Skip to main content
Dog

 

" හිටියා උදාර කොල්ලෙක්
ඌට හිටියා හොඳ සැර බල්ලෙක්
පළාතෙ එන්නෑ බිල්ලෙක්
උගෙ ඇඟේම නෑ එක මැක්කෙක්

දවසක්දා ඌ දික්කරගෙන කලු හොම්බක්
හිටියා පණ නැති ගතියෙන් හොඳටම හෙම්බත්
ඌ කෑම කන්නෙ නෑ 
බුරන්න යන්නෑ
නඟුට වනන්නෑ
ලෙව කන්නේ නෑ.... නෑ.... හරිම ලෙඩක්

බල්ලට වැඩියෙන් කොල්ලයි දැන් ගොරවන්නෙ
කොල්ලට වැඩියෙන් බල්ලයි දැන් ගොරවන්නෙ

තොට මස්කටු ඕනද
බලු සුප් ඕනද
ගස්ලබු ඕනද
පපඩම් ඕනද.... නෑ.....උපවාසේ

මේ මොන දෙයක්ද කියලා තැවෙනව කොල්ලත්
නොකා නොබී ඉඳ හොම්බෙන් යනවා බල්ලත්

තොට දම්වැල එපාද
කූඩුව එපාද
තලන්න එපාද
කහින්න එපාද... කෝ... කියන්නෙ නෑ...

ඒ ගැන හිතලම කෙට්ටුයි දැන් අපෙ කොල්ලත්
දවසින් දවසම දිරාලා යනවා බල්ලත්

දෙන්නද බූල් වැක්කෙරෙන
කන් දෙක එල්ලෙන
ඇස් දෙක නටවන
සුනඛදේණුවක්....නෑ....කියන්නෙ නෑ..

දැන් දැන් බල්ලගෙ තත්වය තරමක් උග්‍රයි
මාරය සමඟත් දැන් ඌ හොඳහැටි මිත්‍රයි
පණ අදින ගමන් ඌ වනල දෙකන්
කියනව ඌ දැන් මෙහෙම බොලං
මේ.... අහපල්ලා..

ස්වාමියාට ඇති කීකරු කම අත්හරින්නෙ නෑ
එනමුත් බල්ලා කියනා නම රැක ගන්නත් නෑ
මිනිසුන් අතරේ පොකට් ගහන්නෙත්
බෙලිද කපන්නෙත්
උන්ට කියන්නෙත්
බල්ලා..බල්ලා...බල්ලා....බල්ලා....// "

අප හැත්තෑව දශකයේ ගුවන් විඳුළියෙන් ඇසූ මෙම ගීතය නෑසූ කෙනෙකු නැති තරම්ය. එය ඒ තරමටම ජනප්‍රිය වූ ගීතයකි. මෙය ෆ්‍රෙඩී සිල්වා නම් වූ විශිෂ්ට විකට ගායකයා විසින් ගයන ලද හාස්‍යයෝපාදක ගීතයක් එසේත් නැතිනම් විකට ගීතයක් ලෙස මතුපිටින් පෙනුනද එහි ඇතුළත ඇති ව්‍යාංගාර්ථය ඉතාමත්ම ගැඹුරුය.

බල්ලා යනු අප්‍රමාණව මිනිසාට ආදරය කරන මිනිසාගේ අවංකම හිතවතා බව මා ඔබට අමුතුවෙන් කිවයුතු නැති අප සැවොම දන්නා සත්‍යකි. උගේ ආදරය කොන්දේසි විරහිතය. ඇතිදාත් නැතිදාත්, දුකේදීත් සැපේදීත් එකම ලෙසටමය. එහෙත් මෙම ගීතයේ කියනා පරිදි අධම, නීච හා පහත් වැඩ කරන මිනිසාටද කියන්නේ " බල්ලා" වීම සැබැවින්ම මෙතරම් ගුණයහපත් සැබෑ බල්ලාට කරන අගෞරවයකි. එහෙයින් හැමවිටම මම ඌ ඇමතීමට " සුනඛයා" හෝ " සුනඛ මිතුරා" යන ගෞරව නාමය යොදා ගැනීමට වගබලා ගන්නෙමි.

