Skip to main content
imran

 

 

1992 මාර්තු 11 වනදා පර්ත් හී වැකා ක්‍රීඩාංගණයේ බටහිර අහස දෙසට සූර්‍යයා ගමන් කරමින් තිබුණේ එතෙක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ වර්ණවත්ම ක්‍රිකට් ගිම්හානය ගෙවීයන සමයකය. කෙරී පැකර්ගෙ ආභාශය හා මුසුව සාම්ප්‍රදායික සුදු ඇඳුම වෙනුවට වර්ණ ගැන්වූ ඇඳුමත්, රතු පැහැයෙන් සුදු පැහැයට හැරවුණු කොකඹුරා ලෙදර් පන්දුවත්, දැවැන්ත විදුලි ආලෝකයෙන් අලොකමත් වූ ක්‍රීඩාංගණත් ඒ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවට චමත්කාරජනක සුහුරු රටාවන් එක් කොට තිබිණි. බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පුරා එදිනද පවතියේ සැණකෙලි සිරි අසිරියකි.

 

නමුත්, මේ සියල්ල මධ්‍යයේ පරාජයෙන් හෙබා ගිය මලානික මනසකින් යුතු පිරිසක්ද විය. ඒ ඉන්දීය උපමහද්වීපික ගෝරුසු හිරු රශ්මිය මැද කාශ්ඨක අත්දැකීම් වලින් හෙබි පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමයි. තරඟමාලාවේ එතෙක් සිම්බාබ්වේට එරෙහිව ලද එකම ජයත් වර්ශාවෙන් සේදී ගිය එංගලන්ත තරඟයත් හැරෙන්නට අන් සියලුම තරඟයන්හි අමිහිරි පරාජයන් සමඟින් ලෝක කුසලාන සිහිනය පස්වන වතාවටත් ඔවුන් කෙරෙන් දුරස් වෙමින් තිබිණි. එමෙන්ම තම සාම්ප්‍රදායික ප්‍රතිවාදියා වූ ඉන්දියාව හමුවෙ ලද අවමන් සහගත පරාජයත් සමඟින් ඔවුන් තුල වූ අවසන් ධෛර්යයත් හීන වී ගොස් තිබිණි.

 

නමුත් මේ සියල්ල මැද... මේ සියල්ල වෙනස් විය යුතු යැයි තිර අදිටනින් යුතු වූ හැඩිදැඩි ලාහෝර් වැසියෙකුද විය. ඔහු, මේ ධෛර්යය හීනවී තරඟමාලාවෙන් ඉවත් වෙමින් සිටි, මව්රට පරිපාලකයන් විසින් මුලික වටයෙන් පසු ආපසු නිවස් කරා එන්නට අවැසි ගුවන් ටිකට්පත් සකසමින් සිටි මේ කණ්ඩායමේ නායකයාද විය.

 

ඔහු එදිනද සුපුරුදු ලෙස කාසිය වාසිය උරගා බැලීමට ගොස් නැවත පැමිණ තිබිණි. නමුත් ඔහු සිටියේ වෙනදා අඳින පාකිස්තාන කණ්ඩායමේ කොළපැහැති ජර්සිය වෙනුවට ව්‍යාඝ්‍රයකුගේ රුවින් යුතු සුදු පැහැති ටී ශර්ටයකින් සැරසී ගෙනය. ඔහු තම කණ්ඩායම් සඟයන් තමා වෙත කැඳවන්නට විය. පරාජයෙන් හේබා ගිය නවක ක්‍රීඩකයනුත් සියලුම අධිෂ්ඨානයන් බිඳී ගිය ජේශ්ඨයනුත් සුපුරුදු කණ්ඩායම් රැස්වීමක් අපේක්ෂාවෙන් හිස බිමට හරව බලා සිටින්නට විය. නමුත් කොණ්ඩය තම උරහිස තෙක් වවාගත් ලාහෝර් කාශ්ඨක අව්වෙන් හොඳින් බැට කෑ බව පෙන්වන මුහුණකින් හා තියුණු දෙනෙත් යුගලකින්ද හෙබි ලෝහෝරයේ සිංහයා සිටියේ වෙනත් අදහසකිනි.

 

ඔහු ඒ වනවිටත් ප්‍රතීවාදී ඇලන් බෝඩර් හට අනතුරු හඟවා අවසන්වී තිබිණි. කාසියේ වාසියේදී ඔහු ඉයන් චැපල් ඉදිරියේ කල ප්‍රකාශයට වැකා ක්‍රීඩාංගණයේ සිටි සියලුම පාකිස්තානුවන්ගේ ලොමු දැහැ ගැන්වී තිබිණි. "මාගේ කණ්ඩායම සතර වටින් කොටු වී සිටින දරුණු ව්‍යාඝ්‍රයන් සේ ක්‍රීඩා කරනු දැකීමට මට අවශ්‍යයි" ඔහු පවසා තිබිණි. තුවාල ලැබ සතර අතින් කොටු වූ ව්‍යාඝ්‍රයෙකු තරම් ප්‍රචණ්ඩ කිසිවක් මිහිපිට නොමැති බව ඔහු හොඳින් දැන සිටියේය.

