Skip to main content
adaline

 

එක්තරා අඳුරු රැයක සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් තෙක්, ඇය සාමන්‍ය ගැහැනියක වූවාය. ඒ පිළිබඳව මම පසුව ඔබ වෙත ගෙන එන්නම්. එයට ප්‍රවිශ්ටයක් ලෙසින් මෙසේ මෙම ලිපිය ඇරඹීමට මට අවසර.....

අප බොහෝ විට සිහින දකින්නෙමු. ඒ හරහා මහත් වූ බලාපොරොත්තු දල්වා ගන්නෙමු. එමෙන්ම අප අතීතකාමයටද පෙම් බඳින්නෙමු. අතීතය , සිහිනයක් නොවූවත් එයද අපට ජීවත් වීමට සිහිනය මෙන්ම මහත්‍වූ උත්තේජකයක් සපයන්නේය.

 

මේ අතර අතීතකාමයත් සිහින ලොවත් අතර දෝලනය වන තවත් උත්තේජකයක් ඇත. එය නම් ෆැන්ටසියයි. ෆැන්ටසිය මිරිඟුවක් වැනි වුවත් එය අප කැමති තැනට අප රැගෙන යන්නාවූ ඉන්ද්‍රජාලික බලයකින් යුක්තය. 

 

අප බොහෝවිට ෆැන්ටසි තුළ ජීවත් වීමට කැමැත්තෙමු. එය සැබැවින්ම සිහිනයක් දකින්නාක් බඳු අත්දැකීමකි. එකම වෙනස නම් සිහිනයේදී අප නිදා සිටීමත් සහ ෆැන්ටසියේදී අප හොඳින් අවඳිව සිටීමත් පමණි. එහෙත් සමහර විට අප ෆැන්ටසියේදී අන්ධයන්සේ කටයුතු කිරීමද නොවැළැක්විය හැකි කාරණයක් වේ.

 

මිනිසුන් තුළ වූ මෙම ෆැන්ටසිවලට ඇති කෑදර කම ගැන දත් ලේඛකයෝ ෆැන්ටසි ගැන නව කතා ලියූහ. කවීහූ කවි තැනූහ. සිනමාකරුවෝ ෆැන්ටසිය සිනමාවට නැඟූහ. 

 

අප බොහෝවිට ෆැන්ටසියට පෙම් බඳින්නේ සැබෑ ලෝකයේදී කෙසේවත් ඉෂ්ට සිද්ධ කරගත නොහැකි වූවද අපගේ හදවත පතුළින්ම අප බලාපොරොත්තුවන දෙය, අප දකින්නට හෝ අසන්නට කැමති දෙය එසේත් නැතිනම් අප ලබාගන්නට කැමති දෙය ෆැන්ටසිය තුළින් විනාඩි කිහිපයකට හෝ සිතින් ලබා ගත හැකිවන නිසාය. අප කැමතිම අන්දමේ පෙම්වතකු හෝ පෙම්වතියක සැබැවින්ම අපට ලබා ගත නොහැකි වුවද ෆැන්ටසික් තුළදී එය තප්පරයෙන් අපට ලබා ගත හැක. නවකතාවක පමණක් දැකිය හැකි අති රමණීය , පරම පූජනීය ප්‍රේමයක් ෆැන්ටසියේ අපට උවමනාම අන්දමටම ඇත. නැතිනම් ලස්සන ගෙයක් දොරක් හෝ යාන වාහන ෆැන්ටසියෙන් මොහොතින් අත්පත්කර ගතහැකි වන්නේය. මේ ෆැන්ටසියේ එක මුහුණුවරකි. එහි තවත් පැත්තක් ඇත. අප මොහොතකට ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳින හිරකරුවකු හෝ මාරාන්තික සුව කළ නොහැකි රෝගයකින් පෙළෙන රෝගියෙකු හෝ ගැන සිතමු. ඔවුන් සමහර විට දිගු නින්දක් නිදා ගෙන නැඟිටින විට තමන් නිදහස් වී හෝ තමාගේ රෝගය සුවපත් වී හෝ ඇතිබව හැඟවෙන ෆැන්ටසික සිරවී ජීවත් වෙති. එයින් නොලැබෙන සහනයක් ලබති. එසේත් නැතිනම් සමහර විට අපට නින්දක් නිදා අවදිවන විට අප අතීතයට ගොස් අපට අද අහිමි වී ඇති අය සමඟ ජීවත් වන්නට ඇත්නම් සිතෙයි. එසේ වන්නේ නම් මට මෑතකදී අහිමි වූ තාත්තා මා අවධි වන විට නැවත නිවසට පැමිණ සිටිනු දක්නට ලැබෙනු ඇත. එයද ෆැන්ටසියකි. 

