Skip to main content
film

 

ගණනින් විශාල ප්‍රමාණයක්  සිනමාපට නිර්මාණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම නිර්මාණය බිම්බා දේවි හෙවත් යශෝධරා ය. එය දින 100 සම්පූර්ණ කරන්නට ඇත්තේ තව දින කිහිපයකි. කලා සංස්කෘතික කතිකාවේ සුනිල් ආරියරත්න පරම්පරාවේ පිරිස මේ සිනමාපටය ගැන කතා කළෝ මහත් ආහ්ලාදජනක හැඟීමෙනි. ඒ අතරිනුත් මහාචාර්ය සමන්ත හේරත් විසින් දක්වන ලද අදහස සමාජ මාධ්‍යවල පවා කතිකාවක් ඇති කරන්නට සමත් විය. එපමණක් නොව, කඨෝර විවේචනයම මූලික කොට ගෙන නූතන කෘති අරභයා අදහස් දක්වන ප්‍රවීණ  සාහිත්‍යධර ගුණදාස අමරසේකර පවා මේ අගයා අදහස් පළ කැර තිබිණි. මෙය ‘‘ අති රමණීය විශිෂ්ඨ සිනමා කාව්‍යයක්’’ බව ඔහු කොහේදෝ කියා තිබුණි.

 

කණගාටුවෙන් වුවත් කියන්නට සිදුව ඇත්තේ අප නැරඹූ ‘බිම්බා දේවී හෙවත් යශෝධරා’ නම් එහෙම එකක් නොවන බව ය. ඉතාම හදිසියකින් මෙන් සාදා නිම කර ඇති මෙය පැය දෙකක් පුරා බලා ඉන්නට සිදුවීම මහත් වෙහෙසකර කටයුත්තක් පමණකි.

 

ඉතිහාස කථා පුවතක්, ආගමික කථා පුවතක් හෝ ජාතිය සම්බන්ධ කථා පුවතක් තේමාව කරගැනීම වෙළඳපොළ අතින් සාර්ථක වුවත් එය නිර්මාණාත්මකව නිම කිරීම පහසු කටයුත්තක් නොවේ. ලොව පුරා විවිධ සිනමා සංස්කෘතීන්හි එවැනි කථා පුවත් නිර්මාණය කිරීම ද දුලබ නොවේ. සමහර මනස්කාල්පනික කථා වස්තූන් පවා සිනමා කෘතිවලට විෂය වෙයි. 

බොහෝ දුරට පෙර සඳහන් කළ ආකාරයේ කථා වස්තූන් සිනමාවට නැගිය හැකි ප‍්‍රධාන ආකාර දෙකක් තිබේ. එකක් නම්, මහා සිනමා කෘතියක් ලෙසින් එය නිර්මාණය කිරීමයි. ‘බෙන්හර්’, ‘ස්පාර්ටකස්’, ‘ට්‍රෝයි’, ‘ග්ලැඩියේටර්’, ‘පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට් ’ වැනි කෘති බටහිරින් ද ‘අශෝක්’ ‘ජෝදා අක්බර්’, ‘පද්මාවත්’ වැනි කෘති පෙරදිගින් ද උදාහරණයට ගත හැකි ය. එසේ නැත්නම් එකී ඉතිහාස, ආගමික කථා වස්තුවෙන් එක් කොටසක් ගෙන එය සෞන්දර්යාත්මක සිනමාපටයක් දක්වා විදාරණය කළ හැකි ය. ජේම්ස් කැමරන්ගේ ‘ටයිටැනික්’ සිනමාපටය සලකා බලන්නේ නම් ඛේදවාචී ඉතිහාස කථාවක පසුබිමේ එකී ඛේදවාචකය වෙනත් සෞන්දර්යවාදී ඇසකින් විදාරණය කරනු දකිත හැකිය. යශෝධරාවගේ ‘බුද්ධ පතිවෘතාව ’ අනුපිළිවෙලින් නොකියා සිදුවීමකින් එය සිනමාත්මකව ගොඩනැංවිය නොහැකි ද?

