Skip to main content
sirasa

 

 

මා කළු ගඟට පෙම් බැන්ඳේ කුඩා කළ සිටමය. ඒ අප හැම පාසල් නිවාඩුවකටම දුම්රියෙන් දකුණු කළුතරට යද්දී පසුවන ගඟේ මනස්කාන්ත දර්ශනයට වශී වීමෙනි. කළුතර බෝධිය අසලින් කලු ගඟේ පාලම මතින් දුම්රිය යද්දී එදා මා දුටු, කලු ගඟේ සොබා සෞදර්‍ය මා නෙත් දෙකින් උරා නොබිව්වා පමණකි. එය අදද නෙතු පියා ගත් විට මට ඉතා පැහැදිලිව චිත්‍රණය කර ගත හැක්කේ එබැවිනි.

 

කාලය මෙසේ කෙමෙන් ගතවෙද්දී , අපේ ආදරණීය පතී මහත්තයා, ධර්මසේන පතිරාජ සූරීන් කලු ගඟ ආශ්‍රිතව ඉතා අපූරු ටෙලි නාට්‍යක් නිරිමාණය කළේය. " කඩුල්ල" නම්වූ එය එකල අතිමහත් ජනප්‍රසාදයකට පත් වූ විශිෂ්ට නිර්මාණයක් විය. කළු ගඟට පෙම් කළ මට මෙම නිර්මාණය අමා රසයක් ගෙන ආවේය.

 

ඉන්පසු මෑතකදී මා කියවූ ඉතාමත් සුන්දර නවකතාවකින්ද යළි කළු ගඟ පිළිබඳව වූ මගේ අතීත කාමය පිබිඳිණි. එය මා හිතාදර නෝබට් අයගම මහත්මා විසින් ලියූ " කාල නදී ගලා බසී" නම් වූ නවකතාවය. ඒ මීට වසර දෙකකට පමණ පෙරය.

 

මේ අතර පසුගිය සති අන්තයේ මට " අරූ" ගෙන් දුරකථන ඇමතුමකි. අරූ යනු එංගලන්තයේම වෙසෙන මගේ මිතුරෙකි. ලංඩනයෙන් තරමක් ඈත, මනරම් ගමක වෙසෙන ඔහුගේ, ගේ අවට පරිසරය එකම කවියකි. ලස්සන නව කතාවකි. ඔහු ගත් කටටම " මචං මම මේ අමතක වෙන්න ඉස්සර උඹට කියන්නෙ, මෙන්න මේ ටෙලි නාට්‍යයේ නම ලියා ගනිංකො" යැයි පැවසුවේ ඉතා වටිනා යමක් මතකයෙන් ගිලිහෙයි යන බියකින් වැනි මහා කඩි මුඩියකිනි. සෙනසුරාදා හැන්දෑවේ පුංචි මධු විතක පහස විඳිමින් විවේකිව වුන් මම මේ පනිවුඩයත් සමඟම අත වූ වීදුරුව පසෙක තබා වහා වහා පෑනක් සහ කොළයක් අතට ගතිමි.

 

" ආ.. හරි මචං මම රෙඩි. ඉතිං කියහං" මම බෙරිහන් දුනිමි.

 

" මචං, මේකෙ නම , මිණි ගං දෑල, සිරසෙ යන්නෙ. ඒකෙ යන අනික් බහුබූත වගේ නෙමේ. උඹ ආස වෙයි කියල හිතුණා. බලපංකො. ඊට පස්සෙ අපි ඒ ගැන කතා කරමු" යැයි කියූ ඔහු තවත් නිර්මාණ කිහිපයක් ගැන මා සමඟ කතා කොට මගෙන් සමු ගත්තේය. මධු විතින් සැනහුණු බොහෝ සැඳෑවල අප දෙදෙනා බොහෝ රසවත් දේවල් ගැන කතා කර ඇත්තෙමු. කොතනින් පටන් ගෙන කොතනින් කෙළවර වනවාදැයි අපටද නිච්චියක් නැත. ඒ අතර ඉවර වන මධු විත ප්‍රමාණයද එලෙසමය. ඒ වෙනම කතාවකි.