 

මා මේ වැල් වටාරම්‍ ගසමින් ඔබ වෙහෙසට පත් කළේ මා මෑතකදී නැරඹූ සිනමා පටයකින් මා සිත තුළ ඇතිවූ කැළඹීම ඔබ සැම හා බෙදා ගන්නා අටියෙනි. එම සිනමා පටය ෆැන්ටසියක් පමණක්ම නොවේ. ඉන් එහාට ගිය විද්‍යා ප්‍රබන්ධයකි. (Science Fiction) එපමණක්ද නොව එය ආදරය වෑහෙන රෝමාන්තික(romantic) ප්‍රේම පුරාණයකි. 

 

ඉතා අසාමාන්‍ය අයුරින් හිම පතනය සිදු වුනු  එක්තරා අඳුරු රාත්‍රියක සිදුවූ රිය අනතුරක් හේතුවෙන් එදායින් පසුව එක මොහොතකින් හෝ වයසට නොගිය සුරූපී කාන්තාවකගේ දිවිය වටා දිව යන මෙම සිනමා පටය " The age of Adaline " නම් වන්නේය.

 

ගෝල්ඩන් ගේට් පාලම( Golden gate Bridge) මතින් ගමන් ගන්නා ටැක්සියක දර්ශනයකින් සිනමා පටය ඇරඹේ. පසුබිමින් මතුවන පොතේ ගුරෙකුගේ නැතිනම් වාර්ථාමය හඬකින්( Narrator) එහි ගමන් කරන්නේ තනි කාන්තා මඟියකු බව පැවසෙයි. රථය නිවසක් ඉදිරිපිට නතර වන අතර ඉන් බසින සුරූපී නව යොවුන් ළඳක් ( Blake Lively නම් ඇමෙරිකානු නිළිය) නිවසකට ඇතුළු වේ. ඇය දොර ළඟ සිටියදී හරියටම අංශක 90 ක් ඉහළින් සිට එම දර්ශනය කැමරාගත කර තිබූ කැමරා කෝණය ඉතාමත්ම සිත් ගන්නා සුලුය. ඇය එහි යන්නේ කොලු ගැටයෙකුට ( Richard Harmon) මුදල් ගෙවා හොර හැදුනුම් පතක් හා ගුවන් ගමන් බලපත්‍රයත් සාදවා ගන්නට බව ඉතිරි දර්ශන මාලාවෙන් ප්‍රේක්ෂකයාට අවබෝධ වේ. ඒ ජෙනිෆා( ජෙනී) ලෝසන් නමිනි. එමෙන්ම එහිදී ඇය තරුණ ගැටයා සමඟ හුවමාරු කරගන්නා ස්වල්ප වචන කිහිපයෙන්ම ඇය ඉතාමත් උගත් හා තැනට ඔබින නුවනින්( common sense) යුක්ත කාන්තාවක බැව් නරඹන්නාට ඒත්තු යයි. 

 