 

මහා සිනමාකෘතියක් නිර්මාණය කිරීම විසල් ධන යෙදවුමක් සේ ම විසල් පර්යේෂණාත්මක සේ ම කලාත්මක කටයුත්තකි. දැවැන්ත පසුතල, අප්‍රමාණය  සහය නළු-නිළියන්, රසිකයන්ගේ මනස්කාල්පනික බිඳ නොදැමෙන පරිදි කරන්නා වූ ගොඩ නැංවීම් ඒ අතර ප්‍රධාන  ය. රංගනය ඊට නොදෙවෙනි විය යුතු ය. එය මහත් අභියෝගයකි. එවන් අභියෝගයක් සාර්ථකව ජය ගැනීම කෙළෙස ද යන්න ‘පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්’ නරඹා වටහා ගත හැකි ය.

 

ලංකාවේ මේ මහා සිනමාවේ පියා ජැක්සන් ඇන්තනි ය. ‘අබා’ මහා සිනමාපටයක මට්ටම ළගා නොවුණත් ජාම බේරාගත් බව අපේ හැ`ගීම වෙයි. ඒ අතින් අපි ජැක්සන් වෙත කෘතඥ විය යුතු ය.

 

‘යශෝධරා’ උත්සාහ කරන්නේ මේ මහා සිනමා කෘති පෙදෙස ස්පර්ශ කරන්නටයි. එය අන්තිම අසාර්ථකයි. මහා සිනමාකෘතියකට අලගු තියන්නටවත් බැරි මට්ටමේ පසුතල නිර්මාණය. සුද්ධෝදන රජ මාළිගය අතිශය දුප්පත්ය. බණ කතා කියවා මනස්රූප මවාගෙන සිටින උවැසියක් මේ දුටුවේ නම් කම්පාවෙන් භාන්ත්‍ර  වනු ඇත. එකින් එක පවසන්නේ නම් නැතක් උදාහරණ ගෙන හැර පෑ හැකිය. සිදුහත් කුමරුගේ ශිල්ප දැක්වීමේ අවස්ථාව යනු කුඩාවුන්ගේ පවා පරිකල්පනයේ ඉහළම තැනක ඇති සිදුවීමකි. එය මොනතරම් සරලමතික සහ ඕලාරික කර තිබේදැයි කිවහොත් ඕක්කාරය දනවන සුළුය. අසිත තවුසා නියත විවරණ ලැබීම, ස්වයංවරය වැනි සිදුවීම් සේ ම අති ප්‍රබල  ලෙස ගොඩ නැංවිය යුතු සහ ගොඩ නැංවිය හැකි නළ`ගනන්ගේ විකාර වැනි අවස්ථා පාසල් නාට්‍යයකින් ඔබ්බට යන්නේ නොවේ. රජ මාළිගය සහ එහි වට අවට ගැන ත්‍රිමාණ  සැලැස්මක් සහිතව කථා කරන කමල් දේශප්‍රිය  (සුප්‍රබුද්ධ  චරිතයට පිවිසෙන්නට සිතාවත් නැති) සිටින දර්ශනයේ එකී සැලැස්ම ගොඩ නගා ඇත්තේ ඔවුන් පසුතල නිර්මාණය කර ඇති පමණට සමානව ම බව පෙනේ. එයින් පවා පෙනී යන්නේ දුප්පත්කමයි. අඩු තරමේ සැලැස්මවත් සංකීර්ණ රජමාළිගා පරිශ්‍රයක  අයුරින් ගොඩ නගන්නට කල්පනා නොකිරීම දුක්බරය.