 

මෙය සිදු වූයේ ගිය සති අන්තයේය. එහෙත් ඊයේ වනතුරුත් මට ඔහු කියූ " මිණි ගං දෑල" නැරඹීමට නොහැකි විය. මගේ මිතුරා අරූ , යම් නිර්මාණයක් ගැන ආවට ගියාට නම් නොකියන බැව් මම දැන සිටියෙමි. එහෙයින් ඊයේ කෙසේ හෝ වෙලාව කළමනාකරණය කරගෙන නාට්‍ය බැලීම ඇරඹීමි.

 

පළමු කොටස මදක් දුරට නරඹද්දීම මම ආයෙත් කළු ගඟේ කරක් ගසන්නට පටන් ගතිමි. මගේ අතීත කාමය ඇවිස්සුණි. එදා කඩුල්ල ටෙලි නාට්‍යයේ කුරුතේලිස්ලා, මැනුවෙල් උන්නැහෙලා, කරන්නාගොඩ අප්පුහාමිලා කළ කී දෑ මගේ මනසේ සිනමාපටයක් සේ ඇඳී ගියේ මොහතකිනි.

 

ප්‍රියාල් වීරසිංහගේ තිර රචනයෙන් හැඩ වූ " මිණි ගං දෑල" චරිත් අබේසිංහගේ අධ්‍යක්ෂණයකි. මේ සඳහා රංගන දායකත්වය සපයා තිබුණේද එසේ මෙසේ පිරිසක් නොවේ. හේමසිරි ලියනගේ,ඩබ්ලිව් ජයසිරි, වසන්ති චතුරාණි, ශ්‍රියන්ත මෙන්ඩිස් හා උද්ධික ප්‍රේමරත්න ඇතුළු බොහෝ නළු නිළි පිරිසකගේ දායකත්ය මිට ලබා ගෙන තිබූ අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන සමන් ලෙනින් සහෝදර සංගීතවේදියා පිළිබඳවද යමක් මුලින්ම සඳහන් කිරීම මැනවැයි මට සිතේ. අපේ පිනට පහළ වූ රෝහණ බැද්දගේ සූරීන් හා ලයනල් රන්වල සූරීන් ඇතුළු ජන සංගීතයේ නවමං සොයා ගිය පිරිසගේ අඩි පාරේ යමින් කවියට, ජන ගී ගායනයට හා සංගීතයට සහජ දස්කමක් ඇති ඔහු අපගේ රටට ලැබුණු අනර්ඝ මිණි කැටයකි.

 

දැනට කොටස් 9 ක් විකාශනය වී ඇති " මිණි ගං දෑලේ " විකාශිත සියලුම කොටස් මම එක හුස්මටම නරඹා අහවර කළෙමි. එය මා වසර 30 කට පමණ පෙර නැරඹූ " කඩුල්ල" ටෙලි නාට්‍යයේ නැවත අතරමං කිරීමට සමත් විය. කළු ගඟ අසබඩ දිවි ගෙවන, පරම්පරාවෙන් ගඟේ ගඟුල පදින තොටියකු( හේමසිරි ලියනගේ) සහ ඔහුගේ පුතා අරනෝලිස්( උද්ධික ප්‍රේමරත්න), ගමේ චණ්ඩිකාර නාහෙට නාහන සයිමන් මුදලාලි( ඩබ්ලිව් ජයසිරි) , ඔහුගේ බිරිඳ( වසන්ති චතුරාණි) , ඔවුන්ගේ දියණිය, පානදුරේ දඩල්ලේ මුදලාලි( ශ්‍රියාන්ත මෙන්ඩිස්) , ඔහුගේ දියණියන් දෙදෙනා හා තවත් පාත්‍ර වර්ගයා අතර මෙම කතාව දිඟ හැරෙයි.

