Skip to main content
denis

 

වසන්තය තවමත් භද්ද්‍ර යෞවනයේය. මලින් පිරි තුරු ලතා මධ්‍යයේ බඹරුන් අනඟ රැඟුමේය. ගංඟා ඇල දොළ සුපුරුදු ගමනේය. එහෙත් අපගේ දෙසවන් පිනවූ කෝකිලයා පමණක් නිහඬ වී ඇත්තේය. 

ඒ අද දිනයේය. එහෙත් මීට දශක හයකට හෝ හතකට පෙර තවත් කෝකිලයකු විසීය. ඒ කෝකිලයා ජීවත්ව සිටියදීම මරා දැමීමට තරම් මේ අධම සමාජය නිහීන වුවත්, ඒ කෝකිල නාදය නොනැවතී ඉඳිරියටම ගෙන යාමට සමත් ගෝලයෙකු එතුමන්ට හමු විය. එදා තමන්ගේම හඬින් ගීයක් ගැයූ ඒ ආධුනිකයාට අද මෙන් තම ගීත ගායනා කිරීම තහනම් කරනු වෙනුවට ඔහු සොයා ගොස් නොමිලේම තම ශිල්ප ඥානය ලබා දීමට තරම් ඒ කෝකිලයා බෝධිසත්වයකු විය. එහෙත් එදා නවකයකුට ඉඳිරියට ඒමට ඉඩහසර සලසා දෙනු විනා ඒ ගෝලයා විසින් තම හඬ හා තමන්ගේ සංගීතය තවත් දශක ගණනාවක් ඉඳිරියට ගෙන යනු ඇතැයි නම් එතුමන් සිහිනයෙන් හෝ සිතන්නට නැත. ගුවන් විඳුලියේ ගායන ශිල්පීන් ශ්‍රේණිගත කිරීමට විරෝධය පෑමක් ලෙස එතුමන් කොන්ඳ කෙළින් තබාගෙන සිංහයකු ලෙස ගෙදර ගියේය. රැකියාවක් නොමැති කම නිසා තම දරුවන්ගේ කුස ගිනි නිවීමට එතුමා රේඩියෝ අලුත්වැඩියා කළේය. වඩු වැඩ කළේය. එහෙත් කාගේවත් පස්සේ ගොස් තම අභිමානය නැති කර නොගත්තේය. එතුමා වෙන කවුරුන් හෝ නොව ජීවත්ව සිටියදීම මරා දැමූ සුනිල් සාන්තයන්ය. එතුමන්ගේ හඬ අද වන තෙක්ම රසිකයන් අතරට ගෙන ගිය ඒ ගෝලයා අයිවෝ ඩෙනිස් සූරීන්ය. 

 

