Skip to main content
apus story

 

 

වසන්ත සමයේ දී තුරු ලතා කොලින් හා මලින් බර වූවද, පසු ගිය සති කිහිපයේ පැවති අධික වියළි කාලගුණ තත්වය, ගස් වැල් බෙහෙවින්ම බෙලහීන කර තිබිණි. ජලය හිඟ කමින් හැකිළී ගිය පත්‍ර දැඩි හිරු රැස් හා පොර බදා, ඉන් පැරදී වියළි පොළොව බදා ගත්තේ අකලටය. ඈතින් පෙනෙන මිරිඟුව දෙස දෑස් දල්වාගෙන මම ඒ වියලී ගිය මිටියාවත හරහා වැටී ඇති අඩි පාරේ, අපේ සුනඛ මිතුරා, බෙන්ජී සමඟ ඇවිද යමින් සිටියෙමි. වෙලාව සවස හතරට පමණ වූවද දැඩි හිරු රැස් පළාතම වසා පැතිර තිබුණේ ගස්වල හැකිළී තිබූ පත්‍ර තව තවත් අසරණ කරමිනි. පෑවිල්ලට දා ගිය තණ පලස අවපැහැ ගැහී පොළවටම ඇලී තිබිණි. 

 

 

මදක් ඈතින් දිවෙන M1 අධිවේගී මාර්ගයේ මහා හයියෙන් දිවෙන මෝටර් රථ පෙරහැරේ කර්කශ නාදය හැරුණු විට පළාතටම තිබුණු එකම හඬ වූයේ අප දෙදෙනාගේ පාද, වියළි බොරළු පොළෙවේ හැපී 'සර සරස් ' හඬින් නැඟුණු අඩි ශබ්දයම පමණි. ඉඳ හිට අහසට නැගී ගිය මා නම නොදන්නා පක්ෂියකු, සිහින් හඬින් කෑ ගසා අප ඉදිරියෙන් පියඹා ගියේ උගේ පෙම්‍වතියට මේ හුදකලාව බිඳ දමන්නට පැමිණෙන ලෙසට ඇරයුම් කරන්නාක් මෙන් යැයි මට සිතිණි. එවිටම වාගේ සිහින් පවන් රැල්ලක් පැමිණ ගත රැඳි දාහය සිසිල් හාදුවකින් සනසාලූයේ මග දෙපස වූ අඩි හයක් පමණ උසට වැඩී ගිය තෘණ පඳුරුද සිලි සිලි හඬින් තාලයට නලවමිනි.

 

 

මේ මොහොතේම වාගේ මගේ සිත හදිසියේම දිව ගොස් නැවතුණේ බෙංගාලයේ නිශ්චින්ද පුර නම් ගමේ උතුරු කෙළවරේ පිහිටා තිබූ හරිහර රායිගේ දිළිඳු පැල් කොටය අසලය. අසල වූ බට ලන්ද, හමා ආ සුළඟේ දැවටී නැටූ සිරි සිරිය මගේ දෙසවනට ඇසිණි. මා හදිසියේම සෝනාඩංගා මිටියාවතේ තනි වුණෙමි. ඈතින් පිහිටි ඉඡාමතී ගංඟාවද, සල් කැලය හා රුක් අත්තන කැලයද මට සිහි වුණි. මිටියාවතට ඔබ්බෙන් වූ නිල්වන් අහසත් දුහුවිල්ලෙන් වැසී ගිය පොළොවත් හමුවන රේඛාව අබියස යාන්තමින් රේල් පාරක හැඩ පෙනිණි. 

 

 

ඉහළට වැඩී තිබුණු පන් ගස් හා බට ගස් අතරින් දිව ආවේ කුඩා ළමුන් දෙදෙනෙකි. වැඩිමල් අක්කා දුර්ගාය. මල්ලී අපූය. මම මදක් නැවතී ඔවුන් සමඟ දොඩමළු වුණෙමි. ඔවුන්ගේ දුක්බර දිවියේ කොටස් කරුවකු වුණෙමි. 

