Skip to main content
sanath

 

 

 ඒ හැත්තෑවේ දශකයේ අගභාගයයි. හරියටම දිනය මතක නැතත් එදා අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමා ශාලාවට ගොස් මා නැරඹූ සිනමා පටයේ නම නම් හදවත පතුලේම තැන්පත් වී ඇත. ඒ එකල අති මහත් ජනප්‍රියතාවයකට පත් වූ "දුලීකා" යි.

 

චිත්‍රපටයේ කතාව මට අද හරියටම මතක නැතත් එහි තිබූ අමරණීය ගීත 2ක් නම් මේ දැන් අහනවා මෙන් මට මතක් කළ හැක. ඉන් එක් ගීයක් වූයේ එච් ආර් ජෝතිපාලයන් ගැයූ " ආදර මල් පවනේ" ගීතයයි. අනෙක නම් සංගීත් නිපුන් මහාචාර්‍ය සනත් නන්දසිරි සූරීන් ගයන " ශීත රෑ යාමේ අඳුරේ" නම්වූ ගීතයයි. ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ මෙම ගීත ද්විත්වයම රචනා කළේ එකම ගීත රචකයෙකි. එතුමා නම් ධර්මසිරි ගමගේ සූරීන්ය. සිනමාපටයේ මෙම ගීතයනට රංගනයෙන් ජීවය කැව්වේ විජය කුමාරතුංගයන්ය. චිත්‍රපටය නිර්මාණය කළේ කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා සූරීන්ය. මෙම නිර්මාණට දායක වූ මා ඉහත නම් සඳහන් කළ සියලූම කලාකරුවන්ගෙන් සනත් නන්දසිරි සූරීන් හැර ඉතිරි සියල්ලෝම අද වනවිට නිර්මාණය පමණක් ඉතිරි කොට අප හැර ගොසිනි.

 

මේ එවැනි නිර්මාණකාරයන් මෙලොව නැති එහෙත් කිසිදා නොමියෙන නිර්මාණ ගොන්නකින් එක් නිදසුනක් පමණි. ඒ අමරණීය නිර්මාණ බිහිකළ අප අතර නැති කලාකරුවන් ඇගැයීමට අප දැන් ප්‍රමාද වැඩිය. එහෙයින් ජීවත්ව සිටින සනත් නන්දසිරි සූරීන්ව අප ඇගැයිය යුතුය. උපහාරයට පාත්‍ර කළ යුතුය. මේ එතුමන් දායක වූ එක වැඩක් පමණි.තව කතා කළ යුතු එතුමන් කළ වැඩ රාශියකි. ඒ නිසා මේ ලිපිය එතුමන් වෙනුවෙනි. ලංකාවේ සිංහල සංගීත වංශකථාවේ ආනන්ද සමරකෝන් හා සුනිල් සාන්තයන්ට පසුව සංගීතයේ සක්විති රජ කෙනෙකු බිහි විය. ඒ දිවංගත පණ්ඩිත් අමරදේව සූරීන්ය. ඊට මදක් පහළින් එකිනෙකාට සම තත්වයෙහි තැබිය හැකි යුව රජුන් දෙපළක් පහළ වූයේ මේ සක්විති රජු සෙවණෙහිය. ඔවුන් නම් ආචාර්‍ය වික්ටර් රත්නායකයන් සමඟ අපේ කතා නායකයා, මහාචාර්‍ය සනත් නන්දසිරි සූරීන්ය. එකල අතිශය ජනප්‍රිය වූ, සිංහල ගීතය නව ආරකට ගෙන ගිය " සිහින් සුළං රැල්ලේ" ගයමින් වික්ටර් රත්නායකයන්‍ ජනප්‍රියතාවයේ හිණි පෙත්තටම නැංඟ අතර ඊට නොදෙවිනි " ඇවුළුණු ගිනි දැල් නිවි නිවි යද්දී " ගීතය ගයමින් සනත් නන්දසිරි සූරීන්ද ඒ සමානම ජනප්‍රියතාවයකට හා රසික ප්‍රසාදයකට පාත්‍ර විය. දෙදෙනාම එක ලෙසම සංගීත කරලියේ පිනුම් ගැසුවත්, එකසේම දක්ෂයන් වුවත් වික්ටර් රත්නායකයන්ගේ ප්‍රතිභාව හමුවේ සනත් නන්දසිරි සූරීන්ගේ බැබළීම මඳක් පසුගාමී වූවාදැයි මට සිතේ. වික්ටර් රත්නායකයන් ගේ " ස" ප්‍රසංගය තරමටම මිනිසුන්, විශේෂයෙන්‍ම විචාරකයින් සනතුන්ගේ " ස්වර්ණ කුණ්ඩල" ප්‍රසංගය ගැන කතා නොකළේ මන්ද යන්න පිළිතුරක් නොමැති පැනයකි.