හරියට තම ගීතයක හඬ පටයක් හෝ ඉතිරි නොකර දැයෙන් සමුගත් සී. ටී. ප්‍රනාන්දු ගායනාවේදියාගේ ඒ අමිල හඬ ගෙන යාමට තම ලෙයින් මසින් සැඳි ප්‍රියන්ත ප්‍රනාන්දු හිටියත් සුනිල් සාන්තයන්ට ඒ වාසනාව නොතිබිණි. එහෙත් තමන්ගේ ගායනය ගෙනයාමට සමත් පුතකු නැති අඩුව ( ගායනය නොකලත් එතුමන් පුත් ලංකා සාන්ත තම පියාගේ ගීත සංරක්ෂණ සඳහා ගන්නා තැත නම් අප අගය කරමු) එතුමන්ගේ ගෝලයා අද දක්වාම එය අපූරුවටම කළේය. එහි කිසිදු අඩු පාඩුවක් නොවුණි.  එහෙත් ඒ කෝකිල නාදයද අද දිනයේ නිහඬ වූ බැව් කියූ එම ශෝකජනක ආරංචිය මගේ හද දවා ලීමට සමත් විය. මේ දින කිහපය තුළ කෙතරම් නම් අප පෙම් කළ ආදරණීය කලාකාරයන් පිරිසක් අපගෙන් සමු ගන්නට ඇතිද?  අයිවෝ ඩෙනිසුන් අකාලයේ මිය නොගියේය. වයස 86 ක් දිවි ගෙවනවා යනු ඉතාමත්ම හොඳ ජීවිත කාලයකි. එතුමන් මීට වසර දෙකකට පමණ පෙර මහේෂ් දෙනිපිටියගේ නව සංගීතයට තම හඬ පෞර්ෂය මුසු කළේ යොවුන් ගැටවරයෙකු පරිද්දෙනි.  පල්ලියෙන් එතුමන්ට ලැබුණු ගායන පන්නරය සුනිල් ශාන්ත සෙවණේ බෞතීස්ම ලැබ තිබුණේ ඉතාමත්ම විශිෂ්ට අන්දමිනි. ආගම් අතර සහජීවනයට අයිවෝ ඩෙනිසුන් ජීවමාන පාලම විය. අතිගරු මර්සලින් ජයකොඩි පියතුමන් මෙන් අයිවෝ ඩෙනිසුන්ටද තිබුණේ ඒ ශාන්ත පෙනුමමය. ඒ සහජීවනයමය. ජයකොඩි පියතුමන් " පංසලේ පියනම" වෙද්දී අයිවෝ ඩෙනිසුන් " බෝධියේ සිලි සිළිය " වුයේ එහෙයිනි. අයිවෝ ඩෙනිසුන් සුනිල් සාන්තයන්ගේ සියලුම ගීතයනට නව ජීවනයක් සැපයූවේ අපගේ පිනටය. අප ඒ ගීත අසා තිබුණේ හැම විටම අයිවෝ ඩෙනිසුන් හඬින්මය. අපගෙන් ඉදිරි පරම්පරා සියල්ලමද එලෙසමය. එතුමන් නොසිටින්නට සුනිල් සාන්ත හඬ කාලයේ වැලි තලාවෙන් වැසී විශ්වයේ සැඟවී යාමට ඉඩ තිබිණි. ලංකාවේ දෙවැනි ජාතික ගීය බඳු " ලංකා ලංකා පෙම්බර ලංකා" ගීතය, " එම්බා ගංඟා", " අභිමානනීය වූ නවෝදයේ" හා " දකුණ නැගෙනහිර" වැනි වූ දේශාභිමානී ගීත එතුමන් කෙතරම් අගේට , හැඟුම්බරව හා විසල් ජවයකින් ගැයුවාද කියතොත් එය ඇසූවකගේ ජාතිඅභිමාණය ඇති වී සිරුරේ රෝමෝද්වීපනය නොවුනේ නම් ඔහු හෝ ඇය බිහිරකුම විය යුතුය. ඒ තරමටම ඒ ගීත විශිෂ්ටය. එපමණක්ද " ඕලු පිපිලා වෙල ලෙළ දෙනවා", " බෝවිටියා දම්", " කෝකිලයන්නෙ කෝකිල නාදේ", " මිහිකත නළවාලා", " වලාකුළෙන් බැස", " වරෙන් හීන් සැරේ", " සැලෙන ලෙලෙන උකුළු තලේ" හා " මගෙ කුකුළා නැසූ එකා" වැනි ගීත නොඇසූ කෙනෙකු නැති තරම්මය. විනෝද චාරිකාවක යද්දී හෝ සාදයක මේ ගීතයන්ගෙන් එකක් හෝ නොගැයුනොත්‍ එය ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් විය.  එපමණක්ද ප්‍රේමසිරි කේමදාස වැනි අති විශිෂ්ට සංගීතවේදීන් තමන් නිර්මාණය කළ සිනමා ගායනයන් සඳහා අයිවෝ ඩෙනිසුන් යෙදා ගත්තේ එතුමන්ගේ හඬේ තිබූ වෙනස්ම ස්වරය හා පරාසයේ තිබූ පුළුල් බව තේරුම් ගත් නිසාවෙනි. එහි ප්‍රතිඵලයක් වූයේ බඹරු ඇවිත් චිත්‍රපටයේ " උඳුම්බරා" ගීතයයි. එමෙන්ම ආදර හසුන සිනමා පටයේ වූ " රන් දෙවොලින් බැස එන් දෙයියෝ" ගීතයද එලෙසින්ම ඩෙනිසුන් හඬින් පොහොසත් විය. කවුද හරි චිත්‍රපටයේ " නැගෙන වැටෙන වැටී නැගෙන පෙරලෙන ලෝකේ " යන ගීතය වික්ටර් රත්නායකයන් සමඟ ගැයීය. ඒ 1969 දීය. තව සිනමා ගීත බොහෝය. ටී එම් ජයරත්නයන් සමඟ මෙතුමා ගැයූ " අඳුරු කුටිය තුළ" ගීතය අති මහත් රසික ප්‍රසාදයක් ලැබූ අතර මෙම ගීතයෙන් අයිවෝ ඩෙනිසුන්ගේ ප්‍රතිභාව මනාව පිළිඹිබු විණි.