ඉන්පසු තම නිවසට එන ඇය, ඉදිරි දොරේ ඇති අසාමාන්‍ය අගුළු ප්‍රමාණයක්( අගුළු 4ක් පමණ) ඇර නිවසට ඇතුළු වී නැවත ඒ අගුළු සියල්ලම දමයි. මෙයින් අපට ඇය බාහිර සමාජයට යම්කිසි කාරණයක් නිසා බියෙන් සැඟවී මෙන් ජීවත්වන බව හැඟී යයි. ඉන්පසු ඇය " honey, I am home" යැයි කියූවත් එයට ප්‍රතිචාර දක්වමින් දිව එන්නේ ඇයගේ සුරතල් බල්ලාය. වෙන කිසිවෙකුත්‍ නිවසේ නැති අතර ඇය වෙසෙන්නේ බල්ලකු සමඟ හුදෙකලාවේ බව අපට වැටහේ. ඒ අතර නිවසේ ඇති බඩු, පෙට්ටි වලට අසුරා තිබීමෙන් ඇය එම නිවස හැරදා යන්නට සූදානමින් ඉන්නා බැව් පෙනී යයි. ඉන්පසු ඇය සුරතල් බල්ලාට කෑම කන්නට දී සිය සේවා ස්ථානයට යාමට ටැක්සියක් ගැනීමත් සහ ඇය හා ටැක්සි රියදුරා අතර හුවමාරු වන දෙබස් ඛණ්ඩයන්ගෙන් ඇය සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ සෑම අහු මුල්ලක් නෑරම හොඳින්ම දන්නා බව ප්‍රේක්ෂකයාට හැඟවේ. 

 

ඉන් පසු ඇය සේවය කරන පුස්තකාලයේ ඇයට පැවරෙන වැඩකට අදාළ පැරණි ටේප් පටි සහිත පෙට්ටියක 1908 වසරේ ටේප් පටියක් අහම්බෙන් හමු වී, ඇය එය ප්‍රොජෙක්ටරයට දමා ක්‍රියා කරවයි. ඒ ඇය උපන් වසරයි. ඒ හරහා ඇයගේ ජීවිත කතාව රූප රාමුවෙන් රූප රාමුවට පසුබිම් කථනයක මාර්ගයෙන් නරඹන්නා වෙත මුදා හැරේ. 

 

එයට අනුව ඇය උපන්නේ 1908 ජනවාරි පළමුවෙනිදාය. ඇයගේ නියම නම ඇඩ්ලයින් බෝමන්( Adaline Bowman) වේ. ඇය යොවුන් වියේ පසුවද්දී කැලිෆෝනියාවේ  ඉදිවන ලොව විශාලතම පාලමක් වන ගෝල්ඩන් ගේට් පාලමේ වැඩ ඇරඹේ. සිනමා පටයේ තේමාවට මෙම පාලමේ මහා සම්බන්ධයක් ඇත. සිනමා පටය ඇරඹීමට සිනමා කරුවා එහි දර්ශනයක්ම උපයෝගී කරගත්තේ ඒ නිසාම වන්නට ඇත. එසේ කල් ගතවද්දී දිනක් තරුණ ඇඩ්ලයින් සිය මෑණියන් සමඟ මෙම පාලම බලන්නට යයි. එදා මුහුද අයිනේ හමන සුළඟට අසුවූ ඇයගේ හිස් ආවරණය සුළඟේ ගසාගෙන යන්නේ එසේ ඇවිද යද්දීය. එය වහා පැන අහුලා දෙන්නේ පාලමේ සේවය නියුතු තරුණ ඉංජිනේරුවරයෙකි. ඔවුන්ගේ දෑස් එහිදී හමුවේ. එම දෛවෝපගත හමුව ඉන් දින 87 කට පසු ඔවුනගේ විවාහයෙන් කෙළවර වන අතර වසර දෙකකට පසු ඔවුනගේ දියණිය උපත ලබයි. එහෙත් ඇයගේ බෞතීස්මයෙන් ටික දිනකට පසු ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පෑමට ඇඩලයින්ට සිදුවේ. එනම්, පාලමේ වැඩ කෙරෙන අතර හදිසියෙ අට්ටාලයක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනකුට හා ඉංජිනේරුවන් දෙදෙනකුට සිය ජීවිත අහිමි වීමයි. ඉන් එක ඉංජිනේරුවකු ඇඩලයින් බෝමන්ගේ සැමියයා. ඔවුන් දෙදෙන එක් කළේද ගෝල්ඩන් ගේට් පාලමයි. දෛවයේ සරදමකින්දෝ ඔවුන් දෙදෙන වෙන් කළේද ගෝල්ඩන් ගේට් පාලමයි. 