 

ඔහු තම කණ්ඩායම් සඟයන් අමතන්නට විය. "අපි තුවාල වෙච්ච ව්‍යාඝ්‍රයයන්." ඔහු කතාව ඇරඹීය. "මම පරදින මිනිහෙක් නෙවෙයි. මම ආවේ පරදින්නත් නෙවෙයි. මම ආපසු යන්නේ නැහැ. අපිට දිනන්නම වෙනවා. උඹලට මාව විශ්වාස නම් මම දන්නවා දිනන්න ඕන විදිය".

 

"මට උඹලා ව්‍යාඝ්‍රයෝ වගේ සෙල්ලම් කරනවා දකින්න ඕන. මේ ගමන ගැන ගැඹුරින් හිතන්න ඕන. අද අපි දිනුවොත් කාටවත් අපිව නවත්තන්න බැ."

 

අකීබ් ජාවේද්, එවකට 19 හැවිරිදි පාකිස්තාන වේගපන්දු යවන්නා පසුකලෙක මේ දැඩි වදන් ඔහුට දැනුනු ආකාරය පවසා තිබුණේ ඔහු ඉන්පෙර හෝ පසු කිසි දෙනක එවන් විශ්වාසයක් හා ඕනෑකමක් තමන් තුල අත් විඳ නොමැති බවයි. ඉන් පැය කිහිපයකට පසු අකීබ් ජාවේද් තම කණ්ඩායම් සගයෙකු වූ මුශ්තාක් අහ්මද් සමඟ ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව සුණුවිසුණු කොට දමා තිබිණි.

 

අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟාවලියේ කලු අශ්වයා වූ මාටිං ක්‍රෝගේ නවසීලන්තය ඕක්ලන්ඩ් හීදී ප්‍රබල ප්‍රහාරයකට ලක් කොට පාකිස්තානය ආවසන් මහා තරඟයට ළඟා වනවිට, පර්ත් හී සිටි පාරාජිත මලානික කණ්ඩායම වෙනුවට තියුණු හා ප්‍රචණ්ඩ කණ්ඩායමක්ව බවට පරිවර්තනය වී සිටියේය.

 

අවසන් තරඟයේදී ද කණ්ඩායමේ හා තරඟයේ වැඩි වගකීමක් තම දෙවුර මත දරාගන්නට මෙම ලෝහෝර්හී දඩබ්බරකාරයා දෙවරක් නොසිතුවේය. ජාවේද් මියැන්දාද් හා එක්ව නොම්මර තුන පිතිකරු ලෙස සමස්ත පාකිස්තානයම සිහින දකිමින් සිටි ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ඔහු අඩිතාලම දමමින් ඉම්සමාම් හා වසීම් සඳහා අවසන් ඕවර කිහිපය තුල නිදහසේ විලෝ පිත්ත හැසිරවීමට අවැසි ඉඩකඩ ඔහු නිර්මාණය කරන්නට විය.

 

අවසන.. පාකිස්තානය ක්‍රිකට් ලොව ශූරයන් ලෙස කිරුළු පලදින්නට විය. ලාහෝර්, රාවල්පිණ්ඩි, ඉස්ලාමාබාද්, ෆයිසාලාබාද්, සියල්කෝට් සියලුම නගර ජයඝෝෂා නදින් ගිගුම් දෙන්නට විය. ලාහෝරයේ සිංහයා නොහොත් ඉම්රාන් ඛාන් ක්‍රිකට් ලෝක කුසලානය ඇතැතිව තම සඟයන් හා එක්ව "ව්‍යාඝ්‍රයෙකු" සේ ජයග්‍රහණයේ සතුට සමරන්නට විය.

 

අවමාන, පරාජ හමුවේ අඩපණව ඇද වැටීසිටි පාකිස්තානය එකී පරාජයේත් අවමානයෙත් දරුණු වේදනාව මතින් අවදිකල ප්‍රතාපවත් පෞරෂය පාකිස්තාන ක්‍රිකට් පුරාවතහි නොමැකෙණ නාමයක් රඳවමින් පාකිස්තාන ක්‍රිකට් අඹරෙන් 1993 අද වැනි දිනක බැසයන්නට විය.

fb600_1488780933.jpg

 

125.jpg

Sri Lankan Editor

Asanka Arambagoda

 Sri Lankans Online Sub Editor Colombo

 

Standard (Image)