Skip to main content
nelson

 

 

ඒ හැත්තෑව දශකයේ අග භාගයයි. සිංහල සිනමාවේ සහ සංගීතයේ ස්වර්ණමය යුගයයි. සමාජ, දේශපාලන සහ සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක ඇරඹුමයි. එතෙක් කලක් ලද දෙයින් සතුටු වී අත් හැරීම ප්‍රගුණ කොට වුන් බහුතරයක් රට වැසියන්ගේ තිබූ ඒ අධ්‍යාත්මික ගුණයට කණ කොකා හැඩූ වකවානුවයි. විවෘත ආර්ථිකයත් සමඟ රටට රිංගා ගත් බල්ලො මරා හෝ සල්ලි සෙවීමේ න්‍යයය , ත්‍රස්තවාදය සහ සිවිල් යුද්ධය ඇරඹීම අබිමුව අප බලාගෙන වුන් තීරණාත්මක කාලයයි. 

 

එකල සිනමාව පැත්තෙන් ගතහොත් උදේ 10.30 ට පටන් ගත් දර්ශන වාරය, ඉන්පසු 2.30 , 6.30 හා 9.30 ද වශයෙන් දර්ශන වාර 4ක් ඉතාමත්ම සාර්ථකව හා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යන අන්දමින් පැවැත්වීම දෛනික කාර්‍යක් විය. අද ඒ පිළිබඳව සිතද්දී පවා මුවට නැඟෙන්නේ සතුටු සිනහවකි. එපමණක්ද ඒ සමඟ බැඳුණු රාත්‍රි ආපන ශාලා, රාත්‍රි බස් සේවා රටේ නඟරවල පමණක් නොව හද්දා පිටිසර ගම්වල පවා දක්නට ලැබිණි. රාත්‍රියේ සිනමා පටයක් නරඹා තරුණයකුට කිසිදු අන්තරාවක් නැතිව සිය නිවසට යා හැකි වාතාවරණයක් එකල පැවතිණි. රාත්‍රියේ මුර සංචාරයේ යෙදුණු පොලිස් කණ්ඩායම් ඉඳහිටක ප්‍රශ්න කිරීමකට නතර කළද එය හුදෙක් ආරක්ෂක පියවරක් විනා ජීවිතයට තර්ජනයක් වූයේ නැත. 

 

රාත්‍රියේ මළ ගෙවල් වල නිදහසේ හැසිරෙන තරුණයන් සහ සෑම මසකම පාහේ එළිමහන් වේදිකාවල පැවැත්වූ සංගීත සන්ද්‍යාවන්ට යන එන යෞවන යෞවනියන් රාත්‍රියේ මංමාවත් වල දකින්නට ලැබීම ඉතාමත්ම සුලභ දසුන් විය. 

 

මා මේ කියන්නට යන කථාවේ කතා නායකයාව මට මුල් වරට හැබැහින් දැක ගන්නට ලැබුණේද එලෙසින් මා නරඹන්නට ගිය සංගීත සංදර්ශනයකිනි. එකල වයස අවුරුදු 10 ක පමණ වූ කොට කලිසම අඳින පුංචි කොලු ගැටයෙකු වූ මම, තාත්තා සමඟ සිනමාපට නැරඹීමට සහ සංගීත සංදර්ශන නැරඹීමට නොවරදවාම ගියෙමි. මා මෙන්ම තාත්තාද චිත්‍රපට සහ සිංදු පිස්සකු වීම , මගේ මේ ගමන් ඉතාමත්ම පහසුවෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා මට ලැබුණු වෙස්වලාගත් ආශීර්වාදයක්ම විය. 

 

එකල, ලංකා දුම්කොළ සමාගම අනුග්‍රහයෙන් පැවැත්වූ සංගීත සංදර්ශන අවම වශයෙන් 3ක් වත් වසරකට  අනුරාධපුර නගරයේ පැවැත්වුණි. ඒව බොහෝවිට පැවැත්වුණේ අනුරාධපුර ටවුමේ පිහිටි සල්ගාදු පිටියට යාබද , මහජන ක්‍රීඩාංගණයේය. 