 

 

සහෘදයිනි , මා ඉහත පැවසූ අන්දමින් මේ සටහනට ප්‍රවිශ්ටයක් ගන්නට සිතුවේ මා මෑතකදී කියවා නිම කළ නව කථාවක මා විඳි අසිරිය ඔබ සැම සමඟද විඳ ගන්නා අටියෙනි. වංග ජාතික මහා ගත්කරුවකු වූ විභූතිභූෂණ බන්ද්‍යොපාද්‍යයන් විසින් විරචිත " පොතෙර් පංචාලි" සහ " අපරාජිතෝ" එම නවකතායි. මා කියැවූයේ ඒවා ඇසුරින් චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි නම්වූ අපගේ පිනට පහළවූ ලේඛිකාව විසින් සිංහලට පරිවර්තනය කළ පිළිවෙලින් " මාවතේ ගීතය", " අපරාජිත ජීවිතයක්" සහ " අපූගේ ලෝකය " නමින් වූ අපූ නම්වූ කොලු ගැටයාගේ ජීවිතය වටා ගෙතුණු කෘතීන් තුනයි. මේ සටහන " මාවතේ ගීතය" සම්බන්ධයෙනි. අනෙක් පොත් දෙක පිළිබඳව පසුව ලියන්නෙමි.

 

 

සාමාන්‍යයෙන් කෘතියක් බොහෝවිට සිංහලට පරිවර්තනය වන්නේ ඒ ඒ රචකයන් තම මව්බසින් ලියූ කෘතිය ඇසුරින්ම නොව ඒවායේ ඉංග්‍රීසියට හැරවූ කෘති ආශ්‍රයෙනි. කෘතියක් භාෂා කිහිපයකට හැරවීමෙන් පසු පළමු කෘතියෙන් ගිලිහී යන වර්ණය සහ හැඟීම, උගත් පාඨකයන් වූ ඔබට මා අමුතුවෙන් විස්තර කළ යුතු නැත. එහෙත් මෙහිදී චින්තා ලක්ෂ්මිය මේවා සිංහලට පෙරලූයේ කෙළින්ම වංග බසින් ලියැවුණු මුල් කෘතියෙන්මය. ඒ වංග බස හොඳින්ම අධ්‍යනයෙන් පසුවය. එහෙයින් ඒ මුල් කෘතියේ රසයම අපට මෙහිදී ලැබී ඇත්තේය. එමෙන්ම කෘතියක මුල් රස එලෙසම පවත්වා ගැනීමට බස දැනගැනීම පමණක්ම නොසෑහේ. එයට පරිකල්පන ශක්තිය හා ප්‍රතිභාවද බස හා සරි සරිවම තිබිය යුතුය. චින්තා ලක්ෂ්මියට එය උවමනාවටත් වැඩියෙන් තිබූ බව මේ පොත් කියැවූ විට ඔබට වැටහේවි. මෙලෙසින්ම රුසියානු බසින් ලියූ පොත් ඒ මුල් බසින්ම සිංහලට නැඟූ දැදිගම වී රුද්රිගූ මහතාද මේ මොහොතේ දී සිහිපත් කළ යුතුමය. 

 

 

ඉතා උග්‍ර පරිසරකාමියෙකු වූ විභූතිභූෂණයන්ගේ පරිසර වැනුමට මා වශීකෘත වූයේ මීට පෙර මා කිය වූ එතුමන්ගේ " ආරණ්‍යක් " නම් කෘතිය කියැවීමෙනි. එයද අපගේ චින්තා ලක්ෂ්මිය " අරණකට පෙම් බැඳ" නමින් සිංහලට නැඟුවාය. අපට හුරු සිංහලයෙන් අප වෙත ගෙනාවාය.මේ පොත් වල ලියා ඇති තරම් පරිසර වර්ණනා මා කොහේවත් ලියා තිබෙනු නම් දැක නැත. ඒවා යම් යම් අවස්ථාවල හැබැහින් දැක තිබුණා පමණි.