අපට හිතවත්ම මෙම සුනඛ මිතුරන්ට ඉතා ඉහළ මට්ටමේ ඉවක් මෙන්ම හොඳ මොලයක්ද ඇත. ගයිඩ් ඩෝග්ස් නමින් ඉංග්‍රීසියෙන් කියන විශේෂයෙන් පුහුණු සුනඛයින් අන්ධ පුද්ගලයන්ට කණ වැල අල්ලන්නේ මිනිසෙකුටත් වඩා කල්පනාවෙනි. පරිස්සමිනි. එමෙන්ම බෝම්බ හා මත්ද්‍රව්‍ය සොයා ගැනීමටද සුනඛයන්ගෙන් ලැබෙන්නේ අනඟි සහයකි. යුද්ධ වලදී කෙතරම් නම් මෙවන් වීර සුනඛයින් මිනිසුන් වෙනුවෙන් දිවි පුදා ඇතිද? බටහිර රටවල මිනිසුන් සුනඛයින්ට මිනිසුන්ටත් වඩා ආදරේ කරන්නේ ගෞරව කරන්නේ එබැවිනි. සුනඛයකු සමඟ පාර පනින්නට සිටියහොත් මහා විශාල ට්‍රක් රථ පවා නවත්වා පාර මාරු වන්නට මේ රටවල රියදුරන් පෙළබෙන්නේ නිතැතිනි.ඒ ඔවුන්ගේ හදවත් තුළ ඇති කරුණා ගුනයටය. සතුන්ට ඇති ආදරයටය. නැතිනම් බණ අසා නොවේ.

අපට සිටින සුනඛ මිතුරා " බෙන්ජි " දැන් අපේම පවුලේ කෙනෙකි. උගේ නම බෙන්ජි ගුණසේකර වන අතර පශු වෛද්‍යතුමා ළඟ ලියාපදිංචි කර ඇත්තේ ඒ නමිනි. ඕනම වෙලාවක මා සමඟම රැඳෙන බෙන්ජී මා සේවය නිමවා නිවසට පැමිණෙන විට දොරකඩටම පැමිණ දක්වන පිළිගැනීම අත්විඳින්නට නම් ඔබටත් සුනඛයකු සිටිය යුතුමය. එලෙසින්ම ඔබට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය නම් සුනඛයකුගේ ඇසුර ඊට මඟ පාදා දෙන බවද හිතේ තබා ගත යුතු කාරණයකි. ඒ හැමදාම ඇවිදින්නට යන්නට සුනඛයා ඔබව පොළඹවන බැවිනි.

එහෙත් අවාසනාවකට හැමදාම බුදුන් වඳින, බණ අසන හා පිරිත් අසන අපේ ශ්‍රී ලංකාවේ බොහෝ විට සුනඛයාගේ තත්වය "බල්ලාට"ගොස් තිබීම ඉතාමත්ම ඛේදනීයය. මේ මෑතකදී විශ්ව විද්‍යාල භූමියක සිටි සුනඛයන්ට වස දී මරා දැමුණු පුවතක් ආරංචි විය. එමෙන්ම තාඩන පීඩන වලට ලක් කරන හා මහ මඟ තනිකර දමා යන සුනඛයන්ගේ ප්‍රමාණයද දින දින ඉහළ යයි. මේ රටවල නම් එලෙස කරන්නන්ට නඩු පවරා නීතියෙන් කටයුතු කරන අතර එම සුනකයින්ද පුනරුත්ථාපන කඳවුරු වලට ගෙනගොස් රැකබලා ගෙන සුදුසු හාම්පුතකු හමු වූ විට බාරදෙනු ලැබීම කරගෙන යනු ලබයි. අපගේ රටවල් වැනි හැමදාමත් දියුණු වෙමින්ම පවතින රටවල මෙවැනි දෑ සිහිනයක්ම පමණි. ( මේ සත්කාරය Embark වැනි සංවිධාන මඟින් දැන් නම් යම් මට්ටමකට ලංකාවේත් කරගෙන යන බව පසුව දැන ගන්නට ලැබිණි. )