 

එදා, මා මේ කියන දිනයේත් සංගීත සංදර්ශනය පැවතියේ මහජන ක්‍රීඩංගණයේම වූ අතර බෝම්බ බියක් ගැන හෝ ත්‍රස්තවාදයක් ගැන හෝ හාංකවිසියක නිනව්වක් නැතිවූ ඒ සාමකාමි යුගයේ, එහි රැස්වූ දහස් ගණනක් සංගීත ලෝලීන් මධ්‍යයේ තෙරපෙමින්, තාත්තාගේ අත තරයේ බදාගෙන පුංචි මමද තාත්තා පිටුපසින්ම වේදිකාව අසලටම රිංගා ගත්තේ ඉහින් කණින් දහඩිය පෙරාගෙන මහා යුද්ධයක් ජයගත් යුඳ සෙබළුන් දෙදෙනකු පරිද්දෙනි. එකල අද මෙන් වේදිකාව වටා ලණු ඇද රසිකයන් හා සංගීත ශිල්පීන් අතර පරතරයක් නිර්මාණය කර නොතිබිණි. එමෙන්ම ලොකු ලොක්කන්ට ඉදිරියෙන්ම ආසන පනවා තිබූ බවක්ද මගේ මතකයේ නැත. අප වේදිකාව අසලටම ගොස් බිම වාඩි වී සංගීතය නැරඹූ බව පමණක් මගේ මතකයේ ඇත. 

 

එදා බොහෝ ගායක ගායිකාවන් පිරිසක් ගී ගැයීමට පැමිණ සිටියහ. ඒ අතුරින් ටී එම් ජයරත්න, මොහිදින් බෙග්, එච් ආර් ජෝතිපාල, වික්ටර් රත්නායක, ෆ්‍රෙඩී සිල්වා, එම් එස් ප්‍රනාන්දු , ඇන්ටන් ජෝන්ස්, ලූක් හෙන්රිකස්, සිසිර හා ඉන්ද්‍රානි යුවළ, සනත් නන්දසිරි යුවළ සහ ත්‍යාගා එන් එඩ්වඩ් යන ගායක ගායිකාවන් ගී ගැයූ අන්දම මට හොඳින්ම මතකයේ ඇත. තවත් බොහෝ පිරිසක් ගී ගැයූ බව යන්තමින් මතකය. මංගල ප්‍රේමදාස නම් ශිල්පියෙකු කටින් එක් එක් ශබ්ද කළ බවද තවත් නර්තන ශිල්පියෙක් ගිනි නැටුමක් කළ බවද මතකය. එකල අද මෙන් එක් එක් ශිල්පියාට එක් එක් ව්‍යාපාරික ආයතන මඟින් අනුග්‍රහ දැක්වූයේ නැති අතර ගීතවලට රංගනයෙන් දායක වන නර්තන ශිල්පිණියන්ද සිටියේ නැත. 

 

මේ අතර බෙග් මාස්ටර් ඉතා විශාල කොළ මිටියක් රැගෙන විත් ගී ගැයූ අන්දමද මිල්ටන් මල්ලවආරච්චි ගායනවේදියා කිසිදු සෙලවීමක් නොමැතිව හිටි පිළිමයක් සේ වේදිකාව මතට වී ගී ගැයූ අන්දමද මට හොඳින්ම මතකය. 