 

නිදහස ලැබීමට පෙර සුදු අධිරාජ්‍යවාදීන් රට පාලනය කළ සමයේ, දුම්රිය හා මහමාර්ග තැනීමට පෙර තිබූ කරත්ත රස්සාව, ගඟ හරහා පාලමක් නොවූයෙන් තිබූ අඟුල හා පාලම් පාරුව මෙම ගැමියන්ගේ ජීවන වෘතිය විය. ඒ අතර තැන තැන ගම්මන්ඩිවල කරත්ත නවත්වන තිප්පොලවල් හා ඒවායේ සිටින ගැහැනුන්, මගේ සිහියට " සිරිබෝ අයියා" සිනමාපටය පිළිබඳ මතකය ගෙනආවේය. මෙහි එන කරත්ත කොල්ලකන ගමේ චණ්ඩින්වූ පල් හොරුන් දුටු මට කඩුල්ල නාට්‍යයේ මැනුවෙල් උන්නැහේව සිහි වුණි. මෙහි සයිමන් මුදලාලිගේ බිරිඳට රඟන අද මැඳි වියේ පසුවන වසන්තී චතුරාණි දුටු විට එදා කඩුල්ල නාට්‍යයේ සුදු හාමිනේට රඟ පෑ නව යොවුන් වසන්ති චතුරාණිව මගේ සිහියට නැඟුණේ යම් දුකක්ද හිතේ කොනක පැලපදියම් වෙමිනි. එදා නාඹර කෙල්ලක වූ ඇය අද මවගේ චරිතයට පණ දෙන මැඳි වියේ කතකි. ඇයගේ රංගනය මෙන්ම ප්‍රවීණ රංගදරයන් වූ හේමසිරි ලියනගේ, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩබ්ලිව් ජයසිරි හා උද්ධික ප්‍රේමරත්න ඇතුළු ප්‍රවීණ හා යොවුන් රංගන ශිල්පීන්ගේ රංගනයන් ගැන කියන්නට දෙයක් නැත. ඉතාමත් තාත්විකය.

 

මෙහි සංගීතය සපයන සමන් ලෙනින් ඉතාමත්ම මැනවින් එම එම දර්ශනයට උචිත ලෙස සංගීතය මෙහෙයවා ඇති බැව් මගේ හැඟීමයි. තොටියාගේ මළගෙදර පෙන්වන දර්ශනයේ පසුබිමින් ඇසෙන වෙස්සන්තර හෑල්ල සහ කරත්ත ගමන් කරද්දී ඔහු ගායනා කරන කරත්ත කවි මගේ රස වින්දනය දෙගුණ තෙගුණ කිරීමට සමත් වූයේ ඒවායේ තිබෙන අව්‍යාජ ගැමි ස්වරය නිසාවෙනි. තව කීමට බොහෝ දෑ ඇත. ඒවා නාට්‍ය අවසානයේ ගෙන ලියන්නට සිතා සිටින විග්‍රහයෙන් ඔබ වෙත ගෙන එමි. එහෙයින් මම තව විස්තර නොකියා මෙම නාට්‍ය නරඹාම ඔබට ඒවා විඳින්නට ඉතිරි කරමි.

 

ඉහත මා පැවසුවේ මෙහි මා සිත් ගත් අංගය. අවාසනාවකට මගේ සිත එතරම් ඇද බැඳ නොගත් සහ ඒවා මීට වඩා වෙනස් වූවානම් හොඳ යැයි සිතුණු කාරනා කිහිපයක්ද මගේ දෑසට හසු විය.ඒවා මෙසේ පෙලගස්වන්නට මට අවසර.

 

සිරස නාලිකාවේ මේ දිනවලම විකාශනය වන අනෙක් මා කැමති නාට්‍ය වන " තාත්තා" හි තරම් මෙහි කැමරාවෙන් වැඩක් කර නැති බව මගේ හැඟීමයි. එමෙන්ම මෙහි රූපරාමු මා ඉතාම ප්‍රිය කරන පුළුල් තිර තාලයට නොව මුළු තිරය පුරාම විහිදෙන තාලයට ඇති දර්ශනයෙන් යුක්තය. මා පුද්ගලිකවම කැමති රූපරාමුවට උඩින් හා යටින් කළුවට හිටින්නට දර්ශනය පෙනෙන පුළුල් තිර ක්‍රමයටය. " තාත්තා" සහ " සහෝදරයා" රූප රාමු එවැනිය. එවිට මට එහි සිනමාරූපී බව වඩාත් ඉස්මතු වී පෙනේ.