හැමදාම බණ ඇසූවත් , පංසල් ගියත් අපගේ බහුතරයකට මෙම කරුණාව නැත. තමන්ගේ දෙමාපියන්ව වයසට ගියවිට බලු කූඩු වල දමන සමහර අමනයන් වසන දීපයක සුනඛයන්ට යන කල දවස ගැන කුමන කතාද? එසේම සමහර බෞද්ධ භික්ෂූන්ද සතුන් සමඟ එතරම් ළඟින් ඇසුර යහපත් නැතිබවත් එසේ වූ විට මතු බවයන්හී තිරිසන් සතුන් වී උපදින බවත් දේශනාකරන බව මට දැනගන්නට ලැබිණි. ලෝකයේ සියලුම සතුනට එකලෙසම මෛත්‍රී කළ සහ මහාකරුණාව දැක්වූ තිලෝගුරු බුදු හිමියන් නම්‍ කීයටවත් මෙලෙස දේශනා නොකරන බව මට විශ්වාසය. මන්ද උන්වහන්සේ තරම් සත්වයාට ආදරය කළ උත්තමයකු තවත් නොමැති බැවිනි.

කරුණු කාරණා මෙසේ වූවත් තමන් දිවි දෙවැනි කොට සතුන් විශේෂයෙන්ම සුනඛයින්ගේ සුඛ විහරණය හා අභිවෘද්ධිය වෙනුවෙන් තම දිවිය කැප කළ මිනිසුන් අතළොස්සක් ලංකාවේ වාසය කිරීම සතුටට කාරණයකි. මේ සටහන එවැනි බෝසත් ගුණැති මිනිසකු පිළිබඳවය.

ඔහු නමින් ෂීරු ගමගේය. මා එම මහතාව හඳුනා ගත්තේ මුහුණු පොතිනි. වෘතියෙන් ඡායාරෑප ශිල්පියකු වන ඔහුගේ මුහුණු පොතේ ප්‍රොෆයිලයට ඔබ ගොඩවුවහොත් මා මේ පවසන දේ සත්‍ය අසත්‍යතාව ඔබටම දැක බලා ගත හැකි වනු ඇත.

ඔහුගේ නිවසේ නේවාසිකව වසනා 
සුනඛයින් රාශියකි. ඒ අතරම ලෙඩ වූ ,තුවාල වූ සහ මහ මඟ දමා යන සුනඛයින්ටද ඔහු පිහිට වෙයි. ඔහුගේ නිවස එකම සුනඛ විමානයකි. හැමදාම කල්දේරම් ගණනේ බත් ඉදේ. ඒවා නිවසේ සිටින සුනඛයින්ට මෙන්ම ඔහු පැමිණෙන තෙක් මඟ බලාගෙන සිටිනා වීථි සුනඛයින්ටය. එමෙන්ම ඔවුනට අවශ්‍ය බෙහෙත්, එන්නත් හා විටමින් වර්ගද ඔහු මිලට ගත යුතුය.

මම අද මේ පිළිබඳව තවත් හොඳින් සවිස්තරාත්මකව කරුණු දැන ගැනීමට ෂීරු සහෝදරයාට දුරකතන ඇමතුමක් ගතිමි. ඔහු ඒ මොහොතේ එළියට ගොස් පැමිණ ගෙට ගොඩවූවා පමණි. ඒ එළියට ගොස් තිබුණේ ඔහුගේ දෛනික කාර්‍යයක් සඳහාය. ඒ ඔබ අප මෙන් තැබෑරුමට ගොස් අඩියක් ගැසීමටවත් හෝ යහළුවන් සමඟ එක්වී විනෝද වන්නටවත් නොවේ. ඔහු එනතෙක් පෙර මඟ බලා සිටින මිතුරන් පිරිසක් හමු වීමටය. හමු වී ඔවුනගේ කුස පුරවන්නටය. ඒ මිතුරන් නම් මහරගම, පන්නිපිටිය අවට දඩාවතේ ඇවිදින අයිතිකාරයන් නොමැති සුනඛ කැලය.

දවසේ දහසකුත් එකක් වැඩ නිමවා ඉතාමත්ව වෙහෙසට පත්වී නිවසට පැමිණියද ඔහු මා සමඟ ඉතාමත්ම කුළුපගව දොඩමළු වූයේ බොහෝ කලක පටන් දැන හඳුනාගෙන වුන් සහෘදයකු පරිද්දෙනි.

මා ඔහුගෙන් මේ පිළිබඳව විමසූ විට ඉතාමත්ම සතුටින් ඔහු මාහා පිළිසඳරට එක්විය. මම එය ඔහුගේ වචනයෙන්ම ඔබ වෙත ගෙන එන්නම්.