 

මෙවන් සිනමාකෘතියක දෙබස් මහත් වැදගත්කමක් දරන්නේ වුව ද මෙහි දෙබස් පාසලේ බුද්ධ ධර්මය පෙළ පොතකින් එහාට යන්නට සමත් වන්නේ නැත. තමන් අහවලාය යන්න කියැවෙන පරිදි දෙබස් ලියැවී ඇත්තේ විසිළුසහගත ලෙස ය. ‘උඹේ බොරුවලට මේ සුජාතා සිටු දුව නම් රවටන්නට බැහැ’ කියමින් සුජාතා කිරිපිඬු රැගෙන යන්නීය. සිදුහත් මහලු බව දකින අවස්ථාවේ සිය වයෝවෘද්ධභාවය ගැන සිදුහත්ට විස්තර කරන්නේ සිදුහත් ගැන සියල්ල දන්නා අයවලුන් ලෙසය. සියලූ දෙබස්වලින් පෙනී යන්නේ රචකයා දෙබස් රචනය කෙරෙහි දක්වා ඇති අඩු සැලකිල්ල හෝ වැඬේ ඉක්මනින් අවසන් කරන්නට තිබූ හදිසියයි.

නළු-නිළි වරණය සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා ප්‍රසිද්ධියේ  පළ කළ අදහස් පසුගිය කාලයේ විවාදාපන්න විය. සිදුහත්-යශෝදරා චරිතද්වය සඳහා චරිතවත් අයවලුන් ගන්නෙමැයි කළ අමනෝඥ ප‍්‍රකාශය තරයේ හෙළාදැකිය යුත්තක් බව අපගේ විශ්වාසය වෙයි. කොයි හැටි වෙතත් එසේ චරිතවත් බව පවා සලකා තෝරා ගත් අතිබහුතරය නොකරන එකම දේ නම් රඟපෑමයි. අසිත තවුසා වෙනුවට මතුවන්නේ වෙළෙඳ දැන්වීම්වල සිටින විල්සන් ගුණරත්නයි. චරිතවත් බව තිබුණා හෝ නොතිබුණා සිදුහත් චරිතයට සාධාරණය ඉටු කරන්නට නළුවා සමත් නොවෙයි. යශෝධරාවගේ චරිතය රඟන්නී පූජා උමාංශකර්ගේ සමහර රංගනයන්වත් ඉක්මවන්නේ නොවේ. ඡන්න ඇමැති ෂම්මු කසුන් යම් පමණක අගය කළ හැකි තැනක සිටී. සුද්ධෝදන ලෙස අජිත් වීරසිංහගේ රංගනය ද වරදක් නැත.

 

තුමිඳු දොඩම්තැන්න නම් දක්ෂ නළුවාට කර ඇති විනාසය නම් හිත්කම්පා කරවන සුළුය. කවුරුත් දන්නා බුද්ධචරිතය කතාවේ සිදුවීම් ගැටගසාගන්නට කාව්‍යක්කාරයා ලෙස දක්වා ඇති චරිතය රඟන තුමිඳු කාව්‍යයක්කාරයෙක් නොව විසිළුකාරයෙක් බවට පත් කර තිබේ. චරිතයේ පෙනුමට කිසිසේත් නොසරිලන වෘද්ධ හඬකින් ඔහු කරන ගායනය විකාරසහගත කර තිබේ.

 

ඒ අතර විශේෂයෙන් සඳහන් කළ යුතු රංගනයක් ලෙස දෙව්දත් ලෙස රඟන දිනෙත් ද සිල්වා ගැන සටහන් කර තැබිය යුතුය. කෙතරම් දුර්වල පිටපතක් වුව ද තම කොටස ඉටු කරන මේ නවක නළුවා අනාගත සිනමාවේ බලාපොරොත්තුවක් විය හැකි බව පෙනී යයි. සිනමාපටයේ පැනෙන එක ම මතකයේ රැඳෙන රංගනය ඔහුගේ බව කිව යුතුය. 