 

මේ අතර වේදිකාවට අවතීර්ණ වූ, එකල ඉතාම ජනප්‍රිය විලාසිතාවක් වූ බෙල්බොටමයක් ඇඳ කමිසය යට කර, ඉතා ඝනට වැඩුණු තරමක් දිග කොණ්ඩයක්ද හිමි තරුණ ගායන ශිල්පියෙකි. ඔහු එක තැනක එක මොහොතක් වත්  නොසිටියේය. වේදිකාවේ හැම අතටම ඉස්සකු මෙන් පනිමින්ද, තමන්ටම ආවේණික වූ රංගයක යෙදෙන ගමන් මයික්‍රෆෝනය ඒ අතින් මේ අතට වීසි කරමින්ද ඉතාමත්ම හුරු බුහුටි හඬකින් ඔහු වේඟ රිද්මයේ ගීත ගැයීය. ඔහු එදා ගී ගැයීම ඇරඹුවේ " ලස්සනට පිපුණු වන මල්" යන ගීතයෙනි. එකල ගුවන් විදුලියේ ප්‍රචාරය වූ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් වූ එය මම රේඩියෝවෙන් කිහිප විටක් අසා තිබුණද එය ගැයූ ගායකයාව හැබැහින් දැක්කේ එදාය. ඔහු වෙන කවුරුන් හෝ නොව මෙම ලිපියේ කතා නායක නිහාල් නෙල්සන් නම් වූ ගායනවේදියාය.

 

එතුමා ඉන්පසු ගැයූ " සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ" ගීතයට මුලු ප්‍රේක්ෂක ජනතාවම රංගනයෙන් දායක වූ බව මට මතකය. තවත් ගීත කිහිපයක් ගැයූ මුත් මට ඒවායේ නම් හරියටම මතක නැත. එහෙත් ගී ගැයුම අතර තුරදී සිදුවූ එක් සිද්ධියක් නම් ගලේ කෙටූ අකුරු මෙන් මගේ මතක ගබඩාවේ තැන්පත්ව ඇත. ඇත්තම කියනවා නම් මම ඒ සිදුවන්නේ කුමක්දැයි සිතා බියටද පත් වූයෙමි. 

 

ඒ සිද්ධිය නම් මෙසේයි. මයික්‍රෆෝනය අතින් අතට විසි කරමින් එතුමා ගී ගයන අතර හදිසියේ කට හඬ නැතිව වාදනය පමණක් ඇති මොහොතේ එතුමා අතින් සංඥාවක් කළේය. එවිට ඩ්‍රම්ස් වාදකයා හැර අනෙකුත් සියලුම වාද්‍ය ශිල්පීන් තම සංගීත ආම්පන්න වැයීම නතර කළ අතර, ඩ්‍රම්ස් වාදකයා තමා දන්නා සියලූම ශිල්ප පෙන්වමින් තනිවම විනාඩි 5ක් පමණ ඩ්‍රම්ස් වාදනයේ නිරත විය. මම බිය වූයේ ඩ්‍රම්ස් වාදකයා මායම් වූවාදැයි සිතීමෙනි. මට යන්තමට මතක හැටියට මෙය සිදුවූයේ " තාන් තීන් තිනක නඳින්, කොහොඹ කළේ උකුළෙ තියන්" යන කාවඩි නැටුම් සංගීතයට ගැයූ ගීතය අතරතුරේදීය. එමෙන්ම එතුමා තවත් වරෙක ගිතාරු වාද්‍යශිල්පියා ළඟටම ගොස් හිටගෙන ඔහුටත් මනරම් ගිතාරු වාදනයක් ඉඳිරිපත් කිරීමට ඉඩ පහසුව සලසා දුන්නේය. එපමණක් නොව ගීත ගැයීමට පෙර තමන්ව හඳුන්වා දුන් නිවේදක මහතාට සහ ගීත ගැයීමෙන් අනතුරුව වාද්‍ය කණ්ඩායමටත් ස්තූති කිරීමටද එතුමන් අමතක නොකළේය. 