" චන්දන මම උපන්නෙ පන්නිපිටියෙ. අපේ පවුලෙ අම්මයි තාත්තයි එක්ක 9 දෙනෙක් හිටියා. සහෝදරයො 4යි සහෝදරියො 2 යි. මම පවුලෙ දෙවැනි දරුවා. අපේ තාත්තා විතරයි රැකියාවක් කළේ. අම්මා අපව බලාකියා ගෙන ගෙදර හිටියා. ඒ 1977 ට ඉස්සර සිරිමාවොගෙ කාලේ. ඒ දවස්වල බොහෝ අයට වගේම අපටත් හරියට අගහිඟ කම් තිබුණා. ඒත් පොඩි කාලෙ ඉඳලම මට සුරතලේට ඇති කරන සුනඛයෙක් හිටිය. පුදුමෙ කියන්නෙ මට ඇරෙන්න අපේ පවුලෙ කාටවත් සතුන් ගැන එහෙම හැඟීමක් නොතිබෙද්දි මට විතරක් එහෙම වුණ එක. මට මතකයි අපේ අම්මා කියනවා පුතේ උඹ බල්ලෙක් ඇති කරනවා නම් උඹේ බත් පංගුවෙන් තමයි ඌට කන්න දෙන්න වෙන්නෙ කියල. ඒ මොකද ඒතරම්ම ඒ දවස්වල කෑම බීම අපට හිඟ වුණා. එදා අම්මා කිව්වා වගේම එදා ඉඳලා මගෙ කෑම එකෙන් පංගුවක් අනිවාර්‍යයෙන්ම සතකුටත් දෙන්න මම පුරුදු වුණා. සතකුට නොදී මට කවදාක්වත් තනියම කෑම කන්න බැරි වුණා.

මෙහෙම කාලය ගතවෙද්දි චන්දන මම කොල්ලුපිටියෙ මහානාමට ඇතුළු වුණා. හැමදාම වගේ මට සුනඛයෙක් හිටියා. ඒ වගේම බත් පතෙන් පංගුවක් ඌට දීමත් ජීවිතයේ අංගයක් බවට පත් වුණා.

ඉගෙනීමෙන් පස්සෙ මම Network Administrator කෙනෙක් හැටියට IT අංශයේ රැකියාවකට ගියා. විවාහ වුණා. මගේ බිරිඳගේ තානාපතිසේවයට අදාළ රැකියාව නිසා මටත් ඇය සමඟ ලෝකයේ එක එක රටවල සංචාරය කරන්නට සිදුවුණා. එක රටක වසර 2 ක් හෝ 3ක් පමණයි අප හිටියේ. ඒ හේතුව නිසා මට සුනඛයකු ඇතිකිරීමේ අවස්ථාවත් මා ඉතා උග්‍ර ලෙස ඇබ්බැහි වෙලා හිටපු මගේ බත් පතින් කොටසක් සතෙකුට දීමත් මට මඟ හැරුණා. මේක මගේ හිතට විශාල වදයක් වගේම හිරිහැරයක් වුණා.අසහනයක් බවට ඒක වර්ධනය වුණා. ඔය කාලෙ තමයි අපට අපේ එකම දියණිය ලැබුණෙ. අද ඇය හොඳින් ඉගෙන ගෙන සමාජයේ හොඳින් ජීවත් වෙනවා.

ඉතිං 2011 වසර වනකොට අපි හිටියෙ සිංගප්පූරුවෙ. එතනින් පස්සෙ මම තීරණය කළා බැරිම තැන ලංකාවෙ නවතිනවා කියල. මොකද සුනඛයකු නැතිව ජීවත් වීම මට තිත්ත වෙලා තිබුණෙ. එහෙම නැවතිලා මගෙ ළඟ කලින් හිටපු ප්‍රොමනේරියන් වර්ගයේ සුනඛයත් තව රොට්වීලර්( rottweiler) වර්ගයේ සුනඛයෙකුත් හදාගෙන ගෙදර නැවතුණා. මේ දෙන්නව අපේ ගෙදර ඇතුළෙමයි මම හදා ගත්තෙ.