 

සැමියාගේ මරණින් පසු දියණිය සමඟින් තනිවන ඇඩලයින්, ඇයව තම දෙමාපියන් භාරයේ තබා සේවයේ නියතු වෙයි. දිනක් ඇය දියණිය බැලීමට තම වාහනය පදවාගෙන දෙමාපියන්ගේ නිවසට යයි. ඒ දිනය ඇයගේ දිවිය සදහටම වෙනස් කරාවි යැයි ඇය සිහිනයෙන් හෝ සිතන්නට නැත. ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමරිකාවේ එම ප්‍රදේශයට හිම පතනය වූ ඒ අඳුරු රාත්‍රියේ ඇයගේ පාලනයෙන් තොරවූ ඇය පැදවූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී වතුරකට වැටී ගිලී යන අතර එහිදී දියේ ගිලී හුස්ම හිරවන ඇයගේ හදවත අවසානයේ නැවතී ඇය ජීවිතක්ෂයට පත්වේ. එවිටම සිදුවන්නේ මහා අද්භූත සිද්ධියකි. එනම් එවෙලේම පුපුරා යන අකුණු සැරයක් ගිලී යමින් තිබූ ඇඩ්ලයින් පැදවූ වාහනය මත පතිත වීමයි. ඉන් හටගන්නා මහා ධාරිතාවයකින් යුතු විදුලියක් වාහනයටද ඒ හරහා ඇයගේ ශරීරයටද කාන්දු වී ඇයගේ හදවත මහා අරුම පුදුම විලසින් නැවතත් ස්පන්දනය වීම ඇරඹේ. මේ මොහොතේ සිදුවූ සිද්ධිදාමයක් සහ ඇයගේ සිරුරේ ඩී.එන්. ඒ. (DNA) අනුවල ඇතිවූ වෙනස් වීමේ ක්‍රියාවලියක්( මෙය 2035 දී සොයා ගන්නා කරුණක් බව හා එය Bowman Principle නමින් හඳුන්වන බව පසුබිම් කථනයෙන් ප්‍රේක්ෂකයාව දැනුවත් කෙරේ.) හේතුවෙන් ඇයගේ සිරුරේ මහා වෙනසක් සිදුවේ. එනම් එදයින් පසු එක මොහොතකින් හෝ ඇය වයසට නොයෑමයි. ඇයගේ වයස , මෙම සිද්ධිය වන විට වූ අවුරුදු 29 යේම නවතින්නේ ඇයව මහා පුදුමයකට හා අසාමාන්‍ය භාවයකට හසුකරලමිනි. 

 

ඉන් පසු ඇයගේ සමකාලීනයන් සාමාන්‍ය අයුරින් වයසට යද්දී ඇය තවමත් නාඹර යොවුන් වියේම පසුවීම සමාජයට ප්‍රශ්නයක් වේ. ඇය උපන් වසර හා ඇයගේ තරුණ පෙනුම නිසා පොලීසියෙන් පවා ඇයව සැක කරන තත්වයකට පත්වේ. මේ නිසා මේ බැව් තම දියණියට පමණක් දන්වා සිටින ඇඩ්ලයින් තම අනන්‍යතාව වෙනස් කර ගනිමින් , පදිංචි ස්ථාන හා ප්‍රදේශ මාරු කරමින් අප්‍රසිද්ධියේ හුදෙකලාවම ජීවත් වීම අරඹයි. ඇය කිසිවෙකුටත් ලං නොවී සිටීමට හා තම නියම නම නොකීමට වගබලා ගන්නට යොමුවන අතර සුරතල් බල්ලකු සමඟ පමණක් ගෙවන දිවියකට මහා අවාසනා වන්ත ලෙස යොමු වෙයි. දැන් මෙම කතාව, සිනමා පටයේ ආරම්භක දර්ශනය සමඟ සම්බන්ධවීම ප්‍රේක්ෂකයාට වැටහේ. එනම් ඇය ව්‍යාජ හැදුනුම්පත් සහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන වෙනත් නමකින් අප්‍රසිද්ධියේ වෙසෙන බවයි.