 

ඉන්පසුව අසූව දශකයේදී ඇරඹුණු කැසට් පටි යුගයේදී එතුමන්ගේ කැසට් පටියක් තරංගා ලේබලය යටතේ ලංකාවේ දෙවන කැසට් පටය විලසින් වෙළඳ පොළට එක් විය. එහි නම වූයේ හේමසිරි හල්පිටයන් ලියූ ඒ අති ජනප්‍රිය ගීතය වූ " ගුණෙ අයියගෙ කාමරේ" යන්නයි. ඉන්පසු ජනප්‍රියතාවයේ හිණි පෙත්තටම නැංග නිහාල් නෙල්සන් නොමැති ප්‍රසංග වේදිකාවක් හරියට දෙවියන් නොමැති දේවාලයක් මෙන් විය. පැණි නැති මලක් මෙන් විය. 

 

කැසට් පටි සියයකට වඩා නිකුත් කළ එතුමන් ලංකාවේ වැඩිම කැසට් පටි ප්‍රමාණයක් නිර්මාණය කළ ගායකයා වශයෙන් වාර්තා පොතට එක්විය. එමෙන්ම කැසට් පටිවලට ආයුබෝවන් කියා සීඩී තැටි වලට අවතීර්ණ වූ අනූව දශකයේද නිෂ්පාදිත මුල්ම සීඩී තැටි අතර එතුමන්ගේ ගීත තැටිද තිබීම ඉතා විශේෂය. 

 

රූපාවාහිනියේ ආගමනයත් සමඟම අපට එතුමන්ව නිතරම පුංචි තිරයේ දැක ගත හැකි විය. එකල එතුමන් ගැයූ " එපා එපා මස් කන්නට කිරි අම්මාගේ " ගීතය ලාංකීය සමාජයේ මුල් බැසගෙන තිබූ එක්තරා පුරුද්දක් වෙනස් කිරීමට සමත් විය. එනම් එම ගීතය ඇසීමෙන් පසු බොහෝ දෙනෙකු ගව මස් ආහාරයට ගැනීම නවතා දැමීමයි. අද කාලයේ එකක් කියා තවඑකක් කරන සමහරුන් මෙන් " හක්කෙ බුදු රැස් නමුත් බොක්කෙ දඩ මස්" යන න්‍යායය නොව ප්‍රතිපත්තිගරුක වෙමින්, ගීතය ගැයීම පමණක් නොව තමන්ද ගව මස් අනුභවය නවතා, එතුමා එය ක්‍රියාවෙන්ද රටට ඔප්පුකර පෙන්වීය. මේ එතුමන්ගේ ගුණගරුකභාවය සපථ කළ එක් සිද්ධියක් පමණි. 

 

එකල වුන් කපුගේ සූරීන්, ජෝතිපාලයන්, එම් එස් ප්‍රනාන්දු වැනි ජනතාව අතර සිටි ගායකයන් ගොන්නට නිහාල් නෙල්සන් නාමයද එක් වූයේ, එතුමන් පේමන්ට් එකේ, ගැලරියේ හෝ මුඩුක්කුවේ වෙසෙන ජනතාවට ගී ගැයූ නිසාය. ඔවුන්ව ඇසුරු කළ නිසාය. එලෙසම ඒ ගීත එතුමා ගැයුවේ මහා මන්දිරයක සඳලුතලයක් මතට වී නොවේ. පේමන්ට් එකේය. බජාර් එකේය. මුඩුක්කුවේය. මේ තැන්වලදී හමුවන්නේ දුප්පත් වුවත් එක වචනයක් ඇති කෙළින් වැඩකරන මිනිසුන් බව මමද අත්දැකීමෙන්ම දනිමි.