මේ කාලයේ අපේ ගෙදර ඉස්සරහා පාරේ දඩාවතේ යන බල්ලෙක් හිටියා. මම ඌට කන්න බොන්න දීලා මගෙත් එක්ක යාළු වුණා. ඒත් බිරිඳගේ අකමැත්ත නිසා ගෙදර වත්ත ඇතුළට ගත්තෙ නෑ. එක දවසක් රෑ අපට , පාරේ දඩාස් ගාලා යමක්‍ හැප්පෙනවත් ඒත් එක්කම බල්ලෙකු කෑ ගැහිල්ලත් ඇහුණා. මට හොඳට මතකයි ඒ 2012 වසරෙ ජූනි මාසෙ දවසක්. අපි නිදා ගෙන හිටියෙ. මම ඇදෙන් පැනලා පාරට දුවනකොට අනේ අර බල්ලා පාරෙ නිදාගෙන ඉන්නකොට වෑන් එකකට හැපිලා. නැඟිටිනවා ආයිත් වැටෙනවා. කකුල් කැඩිලා. වෑන් කාරයා නැවැත්තුවත් කරන්න දෙයක් නැතිව මිනිහ යන්න ගියා. මම ඒ බල්ලගෙ ඔළුව අත ගාලා වතුර පොවල පාර අයිනෙ නිඳි කෙරෙව්වා. ඒත් නිවසට ගෙන ඒමට මට විරෝධ එල්ලවුණු නිසා ඒ අදහස අතහැරලා ඇඳට ආවත් මට නින්ද ගියෙ නෑ. මොකද ඒ බල්ලා වේදනාවෙන් නඟන කෙඳිරිල්ල දිඟටම ඇහුණ නිසා. එවෙලෙම වගේ කොහේදෝ තිබුණු මහ වැස්සකුත් කඩා වැටුණා. එතකොට නම් මට තවත් ඉවසාගෙන ඉන්න බැරි වුණා. ඉක්මනට පාරට දුවල ගිහින් වැටිලා හිටපු බල්ලව ගෙදර ඇතුළට උස්සගෙන ඇවිත් සාළුවක් පොරවලා ඉස්තෝප්පුවෙ නිදි කෙරෙව්වා. ඊට පස්සෙ තමයි මට නින්ද ගියෙ.

පහුවෙනිදා උදේම නැඟිටල මම Embark කියන සංවිධානයට කතා කරල ඔවුන්ගේ ආධාරද ඇතිව මේ බල්ලව පශු වෛද්‍ය කෙනෙක් ළඟට එක්ක ගිහින් ඒ කල යුතු සැත්කම් ආදිය කරල ගෙදරට ගෙනත් සුව පත් කළා. මම එයාට දාපු නම තමයි " කෙල්ල". කෙල්ලට ජීවය දුන්නු දා ඉඳලා මට හිතුණා ඇයි මට බැරි මේ වගේ පාරෙ ඉන්න අසරණ සුනඛයන්ට පිහිට වෙන්න කියල. ඉතිං චන්දන මම එදා ඉඳල පාරෙ අසරණ සුනඛයෙක් හිටියොත් එයාව ගෙදරට එක්ක ඇවිත් අසනීප වෙලා හරි තුවාල වෙලා හරි නම් ඒවට Embark ආයතනයෙත් උදව් ඇතිව ප්‍රකිකාර කරල ඔවුන්ව රැක බලා ගැනීමේ මහා ව්‍යායාමය ඇරඹුවා. "

දැනට ගෙදර සුනඛයින් කී දෙනෙකු පමණ සිටීදැයි මා ඇසූ පැනයට ඔහු දුන්නේ මාව උඩ ගිහින් බිම වැටුණු ආකාරයේ පිළිතුරක්. 
" දැනට 75 දෙනෙක් ඉන්නවා චන්දන. එයාලට කෑම දෙවේලක් දෙනවා. එයාලටයි මම කෑම ගේනකල් බලාගෙන ඉන්න පාරෙ ඉන්න අයටයි හාල් කිලෝ දොළහ දොළහ දවසට දෙපාරක් බත් උයනවා. සතියට හාල් කිලෝ 150ක් පමණ යනවා. බත් එක්ක මාළු, මස් , පෙට් ෆුඩ්, පීකුදු, වට්ටක්කා සහ බිත්තර කලවම් කරල දෙනවා. සතියකට බිත්තර 100ක් විතර යනවා. උයන්න ගෑස් ටැංකියක් සතියකට යනවා. "