 

ඇයට මේ වනවිට සිටින මිතුරිය අන්ධ ස්ත්‍රියක් වන අතර ඇය මැඳි වයසේ පසුවන්නීය. දෑස් නොපෙනෙන ඇය සිතා සිටින්නේ ඇඩ්ලයින් එසේත් නැතිනම් ජෙනී ඇයගේම වයසේ කියාය. 

 

මෙසේ කාලය ගත වෙද්දී එක්තරා වසරක් අවසානයේ පවත්වන නව අවුරුදු සාදයකදී නැවතත් ඇඩලයින්ගේ දිවිය වෙනස්වන හමු වීමක් සිදුවේ. එනම්, එහිදී කඩවසම් නව යොවුන් එලිස් ජෝන්ස් ( Michiel Huisman) නම් තරුණයෙකුගේ අනඟි නෙත් හී පහරට ලක් වීමයි. ඔවුන්ගේ දෑස් එකිනෙක ගැටෙන නිමේෂය අතිශය ශුංගාරාත්මකය. ආදරණීය. කෙසේ හෝ මෙම තරුණ එලිස් බොහෝ වෑයම් කොට( ඒ සඳහා ඔහු යොදා ගන්නා වදන් ක්‍රියාවන් හා මායම් හදවත පුබුදුවාලන සුළුය) ඇයගේ සිත දිනා ගැනීමට සමත් වන අතර අවසානයේ දිනයක රාත්‍රී කෑමකට ඔහුගේ නිවසටද ඇරයුම් කිරීම දක්වා සම්බන්ධය වර්ධනය කර ගැනීමට ඔහු සමත් වෙයි.

 

එදා රාත්‍රියේ ටැක්සියකින් ඇඩ්ලයින් එහි යයි. ඊළඟ දර්ශන පෙළින් අධ්‍යක්ෂකවරයා අපව ගෙන යන්නේ  මලවි කරලියකටය. අනංගයාගේ පෙම් රඟමඩලකටය. එනම් ඉටි පන්දම් වල ප්‍රේමාතුර මඳ එළියෙන් ආලෝකමත් වූ අඩ අඳුරේ ගිලී ගිය විසිත්ත කාමරය. පසුබිමින් සිහින් හඬින් ඇසෙන ප්‍රේමාන්විත ජෑස් සංගීත රාවය. රතු වයින් වීදුරුව. ප්‍රේමනීය හැඟුමන් කුල්මත්වීමට මීටත් වඩා සුදුසු පරිසරයක් මිහිපිට වේද? එයටම ආසක්ත වූ නව යොවුන් පෙම්වතුන් යුවළ. රතු වයින් මතින් අඩවන්වූ ඇයගේ සරාගී දෑස්. වයින් මෙන් රතු වූ ලේ පිරි ශුංගාරය වෑහෙන ඇයගේ දෙතොල්. මෙයනම් මලවි කරලියක් මැයි ප්‍රේක්ෂකයාට සිතේ. 

 

එදා ඒ සුන්දර රාත්‍රියේ ඔවුන් ගතින් හා සිතින් එක් වූවත් ඇඩ්ලයින් ඇය තුළ ඇති අසාමාන්‍ය තත්වය නිසා ඔහුගෙන් මිදී පලා යාමට ඇය පෙලඹේ. එහෙත් අවසන ඒ වනවිට හැටවන වියේ පමණ පසුවන ඇයගේ වයෝවෘධ දියණියගේ ඇවටිල්ල මත ඔහු හා සම්බන්ධය දිඟටම ගෙනයාමට ඇය තීරණය කරයි. මීට පෙර ඇයගේ වර්තමාන සුනඛ මිතුරාද දිවිය හැර යයි. එයින්‍ පසු ඇයගේ පැරණි ෆොටෝ ඇල්බමයක් මඟින් එතෙක් කාලයක් ඇය සමඟ වුන්‍ සුනඛයන් සංඛ්‍යාව ගැන ප්‍රේක්ෂකයාට ඉඟි කෙරේ. එවකට වසර 80 ක් පමණ වූ ඇයගේ හරි වයස හා සසඳන කළ එය සුනඛ වයසින් ගතහොත් වසර 560ක් පමණ වන හෙයින් මේ කාලය තුළ ඇය සුනඛයන් කී දෙනෙකුගේ නම්‍ වියෝවන්ට මුහුණ දී ඇතිදැයි යන්න අපට පසක් කර දෙයි.

