Skip to main content
Sarath Madhu

 

 

තවත් සුන්දර මිනිසකුගේ නික්මයාම අබියස සිට......

 

හැටේ දශකයේ උපත ලැබූ අපගේ සමනල ළමා විය, හැත්තෑව දශකය යැයි පැවසුවහොත් ඔබ මා සමඟ උරන නොවන බව මට ඉර හඳ මෙන් විශ්වාසය. අපට එකල කෙළි දොළින් ගත කිරීම සඳහා අද සිටිනා දරුවන්ට මෙන් නානාපාකාර සෙල්ලම් බඩු හෝ විද්‍යුත් තාක්ෂණික මෙවලම් නොතිබිණි. අපට තිබුණේ අවට නොඉඳුල් පරිසරයත් එයින්ම සොයාගත් හා සාදාගත් සෙල්ලම් බඩුත් පමණි.

 

එමෙන්ම විනෝද වීම සඳහා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය වශයෙන් එළිමහන් ප්‍රසංග වේදිකාව, සිනමාපට, රේඩියෝව, පත පොත සහ පත්තර අපට තිබිණි. ඒ කාලයේ අපගේ වයසට සරිලන මිහිර වැනි පත්තර තිබුණද සිනමා පටයට සහ චිත්‍රයට ඇළුම්කළ මගේ සිත ඇදී ගියේ චිත්‍ර කථාවටයි. චිත්‍රපට පිස්සකු වීමට පළමුව දිනක් තාත්තා මට ගෙනත් දුන් " සතුට" පත්තරය නිසා චිත්‍රකතා පිස්සකු බවට පත්වෙද්දී, හරියට අකුරක්වත් කියවීමට නොහැකි වයසේ මා පසුවූ බව නම් මට හොඳටම මතකය. කවුරුන් හෝ වැඩිහිටියකු ලවා සතුට පත්තරයේ චිත්‍රකතා කියවා ගත් මම, බොහෝවිට එහි වූ චිත්‍ර ඇස්වලින් ගිල ගත්තෙමි. ඒවා දෙස මා කොපමණ වේලාවක් බලා සිටියාද කියතොත් ඒ චිත්‍ර මට කටපාඩම් විය. රාත්‍රිය පුරාවට නින්දේදී පවා හීනෙන් දුටුවේද එම චිත්‍රමය.

 

දයා රාජපක්ෂ, අනුර විජේවර්ධන, වික්‍රම, බන්දුල හරිශ්චන්ද්‍ර, ජනක රත්නායක සහ ඇන්ටන් බී පෙරේරා වැනි චිත්‍ර ශිල්පීහු මගේ ළමා ලෝකයේ වීරයන් බවට පත් වූහ. දයා රාජපක්ෂයන්ගේ නිර්මාණ වූ " සිව් මංසල" හා " රක්තා" වැනි කතාද අනුර විජේවර්ධනයන්ගේ " මේඝ" වැනි කතාද ජනක රත්නායකයන්ගේ " අත්තික්කා මල්", " පාට පාට හීනයක්" , " සුසීමා" වැනි කතා හා වික්‍රමගේ " බට්ටී" වැනි කතා මට අදටත් එදා මෙන්ම මතකයේ ඇත්තේ එදා නෙත් දෙකින් උරා බිව් එම කථාවල අසිරිය තවමත් හදවතේ තැන්පත්ව ඇති හෙයිනි. මෙසේ කාලය ගතවෙද්දී ලේක් හවුසියෙන් නිකුත් කළ " සතුට" පත්තරයට අමතරව තවත් ඊට වඩා ප්‍රමාණයෙන් කුඩා එනමුත් වර්ණ හා පත්තර පිටුවල ස්වභාවය සතුට පත්තරයට වඩා ප්‍රමිතියෙන් වැඩි වූ තවත් චිත්‍රකතා පත්තරයක් වෙළඳ පොළට පැමිණියේය. ඒ 1976 වසරයි. පත්තරයේ නම " සිත්තර" වූ අතර එහි " සතුට" පත්තරයේ මා දැක නොතිබුණු නවමු චිත්‍ර ශිල්පීන් පිරිසක්ද සිටින බැව් එහි පළමු පත්තරය බලද්දීම මට පසක් වුණි. එහි එක් එක් මාදිලියේ චිත්‍රකතා තිබූ අතර එහි වූ එක්තරා කතා ද්විත්වයක් කෙරෙහි විශේෂයෙන් මගේ සිත තදින්ම ඇදී ගියේ මටත් නොදැනීමය. ඒ චිත්‍රවල තිබූ අමුතුම විලාසය මා ඇතුළු එවකට සිටි චිත්‍රකතා ලෝලීන්ව පිස්සු වැට්ටවීමට සමත් වූ බව පැවසිය යුතුමය. එකම චිත්‍ර ශිල්පියා රචනය සහ චිත්‍ර ඇඳීම යන දෙකම කළ මේ එක් කථාවක නම වූයේ " යුනිකෝ" ය. මීට පෙර " මේඝ " , " වීර තීසියස්" වැනි වීරයන්ගේ කතා කියවා තිබූ මට මෙහි දෑස් ආවරණයකින් වසාගෙන වික්‍රම පානා යුනිකෝද පෙනුණේ එවැනිම තවත් වීරයෙකු ලෙසටය.