මේවාට සවන් දෙන විට මාව ඉබේටම ගල් ගැසුණි. ඒ කුමකටවත් නොව අද කාලේ මිනිසුන්ටවත් මෙලෙස නොසලකන පිරිස් අතරේ මෙවන් මිනිසකු සිටීම සිහිනයක්ම වන බැවිනි. එහෙත් විශ්වාස කරන්න ඒ ඔහු දිනපතාම නොවරදවාම කරන සේවයයි. එපමණක්ද ඔවුන්ගේ කැත කුණු ඇදීම. ඒවායින් නඟින දුර්ගන්ධය. විශ්වාස කරන්න ඔහු දිනකට බලු බෙටිම කිලෝ ගණනින් අස් කරන බව. මට එක සුනඛයකු සිටියද මා දිනකට අස් කරන බෙටි ප්‍රමාණය නිසා මම මේ බව හොඳින්ම දනිමි.

" ඒ විතරක් නෙමේ චන්දන, මගෙ ළඟ ඉන්න අංශබාගෙ හැඳුණු අය 6ක් පමණ අපේ කාමරේමයි ඉන්නෙ. ඒ අයට හැමදේම ළඟට ඕනේ. කැත කුණු අස්කරන්න ඕනෙ. එක්කෙනෙක් ඉන්නවා එයාට හැරෙන්නවත් බෑ. එයාට පැම්පර් එකක් අන්දලා තියෙන්නෙ. පැම්පර් 150 ක් විතර සතියට යනවා. තව එක්කෙනෙක් ඉන්නවා මීමැස්මොරය වගේ ෆිට් එක හැදෙන. එයාව නම් මගේ ළඟමයි නිදි කරවා ගන්නෙ. මොකද ඕනම රැයක ඒ ලෙඩේ හැදුණොත් මම නැඟිටලා එයාගෙ ඔළුව අල්ලාගෙන ඉන්න ඕනෙ නිසා. "

මම මොහොතකට නිරුත්තර විමි.මේ මා කතා කරන්නේ මිනිසකුටද? නැතිනම් දෙවියෙකුටදැයි මටම අදහා ගත නොහැකි විය. ඔහු තවදුරටත් දොඩමලුය.

" මට මේ අය 75ක් හිටියත් හෙටත් තව කෙනෙක් හමු වුණොත් ගෙදර ගේනවා චන්දන. ඒ අය මට වැඩි නෑ.ඒත් යම් ප්‍රායෝගික ප්‍රශ්න නිසා හොඳ පවුල් හමු වුණොත් හැමදේම හොයලා බලලා එයාලට ඇති කරන්න සමහර සුනඛයන්ව මම දෙනවා. හැබැයි එයාලට හොඳට සලකන හා රැකබලා ගන්නවා කියන කොන්දේසිය උඩ. මම එයාලා ඒ වැඩේ හොඳට කරනවද බලන්න නොදන්වා යනවා. මට සතුටු නැත්නම් ආයෙත් ගෙදර එක්ක ගෙන එනවා. ඒ වගේම එයාලව වයසට ගියාම හරි මොනයම් හේතුවක් නිසා හරි එයාලව ඒ අයට එපා වුණොත් ආපසු මම එයාලව භාර ගන්නවා."

 

b.jpg

 

b1.jpg

 

b2.jpg

 

b3.jpg

 

" කිසිම භෞතික ලාභ ප්‍රයෝජනයක් නැතිව මම මේ කරන වැඩේ සමහර අයට පේන්නෙ පිස්සුවක් හැටියට චන්දන. ඒ වගේම මෙයාලගෙ සද්දෙ වැඩියි කියල සමහරු මගේ ගෙදර වහලට ගල්‍ ගහනවා. තව කෙනෙක් පැහිණිලි කරලා මම බල්ලො විකුණන ජාවාරමක් කරනවා කියලා. ඒ අය මට නඩු දානවා කියනවා. ඒත් මේ කරන යහපත් වැඩේ ගැන හොඳින් කතා කරන්නෙ කීප දෙනෙක් පමණයි. මම ඒවයින් සැලෙන්නෙ නෑ චන්දන. මම දවසකට කී දෙනෙනුගෙ බඩ පිරෙව්වද කියන සතුට මට තියෙනවා. "