 

එලිස්, ඇඩලයින්ට එසේත් නැතිනම් එලිස් හඳුනාගත් අන්දමට ජෙනීට එම සති අන්තයේ ඔහුගේ මව්පියන්ගේ නිවසේ පැවැත්වෙන දෙමාපියන්ගේ 40 වැනි විවාහ සංවත්සරයට තමන් සමඟ සහභාගී වන ලෙස ඇරයුම් කරයි. එයට එකඟ වන ඇය ඔහුත් සමඟ එහි යයි. එහිදී එලිස්ගේ පියා විලියම් ජෝන්ස්( Harrison Ford) හමු වීමත් එයින් අනාවරණය වන අතීත සිද්ධිදාමයත් තුළින් සිනමාපටයේ දෙවන භාගය අපව නොසිතූ විරෑ ඉසව්වකට  රැගෙන යයි.   ( ඇය හමුවන අවස්ථාව හැරිසන් ෆෝඩ් රඟපෑ විශිෂ්ඨ විලාසය බොහෝ කලකට පසු ඔහුගෙන් මතුවූ අනර්ඝම රංගනයක් බව විචාරකයන්ගේ මතයයි. ඒ මොහොතේ පසු බිමින් වැයෙන සංගීතය ඒ අවස්ථාවට ඉතාමත්ම උචිතය. )

 

 ඉන්පසු සිද්ධවන සියල්ලම කියා ඔබගේ රස වින්ඳනයට බාධා කිරීමට මම අදහස් නොකරමි. ඒ නිසා ඒ කොටස ඔබට නරඹා වටහා ගන්නට ඉතිරි කරමින් මම සිනමාපටයේ අවසාන ජවනිකාවේ දෙබසකට පමණක් ඔබගේ අවධානය දැන් යොමු කරමි. එම ජවනිකාවේ දී උත්සවයකට යාමට සුදානම් වී එලිස් , ඇඩ්ලයින් මදක් සුනංගු නිසා " Are you all right Adaline" එසේත් නැතිනම් " ඔබ හොඳින්ද ඇඩ්ලයින් " කියා විමසයි. එයට ඇය ඉතාමත්ම ප්‍රීතියෙන් දෙන පිළිතුර වන්නේ එක වචනයකි. එනම් " Perfect!" " සර්ව සම්පූර්ණයි" යන්නයි. මෙම පිළිතුරට යටින් ඇති විසල් අදහස සිනමාපටය නරඹාම ඔබට වටහා ගන්නට ඉඩ හසර සලසමින් ඇඩලයින් බෝමන්ගේ කතාව මම මෙතකින් අවසන් කරමි. ඊට මත්තෙන් මට මේ වදන් කිහිපය ලියන්නට අවසර. 

 

එනම් වයසට නොයා හැමදාම තිරිහන් වී සිටීමට අප, විශේෂයෙන්ම කාන්තා පක්ෂය කෙතරම් නම් ප්‍රිය කරත්ද? හිසෙහි නර කෙස් ගසක් දැකීමෙන් හෝ මුහුණේ යන්තම් මතු වී එන රැල්ලක් දැකීමෙන් හෝ  අප කෙතරම් නම් විස්සෝප වෙනවාද? එහෙත් ඇඩලයින්ට වූවාක් මෙන් අප වටා සිටින අය වයසට යද්දී, අපේ දරුවන් හා අපේ ආදරණීයයන් අප පසුකර වයසට ගොස් අපෙන් වියෝ වද්දී කෙලෙස නම් වයසට නොයා තනිවම අප හිඳින්නද? ඔබට ලෝකයෙන්ම හුදෙකලා වූවාක් මෙන් දැනෙනවා නොවේද? අපට සොබා දහමින් තොර දිවියක් නැත. මට මේ අවස්ථාවේ අපේ පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින්වහන්සේ ලියූ ගීයක කොටසක් මතක්‍ වේ. " සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ". දිවියේ සදාකාලික සත්‍ය නම් එයයි. 

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Standard (Image)