 

යුනිකෝගේ මස් පිඩු පිරි ශක්තිමත් අඟපසඟ සහ ඔහුගේ අශ්වයා පමණක් නොව යුනිකෝගෙ මහා පතරංග අසිපතද මට මේ මොහොතේද සිහියට නඟා ගත හැකිය. යුනිකෝගේ සමහර දෙබස් මට අදටත් මතකය. වරක් දිය පාරක් අබියස තම අශ්වයා නවත්වන යුනිකෝ මෙසේ කියයි. " ආ....අපූරු දිය කඩිත්තක්. බීපං පුතා" " ග්ලප් !! ග්ලප්!!ග්ලප්!!!" ( මේ අශ්වයා දිය බිව් ශබ්දයයි) " යුනිකෝ" නම් වීර කතාව සමඟම එම චිත්‍ර ශිල්පියා විසින්ම නිර්මාණය කළ අනෙක් කතාවට තිබුණේ අමුතුම නමකි. ආදර කතාවක් වූ එහි නම ලියා තිබුණේ " ඉතිං ඊට පස්සේ" කියාය. එහි ප්‍රධන චරිත යුග්මය වූයේ දේදුනු සහ කැළුම්ය. ඔවුන් දෙදෙනාටම තිබුණේ ඉතාමත්ම ලස්සන කැරලි ගැසුණු බොකුටු කොණ්ඩය. ලස්සන දිඟු ඇස්ය. මේ කතා දෙකම නිර්මාණ කළ චිත්‍ර ශිල්පියා ,තම නම ලිව්වේ ඔහුගේ ගමත් ඊට ඈඳාය. මීට පෙර එසේ තම නම ලියූ චිත්‍ර ශිල්පීන් මට මතකය. " බෙම්මුල්ලේ හැන්රි" සහ " තලංගම ජයසිංහ" වැනි අය ඔවුන් අතුරින් දෙදෙනෙකි. මෙලෙසින් මගේ මෙම ලිපියේ කතා නායක චිත්‍ර ශිල්පියාගේ නම වුයේ ආදරය වෑහෙන නමකි. යොවුන් හදවත් සොරා ගන්නා නමකි. " බලංගොඩ සරත් මධු" ඒ නමයි. නම මෙන්ම හැඩකාරයකුද වූ සරත් මධු එකල අද මෙන් දෘශ්‍ය මාධ්‍ය බහුල නොවූ නිසාවෙන් වැඩිපුර කවුරුත් දැක තිබුණේ නම් නැත.