මට තව දවසක් හරි වැඩක් වුණා. මේ වගේ පාරෙ ඉන්න බල්ලන්ට මම කාරෙකේ කෑම දාගෙන අරගෙන යද්දී. මම පංසල් දෙකක් ළඟ ඉන්න බල්ලොන්ටත් කෑම දෙනවා. දවසක් එක පංසලක් ළඟ කෑම දෙනකොට ඒ පංසලේ හාමුදුරුවො මට අම්මා මතක් කරල තිත්ත කුණුහරුපයෙන් බැන්නා. ඉතිං දෙවියනේ එහෙම බැණුම් අහන්‍න මම කරපු වරද මොකක්ද කියල මට හිතුණා. ප්‍රායෝගික ගැටලු ඇති. ඒත් සතකුගේ බඩ ගින්න නිවීම ඒ සේරටම වඩා ලොකු නැද්ද"

" ඇත්තටම චන්දන මේ බල්ලො 75 මට වැඩි නෑ. ඒත් තියෙන ප්‍රායෝගික ප්‍රශ්න දැන් වැඩියි. ගෙදර බඩු මුට්ටු ඔක්කොම ජරා ජීර්ණ වෙලා එයාලට ඉන්න ඉඩත් මදි අපිත් එක්ක. " ඔහු එසේ පැවසූ විට මට මේ එක් සුනඛයකු සමඟ දවසේ තියෙන රාජකාරි මතක් වී 75ක් සමඟ ඔහු මොන නම් යුද්ධයක් කරනවා ඇතිදැයි හොඳින්ම වැටහිණි.

" ඒ වගේම අසල්වැසියොත් වැරදියි කියන්න බෑ. මොකද එයාත් මහන්සිවෙලා ගෙදරට එන්නෙ නිවිහැනහිල්ලෙ ඉන්නනෙ. ඒත් මට දුක පාරෙ ඉන්න බලු රෑන කොච්චර බිරුවත් එයාලට ගාණක් නෑ. මගෙ අසරණයො ටික බිරුවම තමයි එයාලට තරහා යන එක ගැන. "

ඉතිං චන්දන මම මෙයාලව වෙන තැනක නවත්වලා එතනම මමත් නතර වෙලා රැක බලා ගන්නයි මගේ කල්පනාව දැන්. මේ බව කියල මුහුණු පොතේ මම පළ කරහම මුහුණු පොතින්ම හඳුනාගත්තු බෝධිසත්ව මහත්තයෙක් රුපියල් ලක්ෂ 50 ක් විතර වටිනා ඉඩම් අක්කරයක් බොහොම නිස්කලංක පැත්තකින් මට ලබා දුන්නා. මිනිස්සු අතරත් දෙවිවරු ඉන්න බව එදා තමයි මට වැටහුණේ. මොකද මට හැමදාම මුහුණ දෙන්න වුණේ දුර්ජනයන්ට නිසා. "

මට දැන් එකම දෙයයි ඕනෙ. ඒ වත්‍ත වටේට ලොකු දැල්‍ වැටක් ගහලා ඇතුළෙ කොටස් හදන්න ඕනෙ බල්ලන්ට නිදහසේ එහෙ මෙහෙ ඇවිදල කරල ඉන්න. ඒ වගේම එයාලට අව්වට වැස්සට ඉන්න හොඳ මඩුවකුත් හදන්න ඕනේ. ඒවා ටික ටික කර ගන්න තමයි වියඳම් යන්නෙ. මට විශ්වාසයි කවුරු කවුරු හරි ඒවටත් මට උදව් වෙයි කියල. මගෙ බල්ලො ටික එක දවසක්වත් මම බඩ ගින්නෙ තියල නෑ චන්දන. 75 දෙනාම එක පවුලෙ සහෝදර සහෝදරියො වගේ සමඟියෙන් ඉන්නවා. අලුත් සාමාජිකයෙක් ආවම ඉතාම ලෙංගතුව පිළිගන්නවා. දවල්ට පුංචි පුංචි ආරවුල් ඇතිවුණත් රෑට කට්ටියම එකට තුරුල් වෙලා නිදා ගන්න අපූරුව බලන්න ලස්සනයි. "

මෙය අසන විට මට මෙසේ සිතුණි. එනම් මඳකට සිතන්න මිනිසුන් 75 දෙනෙකු මෙලෙස එකට තියාගන්න ගියානම් උද්ගතවන තත්වය. ඒ අතින් සුනඛයා අපට වඩා කෙතරම් නම් උසස්ද? මෙලෙස මා ඔහුට පැවසූ විට ඔහු පැවසුවේ මෙලෙසය. දෙවියන් එදා තිරිසන් සතා වෙනමත් මිනිසා වෙනමත් මවා ඔවුන්ගේ ගතිගුණ වෙන වෙනම ඔවුනට දීමේදී මිනිසාට දිය යුතු ගතිගුණ සතුන්ටත් සතුන්ගේ ගති මිනිසුන්ටත් මාරු වී ගොස් ඇති බවය. ඒ කතාව නම් සැබෑවක් බව මටද සිතිණි.

