දෙකට පැළී ගොස් ඇති බවක් පෙනුණි.ගල් පැල්මේ පළල අඩි දෙකක් පමණ විය. අප ඒ පැල්ම දිගේ ඉදිරියට ගමන් කළෙමු. පැල්ම ටික ටික පටුවී ඉතා අඳුරු ස්වභාවයක් ඉසිලීය. අප ළඟ තිබූ විදුලි පන්දම් දල්වාගෙන තවත් ඉදිරියට ගිය අපට අංශක 90 කට වූ තවත් පැල්මක් දක්නට ලැබිණි. අපේ කුතුහලය නිසා එය දිගටත් ටික දුරක් ගමන් කළවිට එයද ටිකෙන් ටික පටුවන බව තේරුණි. 

 

එතනින් ආපසු එළියට ආ අපට ලංකාවේ හාමුදුරුනමක්  හදන්නට පටන්ගෙන තිබූ පුංචි පංසලක් හමු විය. ඒ අතර තවත් කුඩා කෝවිල් කිහිපයකුත් දක්නට ලැබිණි. එහෙත් මේ සියලුම ස්ථාන අසාමාන ලෙස පාළු බවක් ඉසිලීය. සමහර විට එදා ඉරිදා දිනයක් වූ නිසා වෙන්නට ඇතැයි අප සිතුවෙමු.කන්ඳ මුදුනේ සිට බැලුවිට අප පැමිණි දුම්රිය මාර්ගය ඉතාමත් පුංචියට පහළින් පෙනුණි. එවෙලෙහිම වාගේ පෙට්ටි විශාල ගණනකින් යුතු දුම්රියක් ගැඩවිල් පණුවකු සේ ඇදී ගියේය.

 

කන්ඳ මුඳුනින් පටන් ගන්නා කුඩා ඳොල පාරවල් කිහිපයක් අපට දක්නට ලැබිණි. තැන තැන දිය එකතු වී සෑදුණු ස්වභාවික දිය කඩිතිද තිබූ අතර දිය සීරාව නිසා ගල් වැටි ඉතා ලිස්සන සුළු විය. හරිත පැහැ ගත් වනයේ තැන තැන වැවී තිබූ වැල් වර්ග ඉතා සරු බවක් ඉසිලීය.වටපිට සිරි නරඹමින් සිටි අපට දවස ගතවී ඇති බවක් වත් නොඳැනුණි. ඒ තරමටම අප සිටියේ පරිසරයට වශී වීය.

 

 

gurupa2.jpg

(ගුරුපා කන්ඳ)

 

Gurupa.10.gif

 

රෑ බෝ වන්නට පෙර පන්සලට යාගවූ හෙයින් අප ඉක්මනින්ම කන්ඳ බැස දුම්රිය පළට ආවෙමු. එහිදී දැනගන්නට ලැබුණු පුවතින් අපගේ ඉහ මොළ රත් විණි.දැඩි පාළු බවක් ඉසිලු දුම්රිය පලේ සිටියේ දුම්රිය ස්ථානාධිපති තුමා පමණකි. එතුමාගෙන් පැවසුණේ නැවත සවස 6 වෙනතුරු කිසිදු  දුම්රියක් නැති බවයි. වෙලාව ඒ වනවිට දහවල් එක පසුවූවා පමණි.

 

උඩු රැවුල උඩට කරකවා උපැස් යුවළක්ද පැළඳ සිටි ඔහු දුටු විට මට එකපාරටම සිහියට ආවේ ප්‍රවීණ දකුණු ඉංදියානු සිනමා නළු ශිවාජි ගනේෂන්වය. ඔහු උවමනාවටත් වඩා සිතින් මවාගත් මාන්නයක් අපට පෙන්වන්නට තැත් කරන බව පෙනෙන්නට තිබිණි.භාෂා කිහිපයක් ඉතා චතුරව කතා කළ හැකි විරාජ් සොයුරා ඉතාමත් සුහඳශීලීව ඉංග්‍රීසි බසින් ස්ථානාධිපති තුමා සමඟ කතාවට වැටුණි.

 

එවෙලේ ඉතා ආඩම්බරයෙන් අප දෙස බැලු ඔහු " I am the station master. I can do anything " යැයි පවසා තවදුරටත් " there will be an engine coming in a minute. I can stop the engine and send you two to Gaya." යැයද පැවසුවේ අපට සතුටක් මෙන්ම බියක්ද සිතට කාවද්දමිනි. අප ටිකට් ගැන විමසු විට අවශ්‍ය නැතැයි පැවසූ එතුමා එවෙලේම පැමිණි දුම්රිය එන්ජිම සිග්නල් දමා නැවැත්වීය.