 

 

"මේ බිමෙහි උස් තණ පඳුරුද , ඇහැල, ගිරිතිල්ල යනාදී ගස් වර්ගද බොහෝ තිබිණි. ගිරිතිල්ල වැල් මුළු තුරු වදුල ම විශාල කොළ වලින් වසාගෙන පැතිරිණි. ඒ ආවරණයට ඇතුළතින් කුඩා මුදු කටු තම්පලා සහ නිල් කටරොලු වැනි මල් හිරු ගේ ආලෝකය දෙසට තම මුහුණු ඔසවා ගෙන පිපී තිබිණි. හිරු බැස යන වෙලාවේ පවතින සෙවනැලි සිහිල් වනයේ හරිත වර්ණය මත වැතිරිණ. " ( මාවතේ ගීතය - පිටුව 52)

 

" බිනර මස පසළොස්වක දිනයේ දිදුලන සඳ එළිය ඇති රැයේ බට පඳුරු අතර, සඳ එළියත් අඳුරත් එකතුව දැල් වියා ඇති පාර දිගේ..." ( මාවතේ ගීතය- පිටුව 148)

 

" සුදෝ සුදු පුලිනතලාවලින් යුතු ඉඡාමති නදියේ දෙළුම් රේණු මෙන් පිරිසිදු ජලතලය අයිනේ..." ( මාවතේ ගීතය- පිටුව 152) 

 

මේ මෙහි ඇති පරිසර වර්ණනාවන්ගෙන් අල්පයක් පමණි. " සඳ එළියත් අඳුරත් එකතුව දැල් වියා ඇති " බලන්න මේ උපමාව. කෙතරම් නම් නිර්මාණශීලීද? හදවතට සමීපද? මෙය දැක ගන්නට නම් සඳ පහන් රැයක කිසිඳු කෘතිම ආලෝකයක් නොමැතිව ඔබ ගස් සෙවණේ ඇවිද යා යුතුය. 

 

මඳක් සිතන්න සහෘදයිනී මේ පරිසරය අපට කෙතරම් නම් සමීපද කියා. අප එහි ජීවත් වන්නේ එහෙයිනි. කෙසේ වෙතත් ජීව විද්‍යාත්මකව ගත්තද මේ ලෝකයේ වසන අන් ජාතීන්ගෙන්, අපට වඩාත්ම සමීපතම ජාන පද්ධතියක් ඇත්තේ බංගලිදේශිකයන්ටය. එසේ සිතන විට ඔවුන්ගේ බස, සංස්කෘතිය හා සාහිත්‍ය අපේම ලෙස දැනීම අරුමයක්ද නොවන්නේය. 

 

පහත දැක්වෙන උපුටනය බලන්න. පරිසරයෙන් , සොබාදහමින් අපට ලැබෙන දායාදය මෙතරම් අපූරුවට හා සංෂිප්තව සඳහන් කළ වෙන තැනක් ගැන මට නම් සිතා ගන්නටවත් නොහැක.

 

" රජකු තම භාණ්ඩාගාරයෙහි වූ සියල්ල දන් දෙන්නාක් මෙන් සොබාදහම ද තමා සතු සියල්ල බෙදා දෙයි. මනුෂ්‍ය සමාජයේ දුප්පතුන් අතර දක්නට ලැබෙන සිඟනකම හෝ මධ්‍යම පාන්තිකයන් අතර දක්නට ලැබෙන පිරිමසා ගැනීම හෝ එහි දක්නට නැත." ( මාවතේ ගීතය - පිටුව 52) 

 