බොහෝ වේලාවක් මා සමඟ දොඩමළු වූ ෂීරැ ගමගේ සොයුරා මගෙන් සමු ගත්තේ පහුවෙනිදා උදේ ඔවුන්ගේ ආහාරය සඳහා හාල් කිලෝ 12ක් ලිප තැබීමට තිබෙනා බැවිනි. රාත්‍රියේ උයන්නේ උදේ වන විට ඔවුනට කෑ හැකිවන පරිද්දෙන් බත් නිවී තිබෙන නිසා බැව් ඔහු මා සමඟ වැඩි දුරටත් පැවසුවේ දරුවන් රකිනා උතුම් පීතෘ වරයෙකු පරිද්දෙනි. මෙය ඔහුගේ දින චරියාවයි.

දුරකථනය පසෙක තබා මම මදක් දෑස් පියාගත්තේ මේ දැන් සිදුවූයේ සැබෑවක්මද යන වඟ පසක් කර ගැනීමට අසීරු වූ හෙයිනි. එහෙත් මහා කුහක, අසූචි ගඳ ගසන අමනයන් බොහෝ වෙසෙන මෙම අමන සමාජයේ මෙවන් බෝධිසත්ව ගුණ ඇති මිනිසුන්ද ඇතිබව සිතා මට ඇතිවූයේ පහන් හැඟුමකි. අපට කළ හැක්කේ ඔහු වැනි මිනිසුන් රැක ගැනීමය. ඔවුනට දහිරිය දීමය. ඒ සත් ක්‍රියාවන්ට අපගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීමය. ඒ සඳහා ඔබට කළ හැකි යම් උපකාරයක් ඇත්නම් පහත ගිණුමට බැර කරන මෙන් ඉතාමත්ම ආදරයෙන් දන්වා සිටිමි. මුහුණු පොත හරහා ඔහුව අමතා ඔබටම මෙම කරුණු කාරණා ඔහුගෙන්ම දැන ගත හැක.

ඔහුගේ ගිණුම් අංකය 
B.S.Gamage, Commercial bank, Maharagama Branch, A/C No: 8180039376.

අවසාන වශයෙන් ෂීරු මා සමඟ පැවසූ දෙයකින්ම මෙම සටහන අවසන් කරන්නට මට අවසර.

" චන්දන, අපට දවසක අනිවාර්‍යයෙන්ම හිමි වෙන මිනීපෙට්ටියට සාක්කු නෑ චන්දන. ඒ නිසා අපි හම්බ කරන දෙයක් නෙමේ කරන හොඳ නරකයි , හිතේ සතුටයි විතරයි අන්තිම ගමනට අපිත් එක්ක අපට ගෙන යන්න පුළුවන් වෙන්නෙ. "

අප කොයි ශාස්තෘවරයෙක් අනුගමනය කළත් කොයි ආගමක් ඇදැහූවත් සර්වකාලීන සත්‍ය නම් මෙයම නොවේද? මදක් ඔබගේම හෘද සාක්ෂියට සවන් දී බලන්න. සමු ගැනීමට පෙර මෙහෙ සුනඛයින්ට ආදරය කරන බොහෝ අය තමන්ගේ වාහනවල පිටුපස වීදුරුවේ අලවාගෙන යන ස්ටිකරයක ඇති වටිනා කියමනක් මෙසේ සටහන් කරමි.

“ A dog is for life. Not only for Christmas!!”

ෂීරු සහෝදරයා සිය සුනඛ සේනාවට කෑම බෙදා දෙන අන්දම මෙතනින් ඔබට බලා ගත හැක.
https://www.facebook.com/707840119/posts/10156390120105120/

( එතුමාගේ මුහුණු පොත https://www.facebook.com/profile.php?id=707840119)

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)