 

සුනිල් සාන්ත හඬ ඔහුගේ ගීතයෙන්ම ඉඳිරියට ගෙන ගිය අයිවෝ ඩෙනිසුන් තමාගේම ගීතද ඒ ආරටම ගැයුවේ සුනිල් හඬේ එකම ජීවමාන උරුමක්කාරයා එතුමන් බැවින් හා රසිකයන්ගේ ඉල්ලීම වූයේද ඒ ආරම හා ඒ හඬම බැවිනි. " ඉර වට යන" වැනි එතුමන්ගේම ගීතද රසිකයින් අතර ඉතාමත්ම ජනප්‍රිය විය.  එහෙත් අද ඒ හඬ වියැකී ගොස් ඇතැයි කෙසේ නම් අදහන්න? වසන්තය තවම ගෙවී ගොස් නැත. එහෙත් කොවුල් නඳ කලින්ම ගොලුවී ගොසිනි. කොවුලා නැතත් කපුටන් නම් හැම තැනකම ඇත.දුරින් සිට බලන විට කපුටන්ද පෙනෙන්නේ කොවුලන් ලෙසිනි. එනමුදු හඬ නැඟූ විලසම කපුටා කවුද කොවුලා කවුද යැයි අපට හඳුනා ගත හැකිය. අපට තවමත් ඉඳ හිට කොවුල් නාදයන් ඇසේ. එහෙත් එය සැබෑම කොවුල් නාදයමදැයි අප කෙසේ නම් තෝරාගන්නද? මේ විශිෂටයන් සමු ගන්නා සංක්‍රාන්ති සමයයි. සුනිල් සාන්ත හඬේ අවසානයද මේ? හැමදාමත්ම මෙන් පිළිතුරු නොමැති ගැටලු රාශියක පැටලී සිත ව්‍යාකූල වී ඇත. හදවත ඊයම් බරුවක් ගිලී ඇත්තාක් මෙන් බරය. අවසාන වශයෙන් මම මෙසේ කියමි. වසන්තයේ දිනෙක අපෙන් සැඟව ගිය කොකිලයාණෙනි, ඔබ ගායනයෙන්, වාදනයෙන් පමණක් නොව ගුරු පියකු සේ විසල් සිසු කැලකට සංගීත ඥානය බෙදා දීමෙන්ද කළාවූ මහඟු සේවයට අප හැම ඔබට ණය ගැති වෙමු. මේ රාත්‍රිය පාළුය. සිතිවිලි හිම මෙන් සීතලය. මද නල නැවතී ඇත. බෝධියේ සිලි සිළිය නිසසලය. එසේනම් ගාන්දර්වයාණෙනි අද ඔබගේ වාරයය. අප කාහටත් නොගොසින් සිටිය නොහැකි ඒ අවසන් ගමන අද ඔබ ගොසිනි. එහෙයින් මේ මොහොතේ ඔබට සුබ ගමන් කියා පතනු හැර වෙන නම් මා කුමක් කරන්නද?

 

චන්දන ගුණසේකර එංගලන්තයේ සිට .....

(ජයාරුපය  ; දයාන් විතාරණ )

 

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
Standard (Image)