 

එකල කුඩා වියේ පසුවූ අප ආදරය කරන වයසේ පසු නොවූවත් " ඉතිං ඊට පස්සේ " චිත්‍ර කථාවෙන් වෑහුණු ආදර සුඟන්දයේ වෙලී ගියේ ගැටවර ගැටවරියන් විලසින්මය. ඒ කතාව මට අද මෙන් මතකය. පාසල ඇරී ගෙදර යාමට බස් නැවතුමේ සිටිනා බාලිකාවන් පිරිසකි. ඔවුන් අතරින් ඇහැට කනට පේනා ලස්සනම යුවතිය දේදුනුය. ඇයට ආදරය කරන කැළුම් බසයේ යන නියාවෙන් එම බස් නැවතුමටම පැමිණ බසයක් එනතෙක් දේදුනු දෙස අනඟ නෙතු හී සැර යවමින් බලා සිටියි. ඉතා කඩවසම් කැළුම් දෙස දේදුනු හැරුණු කොට අනෙකුත් සියලුම යුවතියන් ඉතා උනන්දුවෙන් බලති. අව් කණ්ණාඩි කුට්ටමක් පැළඳ සිටිනා කැළුම්ට කටකාර යුවතියන් නොයෙකුත් ඇනුම්පද කියති. සමනල යොවුන් වියේ පසුවන බාලිකාවන්ගේ හැසිරීම මෙයම නොවේද? මෙලෙස බාලිකාවන් සමඟම බසයට නඟිනා කැළුම් , දේදුනු හිඳ සිටින අසුනට පිටු පස අසුනේ කෙසේ හෝ වාඩි වෙයි. මෙම තරුණයා දේදුනු කෙරෙහි විශේෂ ඇල්මකින් යුතුව ඇය පිටුපසම එන බව අනෙක් යුවතියන් මෙන්ම දේදුනුද දනී. එහෙත් දේදුනු ඔහුට කිසිදු අවස්ථාවක් බැල්මකින් තියා ඉඟියකින් හෝ නොදෙයි. මේ ලස්සන යුවතියන්ගේ සාමාන්‍ය හැසිරීමයි. දිනක් කැළුම් දේදුනු සිටිනා අසුන පසුපස වාඩිවී සිටියදී එක්තරා දඟකාර යුවතියක කවට කමට දේදුනුගේ කොන්ඩයෙන් අදී. මෙයින් ඉතා තදින්ම කිපෙන දේදුනු එය කළේ කැළුම් යැයි සිතා දෑත පුරවා කනේ පහරක් කැළුම්ගේ මුහුණ හරහා එල්ල කරයි. මෙයින් ඉතාමත්ම ලැජ්ජාවටත් අපහසුතාවයටත් පත්වන කැළුම් බස් කොන්දොස්තර තැනගේද හාස්‍යට ලක් වී බසයෙන් බසී. මේ සිද්ධියෙන් ඉතාම නොසන්සුන්වන පිරිස දේදුනුට සිදුවූ දෙය පහදා දෙයි. කැළුම් නිර්දෝෂී බව දේදුනුට වැටහෙයි. එයින් ඉතාමත්ම කම්පනයට පත්වන ඇය නිවසට ගිය පසු කැලුම්ගේ කම්මුලට ගැසූ තමන්ගේ අත උවමනාවෙන්ම දොරට හසුකර තුවාල කර ගනී. එදායින් පසු කැළුම්ගෙන් සමාව ගැනීමත් ඔවුන් දෙදෙනා අතර ආදරයක් හට ගැනිමත් ඇරඹේ. කතාව මෙලෙසින් ගලා යයි.

 