 

මෙහි නාට්‍ය ඇරඹෙන විට තේමා ගීතය වාදන වෙද්දී පසුබිමින් දායක වූ ශිල්පීන්ගේ නාමාවලිය සමඟ දිස්වන නිශ්චල රූප රාමු මගේ සිත පැහැර ගැවීමට සමත් විය. ඒවායේ යම් අංගයක් පමණක් වර්ණයකින් දක්වා ඉතිරිය අව පැහැයෙන් දක්වා තිබූ අතර එය ඉතාමත්ම දැකුම්කළුය. එහෙත් නාට්‍ය විකාශනය වන විට වර්ණ සංයෝජනයේ යම් නොගැලපීමක් මට පෙනුණි. එය ඔබට සහෝදරයා රූප රාමුවක් හෝ තාත්තා රූප රාමුවක් මේ සමඟ සැසඳුවහොතින් වැටහේවි.

 

අනෙක් මා අකමැතිම අංගය නම් " මිණි ගං දෑල" යන නාට්‍යයේ නමට කර තිබූ විගඩමයි. ඒ අකුරු හැඩතල කිසිඳු ගුණාත්මක බවකින් යුක්ත නොවුණි. එපමණක්ද එයට දී තිබූ තොරණක පෙනුම ඉතාම බාල මට්ටමේය. කථාවේ මැණික් ගැරීමක් ගැන කියවෙන බව සත්‍යකි. එසේ කියා කථාවේ නමේ අක්ෂර වලට තොරණක නිවී දැල්වෙන බල්බ මෙන් දිලිසෙන මැණික් ඔබ්බවීම නම් බාල ළදරු ක්‍රියාවක් සේ මට හැඟේ. මේ තොරණක් වැනි නම සමඟ , මදකට තාත්තා හෝ සහෝදරයා හි නම ලියා තිබූ අන්දම සසඳා බලන මෙන් මා ඔබට ආදරයෙන් ඇරයුම් කරමි. සැබැවින්ම මෙසේ මේ නම ලියූවේ මෙම වීඩියෝ යූටියුබයට මුදාහරින තැනැත්තකු යැයි සිතා මම සිරස නාලිකාවේ වෙබ් අඩවියටම ගොස් ඒ ගැන සොයා බැලුවෙමි. අහෝ! අවාසනාවට එය ඔවුන්ගේ වැඩක් නොව නාට්‍ය නිර්මාණකරුවාගේම වැඩක් බැව් මට එවිට වැටහිණි. මම ඉතාමත්ම ආදරයෙන් හා අවංක චේතනාවෙන් මේ ආකාරයට නම ලිවීම වෙනස්කර යම් නිර්මාණාත්මක චාම් ආකාරයට එය නැවත සංස්කරණය කරන මෙන් ඒ නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටිමි. මන්ද නාට්‍ය නැරඹීමට පෙර දකින නමේ ස්වභාවයෙන් නාට්‍යම එපා වී යාමට ඉඩකඩ ඇති බැවිනි. එමෙන්ම නාට්‍යයේ ප්‍රමිතියද නම එලෙස දෙකේ කොලේ ක්‍රමයට නිර්මාණය කිරීමෙන් බාල වන බැවිනි.

 

ඒ කෙසේ වෙතත් අවසාන වශයෙන් කාලයකට පසු තවත් හොඳ නාට්‍යක ඇරඹුම මෙය බැව් පැවසීමට මම කැමැත්තෙමි. මෙහි වහනය වන ඒ ගැමි සුවඳ, ගලා හැලෙන ආදර සම්බන්ධතා සහ ඔවුන් මුහුණ දෙන ජීවන අරඟලය වැනි අංගයන් ප්‍රේක්ෂකයන්ව එදා කඩුල්ල නරඹද්දී ඔවුනට ඇතිවූ රසාස්වාදයටම රැගෙන යන බවට දැනට විකාශිත කොටස් කිහිපයෙන්ම ඔප්පු කොට ඇති බව මගේ හැඟීමය. සහෘද ඔබ සැමටත් මෙය නරඹාම එය තීරණය කරන ලෙසට ඇරයුම් කරමින් හා මෙය පිළිබඳව මට ඔත්තුව දුන් මා මිත්‍ර අරූට මගේ කෘතඥතාවයද පළ කරමින් මම නිහඬ වෙමි.

 

මිණි ගං දෑල තේමා ගීතය
https://www.facebook.com/minigandela/videos/1128486967291481/

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)