‘යශෝධරා’හි සිනමාරූප කෙරේ ද දක්වා ඇත්තේ මඳ සැලකිල්ලකි.

 

සිත්ගන්නා සුළු කැමරා හැසිරවීම් දුර්ලභය. සුජාතාවගේ කිරිපිඬු දානය සහ මහමායාවගේ චිතකය අස දර්ශනයත් මළමිනියක් ගෙන යන දර්ශනයේ අග්ගිස්සේ යාන්තමට සටහන්ව ඇති කුඩාවුන් දෙදෙනා යමක් අහුලා කමින් යන දර්ශනයත් හැරෙන්නට එවන් දර්ශන වේ නම් ඉතා කුඩා ප්‍රමාණයක් විය යුතුය.

 

බුද්ධෝත්පත්තිය සිදුවන අවස්ථාවේ මාර පරාජය දැක්වෙන දෘෂ්‍ය ප්‍රයෝග  හොඳින් නිමවා තිබේ. අදාළ මොහොත ප්‍රේක්ෂාව  වෙත දනවන්නට එකී ප්‍රයෝගයන්  සමත් වෙයි.

 

සමස්තයක් ලෙස ගත් කල ‘බිම්බාදේවි හෙවත් යශෝධරා’ අන්තිම අසාර්ථක සිනමාපටයකි. අප පෙර සඳහන් කළ ආකාරයට මහා සිනමාකෘතියක් ගොඩ නගන්නට එය අසමත් වනවා සේම වස්තු බීජයක් ගෙන එය වෙනත් ම අයුරකින් ගොඩ නංවන්නට ද එය අසමත් වෙයි. සාහිත්‍යයෙහි එවන් ගොඩ නැංවීමකට උදාහරණයක් ලෙස සුනිල් ආරියරත්න ද නන්දා මාලිනී යොදවා ගායනා කරවමින් චිත‍්‍රපටයට මුක්කුවක් ගසන්නට යොදාගෙන ඇති ‘යසෝදරාවත’ කවි සරණිය දැක්විය හැකි ය. ජනකවියා විසින් කිසිදු සාටෝපයකින් තොරව සිය නිර්මල දැක්ම අනුව ගොඩ නංවා ඇති ‘යසෝදරාවත’ අනුභූති පුංජය පමණක් යොදා ස්වාධීනව ගොඩ නැගූ විශිෂ්ඨ නිර්මාණයකි.

 

චීන වෙසක් කූඩු මෙතරම් ප්‍රචලිත වන්න පෙර මෙරට වෙසක් සමය සැරසූ එළිය පෙට්ටි නම් විශේෂයක් වෙයි. ඒවා ඇතුළතින් පහනක් දැල්වූ මුහුණතේ චිත්‍රයක්  ඇලවූ එකකි. බුද්ධ චරිතය, සත් සතිය ආදී සිදුවීම් අනුපිළිවෙලින් ඒවායේ දැක්විණි. කවුරුත් දන්නා අනුපිළිවෙලට බුද්ධ චරිතයේ යශෝධරා කොටස දුර්වල ලෙස නිර්මාණය කර ඇති සුනිල් ආරියරත්නගේ ‘බිම්බා දේවි හෙවත් යශෝධරා’ සිනමාපටය එළිය පෙට්ටිවලින් එහාට යන්නේ නැත. මහචාර්ය යශෝරාවයත්, මිත්‍ර  සන්ථවයත්, මහත් වූ බොදු ජන වෙළඳපළ සහ පාසල්වල පෙන්වීමට කර ඇති නිර්දේශය නිසාවෙන් ආදායම් අතින් නම් එය සාර්ථක විය හැකි වුවත් සිංහල සිනමාව විෂයෙහි එයින් ලැබෙන මහලොකු දෙයක් නැත.

 

උපුටාගැනීම :    සඳුන් ප්‍රියංකර  විතානගේ  /  ඇත්ත පුවත්පතට ලිපියකි

Standard (Image)