ඉතා නපුරු හා සිත් පිත් නැති දේදුනුගේ සොයුරා, සේනකගේ මේ ආදරයට ඇති බාධා මැඳින් දේදුනු කැළුම් ආදර අන්දරය ගලා යයි. බලංගොඩ සරත් මධු නිර්මාණය කළ මේ මනංකල්පිත චරිත එදා කෙතරම් නම් සමාජයේ මුල් බැස ගත්තාද කියතොත් තරුණියන් දේදනු මෙන් සහ තරුණන් කැළුම් මෙන් කොණ්ඩා සකසා ගන්නටත් පවා පෙලබුණහ. එපමණක්ද ප්‍රවීණ ගේය පද රචක ආචාර්‍ය අජන්තා රණසිංහයන් " ඉතිං ඊට පස්සේ" කියා ගීතයක් රචනා කළ අතර එය සංගීතවත් කොට වික්ටර් රත්නායකවන් විසින් ගායනා කරන ලදී. එම ගීතයද චිත්‍ර කතාව මෙන්ම රසික හද විල් කැළැඹීමට සමත් විය. තවද අපේ පංතියේ මා සමඟ එකට අකුරු කළ කැළුම්ට, කොල්ලන් " දේදුනු " කියා කතා කරමින් විහිළු කළ බව මට මතකය. දේදුනු යන නම තිබූ යුවතියන්ගේ ඉරණමද එලෙසටම වෙන්නට ඇති බව මට විශ්වාසය. ඉන් පසු බලංගොඩ සරත් මධු චිත්‍ර ශිල්පියා තවත් බොහෝ චිත්‍ර කතා නිර්මාණය කළේය. කාලයත් සමඟම සිනමාවට මෙන්ම චිත්‍රකතාවටද කණ කොකා හැඬූ අතර එදා අප පෙම් බැඳි මේ චිත්‍ර ශිල්පීන්ද හුදෙකලා වූයේ ඉතාමත්ම ඛේදණීය ලෙසටය. දයා රාජපක්ෂ හා වික්‍රම වැනි මගේ ලෝකයේ වීරයන් නිහඬවම දැයෙන් සමු ගත්හ. එලෙසින්ම මේ ගෙවී ගිය සති අන්තයේ මට දැන ගන්නට ලැබුණේ ඉතාමත්ම දුක්මුසු පුවතකි. ඒ මෙතුමන්ද අපගෙන් නික්ම ගිය බවයි. මිය යන විට එතුමන් හැත්තෑවන විය අබිමුව සිටියා පමණි.

 

මේ පුංචි සටහන එදා මගේ හදවත පැහැරගත් චිත්‍රකතා නිමැවූ බලංගොඩ සරත් මධු නම් වූ චිත්‍ර ශිල්පියා වෙනුවෙනි. එදා හැත්තෑව දශකයේ එනම් මීට දශක හතරකට පමණ පෙර නව යොවුන් තරුණයකු වශයෙන් එතුමා නිර්මාණය කළ "දේදුනු "සහ "කැළුම්" , ඊටත් වසර ගණනාවකට පෙර කරුණාසේන ජයලතුන් විසින් " ගොළු හදවත" නව කතාව තුළින් නිර්මාණය කළ " සුගත්" සහ " දම්මී" තරමටම රසික හදවත් වැළඳ ගැනීමට සමත් වූ අතර ඒවා හදසන්ථානයන්හී සදා නොමියෙන සිහිවටන ලෙසටද තැන්පත් වූයේ ඒවායේ වූ ජීය ගුණය නිසාමය. ඒ චරිත වලට වහන් වී සිටියේ අපගේම හැඟුමන් නිසාමය. එහෙත්‍ ඒ අමරණීය චරිත අපට ඉතිරි කොට ඒ නිර්මාණ කරුවන් අද අප අතහැර බොහෝ ඈතකට ගොස්ය. අද අපට ඇත්තේ ඔවුන් පිළිබඳ වූ මේ සදා නොමියන මතකය පමණි. මම දෑස් වසාගෙන ඔවුන්ව සිහි කරමි. එදා ඔවුන් අපට උදා කරදුන් ඒ සුන්දර කාලයට නැවත අපට යා නොහැක. යළි කවදාක හෝ ඔවුන් අපට මුණ නොගැසෙනු ඇත. ඔවුන්ගේ වියෝව නිසා ඇති වූ රික්තකය නොපිරෙනු ඇත. සදාතනික අනියත දහම නම් මෙයයි. ඒත්......ඉතිං ඊට පස්සේ..... දවසක සසරේ කොහේදී හෝ ඔවුන්ව නැවත හමු වෙතැයි සිතා සිත සනසා ගන්නට මට සිදු වී ඇත. ඒ හැරෙන්නට වෙන නම් මා කුමක් කරන්නද.....?

 

චන්දන ගුණසේකර

Standard (Image)