 

වරක් ඉරිදා පුවත් පතක ගීත වල ප්‍රමිතිය පිළිබඳ වාදයක් ඇරඹිණි. ප්‍රබුද්ධ ගීත හා බාල, අවර ගණයේ ගීතද ඒ අනුව ඒ ඒ ගීත ගයන ගායකයන්ද ප්‍රබුද්ධ හා අවර ගණයට වැටෙතැයි තර්ක කෙරිණි. මෙයට පිළිතුරු සැපයූ ජෝතිපාලයන් ඉතාම නිහතමානීව, ඔවුන් ප්‍රබුද්ධ නම් අපි ' පීචං' යැයි පැවසීය. මෙයින් කිපුණු නිහාල් නෙල්සන් ගායනවේදියා ඊට පසු සතියේ ජෝතිපාලයන්ගේ අදහසට පිළිතුරක් සපයමින් ඉතාමත්ම රැඩිකල් අන්දමින් ඔවුන් ප්‍රබුද්ධ නම් අපි ' සුප්‍රබුද්ධ' යැයි පැවසුවේ වාදය එතැනින්ම නිමාවට පත් කරවමිනි. 

 

එමෙන්ම එතුමා අත හිත දී මැදිහත්ව ක්ෂේත්‍රයට හඳුන්වා දී නමක් තනා දුන් ශිල්පීන් රාශියකි. ඒ අතරින් මනරම් ගී පද රචකයකු හා ඉතා විශිෂ්ටගණයේ නිවේදකයකු බවට පත්වූ හේමසිරි හල්පිටයන් මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමය. මෑතකදී ස්වාධීන රූපවාහිනියේ හල්පිටයන් ගුණ සැමරූ වැඩසටහනකට සහභාගී වූ අපේ කතා නායකයා පැවසුවේ ඉතා සිත්ලන්නා සුළු අර්ථවත් යෙදුමකි. එනම් හල්පිටට " පිල් හට" ගන්නා තත්වයක් තමා නිර්මාණය කර දුන් බවයි. ඒ සඳහා තමන් සහ වර්නන් පෙරේරා නම්වූ තම අතිජාත මිත්‍රයා ඇප කැප වූ අන්දම එතුමන් තව දුරටත් විස්තර කළේ ඉතාමත්ම නිහතමාණීවය. 

 

එතුමන් වේග රිද්මයේ එහෙත් බෙහෝ අර්ථවත් වටිනා ගීත රාශියක් ගැයීය. බයිලා ගායක ශානරයට එතුමන් ඇතුළු වූවද එතුමාගේ හඬේ සහ ගීත ශෛලියේ වූයේ අමුතුම හැඩයකි. වෙනම වර්ණයකි. අනෙක් බයිලා ගායකයන් වූ එම් එස්, ඇන්ටන් ජෝන්ස්, පෝල් ප්‍රනාන්දු සහ සුනිල් පෙරේරා වන්නවුන්ට වඩා එතුමන්ගේ ගීත වෙනස්ම ආරක් ගත්තේ එහෙයිනි. 

 

එතුමා ගායනා කරන " කරුණා සුවඳ තවරාලූ " නම් වූ මව් ගුණ ගීතය අසා දෑස තෙත් කර නොගත් දරුවකු ලංකාවේ නොමැති බව මගේ විශ්වාසයයි. එය එතරම්ම හැඟුම්බරය. එහෙත් ඒවාට නිසි තැනක් ගෞරවයක් හෝ අගය කිරීමක් ලැබුනාදැයි සැක සහිතය. 

 

මේ මොහොතේ මා ඉහත සඳහන් කළ " සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ" ගීතය පිළිබඳව වරක් උපුල් ශාන්ත සන්නස්ගලයන් පැවසූ අපූරු විග්‍රයක් මට සිහිවේ. මේ ගීතයේ පද මාලාවේ ඇති ජීව ගුණය සහ විශිෂ්ටත්වය ගැන සඳහන් කළ එතුමා, මේ ගීතය ජනතාව වැළඳ ගත්තද සම්මානනීය ගීතයක් නොවූයේ මන්දැයි ප්‍රශ්න කළේය. මෙම ගීතය ලියූ හේමසිරි හල්පිටව මඳකට අමතකොට මෙය ලියූවේ මහගම සේකරයන් යැයි උපකල්පනය කොට සහ ගීතය ගයන නිහාල් නෙල්සන් වෙනුවට අමරදේවයන් ගයන්නේ යැයි උපකල්පනය කළහොත් මෙයත් ප්‍රබුද්ධ ගීයක් වෙනවා නොවේදැයි සන්නස්ගලයන් උත්ප්‍රාසයෙන් යුක්තව ප්‍රශ්න කළේය. 