 

ඉතා ශූර තබ්ලා වාදකයකු වශයෙන් තම සංගීත දිවිය ඇරඹි සනත් නන්දසිරි සූරීන් අමරදේවයන්ගෙන් බොහෝ දේ උගත්තේය. ඉන් පසු ඉන්දියාවේ ලක්නව් නුවර ශාන්ති නිකේතනයට ගොස් තම හැකියාවන්‍ වැඩි දියුණු කොට ගායනයෙන් හ වාදනයෙන් අගතැන්පත් වී විශාරදයෙකු බවට පත් විය. පෙරළා ලංකාවට පැමිණි එතුමන් එතැන් සිට වැඩ පටන් ගත්තේය. තමන් උගත් රාගයන් තමන් උපතින්ම ගෙනා ප්‍රතිභාවෙන් ඔප මට්ටම් කර , සතත අභ්‍යාසයෙන් පණ පොවා ව්‍යුත්පත්තිය ලෙස රසික ප්‍රජාවට මුදා හලේ තවත් මහා ගාන්ධර්වයෙකුගේ දෙවැනි උපත ලක් මාතාවට උදාකර දෙමිනි. තමා ගැයූ සමහර ගීත වලට තමන්ම තනුව නිර්මාණය කර ගත් එතුමා කිසිඳු ලෝබකමක් නැතිව අමරණීය තනු, තම සහෘද ගායගයන්ටද තනා දුන්නේය. එපමණක් නොව ඉතාමත්ම නිහතමානීව අනෙක් සංගීතඥයන්ගේ තනු වලටද ගීත ගායනා කළේය. තමන් මහා විසල් , සම්භාව්‍ය සංගීතඥකයෙකු යැයි සිතා පුහු මාන්නයෙන් හිස උඳුම්මා නොගත් මෙතුමා එළිමහන් වේදිකාවේද ගීත ගායනා කරමින් තම රසිකයන් පිනවීය. මහා පොළොවේ පය ගසා ඔවුන් අතරට ගියේය. සනතුන්ගේ ගීතාවලිය ඉතා සියුම්ව අධ්‍යයනය කළහොත් ඔබට එය හැම ආරයකම ගීතයන්ගෙන් සමන්විත බව වැටහී යනු ඇත. ශාස්ත්‍රීය ගීත, අර්ධ ශාස්ත්‍රීය ගීත හා සරල ගීත එතුමන් ගැයීය. එතුමන්ගේ සරල ගීත ගොන්න වේග රිද්මයේ ගීත, විරහ ගීත, ආදර ගීත, දේශාභිමානී ගීත හා බොඳු බැති ගීත වලින් පෝෂිත විය.

 

" ඇවුළුණු ගිනි දැල් නිවි නිවි යද්දී ඈ මට හමු වූවා" යැයි ගැයූ ඔහුම " ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ " යන වේගවත් ගීතයද ගැයීය. මට " ඇවුලනු ගිනි දැල් නිවි නිවි යද්දී" ගීතය ගැන සඳහන් කිරීමේදී මා එකල කියවූ චිත්‍ර කතා පත්තරයක පළවූ විකට කාටූනයක්ද මතකයට එයි. එය ඔබගෙ හුදු රසාස්වාදය සඳහා මෙහි සඳහන් කරමි. එයින් මෙම විශිෂ්ට ගීතයට අබමල් රේණුවක තරමින් හෝ නිග්‍රහයක් කිරීම මගේ තුන්හිතකවත් නැති බව මුලින්ම ප්‍රකාශ කරන්නටද කැමැත්තෙමි. ඒ කාටූනය මෙසේය. තරුණයෙකු ගීයක් මුමුණමින් සිටී. ඔහු මුමුනන්නේ " ඇවුළුණු ගිනි දැල් නිවි නිවි යද්දී" යන ඉතා ජනප්‍රිය ගීතයයි.ඔහුගේ සීයා මෙයට ඇහුම් කන් දී කොල්ලා දෙස බලා මෙසේ පවසයි. " ආ.. ඒ ගමන උඹ පිච්චිච්ච එකියක් අල්ලා ගත්තද?" බලන්න කාටූන් ශිල්පියාගේ ප්‍රතිභාව. එකල අතිශය ජනප්‍රිය වූ ගීතයක් යොදාගෙන ඔහු අහිංසකව, කියවන්නාගේ මුවඟට සිනහවක් නැංවීය. මට මෙතුමන් ගැයූ ගීත අතුරින් දෑසින් කඳුළක් නොහෙළා සවන් දිය නොහැකි එක් ගීතයක් ඇත. එය නිමල් ජයශාන්ත නම්වූ ඒ අප්‍රකට ගේයපද රචකයා විසින් රචිත , ඔහුගේ එකම ගීතය වූ " එදා මෙදා තුර කඳුළට විවරවු" ගීතයයි. එය ගයමින් එතුමන් මුළු රසික ප්‍රජාවම හැඬෙව්වත් , අද කාලයේ සමහර ගායකයන්මෙන් හොටු පෙරාගෙන, නහර පුම්බාගෙන නාහෙන් හැඬුවේ නැත.