බ්‍රාහ්මණ වාංශිකයකු වූ අපූගේ පියා වංශයෙන් උසස් වූවත් ඉතාමත්ම අන්ත අසරණ දුගියෙකු විය. බ්‍රාහ්මණයකු නිසා ධනවත් ගෙවල් වල පූජාවන් හා වතාවත් පැවැත්වීමට යාමෙන් ,ධර්ම දේශනා පැවැත්වීමෙන් හා පොත් පත් ලිවීමෙන් ඔහු ජීවිකාව ගෙන ගියද එයින් ලැබෙන ආදායම පවුලක නඩත්තුවට තියා ඔහුටවත් සෑහුණේ නැත. එහෙයින් අපූගේ මව සර්වජයා, අපූ සහ ඔහුගේ අක්කණ්ඩිය වූ දුර්ගාව රැක ගැනීමට මහත් වෙහෙසක් ගත්තාය. අපමණ දුක් කන්ඳක් වින්ඳාය. කැලය විසින් ගිලගන්නට මාන බලන, වැස්සට , සුළඟට අසුවී දිනෙන් දිනම ගරා වැටෙන ගේ කබලක් තුළට වී ඇය ඔවුන් වෙනුවෙන් අපා දුක් වින්ඳාය. දරුවන් නිසා ධනවතුන්ගෙන් එන ඇනුම් බැණුම් ඉවසුවාය. තම යොවුන් විය, ඒ ගරා වැටෙනා නිවාසය විලසින්ම ගරා වැටෙන්නට ඉඩ හැර තම පවුල වෙනුවෙන් මුළු දිවියම කැප කළාය. කිසිදාක ඇයට සැපක් නම් ලැබුණේම නැත. 

 

වංශය කබල් ගෑ, කුලවතකු වූ හරිහර රායි වංශය පමණක් කරපින්නා ගත්, පරම්පරාවෙන්ම ඔහුට ලැබුණු යාග හෝම පැවැත්වීම විනා වෙන කිසිදු ශිල්පයක් නොදත් අලසයකු විය. පවුලේ සියලුම බර වැටුණේ අසරණ සර්වජයාගේ කර මතටයි. එහෙයින් අහිංසක දුර්ගාද කැලේ කොලේ හැදෙන වැටෙන දේ කෑමටත් ගෙදර ගෙන ඒමටත් පුරුදු වූවාය. අනුන්ගේ වතුවල තිබූ අඹගස් යට වැටී තිබූ අඹ අහුලාගෙන ඒමෙන් ඇය බැණුම්ද ඇසුවාය. නින්ඳා අපහාස වින්ඳාය. කොහේ ඇවිඳ ගියත් කුමක් ලැබුණත් ඒ හැම විටම ඇයට අපූව සිහි වුණි. අපූට කන්නට දෙයක් ඉතුරු කරගෙන ඒමට ඇය කිසිවිටෙකත් අමතක නොකළාය. අපූට නොදී ඇය තනිවම කිසිවක් නොකෑවාය. 

 

එහෙත් අපූ සමඟ දුම්රිය මාර්ගය බැලීමට ගිය ඒ දිඟු ගමනේදී වට මහා වැස්සට තෙමී ඇය ලෙඩ වූවාය. ඒ මහා වැස්සේ හා සුළගේ බැට කා බිත්ති කඩා වැටෙන ගෙය තුළ අසනීප වූ ඇයව උකුලේ තබා ගෙන සර්වජයා දෙවියන් යැද්දාය. එහෙත් හෙණ පුපුරන හඬට, වැස්සේ හා සුළඟේ හඬට යටවී ඒ යැදුම් දෙවියන්ට නම් ඇසුණේදැයි සැක සහිතය. දුර්ගා නැවත වරක් ඇස් ඇර බැලුවේ නැත. අපූට පොරෙන්දු වූ පරිදි ඔහුට දුම්රියක් පෙන්වීමේ අවස්ථාව ඇයට නොලැබිණි.

 

" ආකාශයේ නිල්වන් ආස්තරය බිඳ ගෙන අනන්තය දෙසින් වරින්වර ඇමතුම් ඇසේ. ඒ අවස්ථාවේ පෘථිවියේ ළැම තුළින් දරුදැරියෝ පැමිණ දඟකාර ලෙස දිවගොස් අනන්ත වූ නිල්ල මැදට වැදී එය තුළ කිමිදී අතුරුදන් වෙති. දුර්ගා ගේ දඟකාර වූ ද චංචල වූද ආත්මය වෙත ජීවිතයේ සියල්ලටම වඩා බලගතු මේ ඇමතුම සුපුරුදු ගතානුගතික මාර්ගයෙන් ඈත් වූ මඟක් ඔස්සේ ළඟා විය.( මාවතේ ගිතය- පිටුව 234)

 

දුර්ගාගේ වියෝවෙන් කලකට පසු හරිහර රායි බොහෝ අවස්ථාවල සර්වජයාට දුන් කඩවුණු පොරොන්දු අවසන් කරමින් නිශ්චින්දිපුරය අතැර බරණැස් නුවර වාසයට යාමට තීරණය කළේය. 