 

තවද එතුමා ගැයූ දහසකුත් ගීත අතර " පත්තරවල විස්තර වල" නම් වූ ගීතය, " සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලී" හා " සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින් " නම් වූ ගීත වලට මම අතිශයෙන්ම පෙම් බැන්දෙමි. අඳින පළඳින විලාසයෙන්, කොණ්ඩ මෝස්තරයෙන්, අංග චලනයෙන් හා විශේෂයෙන්ම කට හඬින් කිසිදි වයසට නොයන මෙතුමා මේ අද වනවිටත් නව ගීත ගායනා කරයි. එහෙත් රූපවාහිනියේ හෝ අද වනවිට හතු පිපෙන්නාක් මෙන් බිහිවන දහසකුත් එකක් රේඩියෝ නාලිකාවල එතුමන්ගේ ගීත ප්‍රචාරය වනවාදයි සැක සහිතය. ප්‍රසංග වේදිකාවේ නම් එතුමා ජනතාව අතර සිටිනා බව නොරහසකි. එහෙත් නව යොවුන් පරපුර එතුමන්ව දන්නවාද? හඳුනාගෙන තිබේද? එතුමන් ගැයූ ගීත පරිශීලනය කරනවාදැයි අවිශ්වාසය. එමෙන්ම නිහාල් නෙල්සන් යන නාමය කනට ඉඳ හිට හෝ ඇසෙන්නේම නැත. එහෙත් ඔහු තවමත් ජීවත් වන්නේය. 

 

දැන් දැන්වත් අප ඔවුන් පිළිබඳව නැවත කතා කළ යුතු කාලය එළඹ ඇත. අප හරුන් ලන්ත්‍රාව අලුයම හෙළූ කෙළ පිඩක් පරිද්දෙන් අමතක කළෙමු. තිස්ස සිරි පෙරේරා වැනි සංගීතවේදීන් උන්නද මලාඳැයි වත් කියා නොබැලුවෙමු. දැන් ඇන්ජලින් ගුණතිලක ගායන වේදිණිය හැමටම අමතකය. සුජාතා අත්තනායක හා ලතා වල්පොල මැතිනිය ඉඳ හිට දකින්නට ලැබේ. ප්‍රියා සූරියසේන හා පුන්සිරි සොයිසා වැනි ගායකයන් හොර රහසේම වයසට යති. තවත් අය නම් බොහෝය. අප ඔවුනට නිසි ඇගැයීමක් දුන්නෙමුද? එය අපගේ හෘද සාක්ෂියෙන්ම ඇසිය යුතු පැනයකි. 

 

මිය ගිය පසුව කිඹුල් කඳුළු හෙලනවාද නැතිනම් ජීවත්ව සිටියදීම ගුණ ගයනවාද? කෘතගුණ සළකනවාද? තීරණය ඇත්තේ අප අතමය. මේ පුංචි සටහන එලෙසින් ඉතා කඩිනමින් යොවුන් පරපුරට අමතකව යන නිහාල් නෙල්සන් නම් වූ බයිලා ගායකයා වෙනුවෙනි. ජනතාව අතර සිටිනා ඔහුගේ මනුස්සකම වෙනුවෙනි. අප පිනවූ අදටත් එලෙසින්ම පිනවන ඒ කට හඬට උපහාරයක් විලසිනි. 

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
Standard (Image)