 

දුම්රිය රියදුරා හා ඔහුගේ සහයක තැන පමණක් එන්ජිමේ වූහ. ස්ථානාධිපති තුමා රියදුරාට හින්දියෙන් යමක් පවසා අපට එන්ජිමට ගොඩවන ලෙස හිසින් සන් කළේය. අප එතුමාට අනේක වාරයක් පිං දෙමින් එන්ජිමට ගොඩ වීමු.

 

ඒ කෙසේ වුවද, රියදුරා හා සහයක තැනගේ මුහුණු එතරම් හොඳවූයේ නැත. කිලෝමීටරයක් පමණ බුම්මාගෙන මෙන් ගමන් කළ ඔවුන් කැඩුණු ඉංග්‍රීසියෙන් මේක නීතිවිරෝධි වැඩක්. මෙයින් ඔවුන්ගේ රැකියා පවා අහිමි විය හැකි බව කියා සිටියහ. බුලත්විට කමින් කටවල් රතු කරගෙන සිටි ඔවුන් ඉතා කෑදර ලෙස අප දෙස බලා මෙසේ කියනවිට ඔවුන් සැරසෙන්නේ මුදලක් ගසා කෑමට බව අපට වැටහිණි. අපගේ සැකය සනාථ කරමින් මුදලක් අවශ්‍ය බව අවසානයේදී ඔවුන්ම අපට පැවසූහ. අප ඔවුනට  ඉංදියානු  රුපියල් 45ක් දුන්නෙමු. එය වෙලාවේ හැටියට අපට තරමක් වාසි සහගත විය. ඉන් පසු ඔවුන් අපට කරදර කළේ නැත.කිලෝමීටර් 45 ක් පමණවූ ඒ ගමන අප වටපිට සිරි නරඹමින් දුම්රිය ස්ථානාධිපති තුමාට පිං දෙමින් ඉතාමත්ම සතුටින් පැමිණියෙමු.

 

ඉතා විශාල දුම්රිය පලක් වූ ගයා හංදියට දුම්රිය එංජිම ළඟා විණි. මිනිසුන් නොමැති වේදිකාවේ කෙළවර එය නැවැත්තූ රියදුරා අපට බැහැගන්නා ලෙස හිසින් කීය. අප ඔවුන්ගේ මළගිය ඥාතීන්ට පවා පිං දෙමින් එයින් බැස ගතිමු .

 

ඉන්පසු අපේ ඉහ මොළ රත්වූයේ එළියට යාම සඳහා අප අතේ ටිකට් නැතිබව සිහිවූ විටය. වේදිකාව දිගටම ගසා තිබුණේ උස වැටකි. එළියට යාහැකි තැනක් සොයා ගැනීම සඳහා බොහෝ දුරක් රේල් පාරේ උතුරු දෙසට ඇවිද යාමට අපට සිදු විය. අපේ වාසනාවට අවසානයේ වැටේ කැඩී ගිය තැනක් අපට හමු විය. එතනින් ඉක්මනට එළියට පැනගත් අප ළඟම තිබූ කඩයට වැදී බඩකට පුරා කෑම කෑවේ පාසල් කාලයේ දඩබ්බර කමක් කොට සතුටුවන ගැටවරයන් දෙදෙනකු විලසිනි. 

 

හොඳින් බඩ පුරවාගත් අප ඉතාමත්ම සතුටින් පොදු ත්‍රී වීලර් රථයකට ගොඩ වී විනාඩි 20ක පමණ ගමනකින් පසු බුද්ධගයාවේ අප නතර වී වුන් පන්සල වෙත ළඟා වීමු.

 

පහුවෙනිදා ධම්මික හිමියන් බුද්ධගයාව අවට ගම්මානවල නටඹුන් බැලීමට යොදාගෙන තිබුණහ. උන්වහන්සේ ලියමින් සිටින අළුත් කෘතියකට කරුණු  සෙවීම මෙම ගමනේ අරමුණ විය. මමත් ඉතාමත්ම සතුටින් ඒ ගමනට එක් වුණෙමි.

 

ගයාවේ සිට පැට්නා බලා දිවෙන පාරේ අප ගමන් කොට බුද්ධගයාව අවට ගම්මානයක තිබූ නටඹුන් නැරඹුවෙමු. පහුවෙනිදා බුද්ධගයාවෙන් සමුගෙන රජගහ නුවරට යෑම මගේ අරමුණ විය.

තව කොටසක් ලබන සතියේ.....

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Standard (Image)