 

කිසිදාක දැක නොතිබුණු දුම්රියේ පළමුවරට නැඟී , සෝනාඩංගා මිටියාවතින් එපිට සිහිනයෙන් පමණක් දැක තිබූ ලෝකය බලා ගැනීමට, අපූ තම මව සහ පියා සමඟ එක්තරා දිනෙක උදෑසන ගමින් පිට විය. දුර්ගා නම්වූ ඔහුගේ ආදරණීය සොයුරියට දුම්රියක්, ඔහු සමඟම දැක බලා ගැනීමටවත් දෛවය ඔවුනට කාරුණික වූයේ නැත. 

 

මම කිමිඳී සිටි අපූගේ ලෝකයෙන් මඳකට මිදී පියවි ලෝකයට ඇද වැටුණේ එවිටමය. මම සිටියේ බෙංගාලයේ සෝනාඩංගා මිටියාවතේ බට ගස් අතර  නොව එංගලන්තයේ වොට්ෆඩ් පුරවරයේ පටු අඩි පාරක් මැඳය. මගේ වම් පසින් වූයේ හොඳින් පැසී ගිය තිරිඟු යායකි. දකුණු පසින් ඈතට දිවෙන මිටියාවතක් විය. මිටියාවත මැඳින් දිවෙන හරිත වර්ණ ගස් දෙපේලියකි. එය මැදින් කුඩා දියපාරක් ගලා යතැයි මට සිතිණි. ඈතින් පිහිටා තිබූ ගොවි නිවසක මිඳුලේ වුන් මිනිසුනි කිහිප දෙනෙකු මට පෙනුණේ ගිනි කූරු මෙනි. 

 

හදිසියේම මගේ නාසය විනිවිඳ හමා ගියේ අපූරු සමන් පිච්ච සුගන්දයකි. මේ ගස් අතරේ සමන් පිච්ච වැලක් කොහේද? මම ආයාගත් දෑසින් යුතුව මදක් විමතියෙන් හා විමසිල්ලෙන් වට පිට බැලුවෙමි. නුදුරින්ම වූ තරමක් විශාල ගසක අතු පීරා හැලෙන මල් විශේෂයක් මගේ නෙත ගැටුණේ එවිටමය. මල් වටා එතී සිටියේ මී මැසි සේනාවකි. මම මඳක් ළංවී මලක් සිප ගතිමි. එයින් නිකුත් වූ සමන් පිච්ච සුවඳින් මගේ ඇඟ කිලි පොලා ගියේ ඒ සුවඳින් මා මත්කරලමිනි.

 

වෙලාව බොහෝ ගතවී ඇතිබව මට හැඟුණේ ගස් අතරින් වියැකී යන සැඳෑ හිරුගේ මලානික රැස් දහර හදිසියේම නෙත ගැටීමෙනි. කලකට ඉහතදී මිනීමැරුමක්ද සිදුවී තිබූ ඒ පාළු ඉසව්වේ,මෙවැනි ගොම්මං වෙලාවට හුදෙකලාවේ සිටීම නම් එතරම්ම නුවණට හුරු නැති බව මට සිහිවූයේ එවිටය. වහාම නිවස බලා යාමට ආපසු හැරුණු මට සමන් පිච්ච සුවඳේ දැවටුණු අපූ පිළිබඳ මතකය, මගේ මුළු ආත්මයම වෙලා ගෙන ඇති බවක් හැඟුනේ සිහිනෙන් ගෑ සුවඳක් මෙනි. 

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)