 

ඒ ගාම්භීර කට හඬින්ම භාවාත්මකව ගීය ගයා අප හැඬවීය. " මම නම් ආසයි අහන්න නයනා", ".මා හද අසපුව", " මේ ප්‍රථම වසන්තයයි", " හිච්චි නඟේ", " මුළු ලොව මගෙන් අසාවී", " විකසිත වත කමලේ", " ශීත රෑ වසන්තෙ", " ඈත එපිට ගම්මානෙන් නැඟ එන", "එක යායට මල් පීදුණු බිම් තීරේ", " ආදර සැමරුම්", " වාසනා වේවා ", " පෙමාතුර හැඟුම්", " දේදුන්නෙන් එන", " සඳලු තලේ හිඳ", " ආදරේ නෑ ආදරේ කවුරුවත් නෑ ආදරේ"," දිනෙන් දින", " සමුගන්නදෝ ආයෙ හමුවන්නදෝ", "මහද පෙම් විලේ", කිසිවක් නොකියන", " මහද වීණා", " තුන් මං හන්දිය", " ඇගෙ සුවඳ පිරුණු පුංචි කාමරෙ", " වරඳක් කළත් සිතකින් නොවේ", " ගීතා දයාබර ගීතා" , " දඟකාර ඔය දෑස දුටුවා එදා" වැනි අතිශය ජනප්‍රිය ප්‍රේම ගීත මෙන්ම මා ඉහත සඳහන් කළ දුලීකා චිත්‍රපටයට ගැයූ " ශීත රෑ යමේ අඳුරෙ" ගීතය, විස්මය චිත්‍රපටයට ගැයූ " ලස්සන නම් නෑ පෙනෙන්නේ", ධර්මසේන පතිරාජයන්ගේ " අහස් ගව්ව" චිත්‍රපටයට ගැයූ " එන්න මගේ ප්‍රිය මිතුරෝ" ගීතය ඇතුළු බෙහෝ ගීත ගණනාවක්ම එතුමන් ගායනා කළේය. සංගීතවත් කළේය. පංඩිත් අමරදේවයන් ගැයූ , කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ලියූ " මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා" සංගීතවත් කළේද සනත් නන්දසිරි සූරීන්ය. එතුමා සංගීතවත් කොට වෙනත් ගායකයන් ගයන ගීතද බොහෝය. එපමණක්ද එතුමන් ගයන " බෝ මුළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ" නම්වූ කුඩා සාමණේර නමක ගැන කියැවෙන ගීතය අතිශය සංවේදීය. කෙනෙකුගේ නෙතට කඳුළක් නංවන්නේ නිරායාසයෙනි.

 

එතුමන් උගත් දෙයින් නිර්මාණ කිරීමට අමතරව එය කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව අන් අයටද බෙදා දෙන දිසාපාමොක්වරයෙකුද වූ මෙතුමන් අද සංගීත ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නංවන බෙහෝ ජනප්‍රිය සංගීතවේදීන් හා ගායකයින් රාශියකගේ ශාස්ත්‍රීය ගායනය හා වාදනය ඉගැන්වූ ගුරුතුමාය. සිය එකම දියණිය වූ අනුරාධාද තමන් ගිය මඟේම යැවූ එතුමන් , ඇය රටට හා සිංහල සංගීත ක්ෂේත්‍රයට දායද වූ තවත් මිණිකැටයක් බවට පත් කළේය. එතුමන් අනුරාධා දියණිය උපන් අවස්ථාවේ තම අතිජාත මිත්‍ර බුද්ධදාස ගලප්පත්ති සූරීන්ට කියා ලියවා ගත් " දූ අනුරාධා " ගීතය එදා මෙදා තුර එකලෙසම ප්‍රසිදිදය. එතුමන් මහා ගාන්ධර්වයකු පමණක් නොව ආදර්ශමත් පුරවැසියෙකි. කාරුණික ගුරුවරයෙකි. දයාබර සැමියෙකි. මේ සියල්ලටම වඩා ඉතාමත්ම සංවේදී ආදරණීය පියෙකි. නිහතමානි මානුෂීය ගුණ සපිරි යහපත් මිනිසෙකි. එතුමන්ගේ මානුෂීය ගුණය පතල වූ එක් උදාහරණයක් එතුමන් විසින්ම ප්‍රකාශ කරනු පසුගියදා මට අසන්නට ලැබුණි.

 

ඒ මීට වසර ගණනාවකට පෙරය. එච් ආර් ජෝතිපාලයන් ජනප්‍රියතාවයේ හිනිපෙත්තේම සිටි කාලයයි. දිනක් කොහේදෝ පළාතක පැවති ප්‍රසංග වේදිකාවක ගීත ගයන්නට අපගේ කතා නායක සනත් නන්දසිරි සූරීන් ගොස් සිටි අතර එතුමන්ට පෙර ගීත ගායනයට සැරසී සිටියේ අති මහත් ජනප්‍රියතාවයක් ඉසිලු ජෝති පාලයන්ය.ජෝති පාලයන්ට පිටු පසින් සිටි සනතුන්ගේ නෙතට හදිසියේ යමක් අසුවිය. එනම් ජෝතිපාලයන්ගේ කලිසම පසුපසින් ඉරී ගොස් ඇතිබවය. මෙවෙලේ වහාම ක්‍රියාත්මක වූ සනත් නන්දසිරි සූරීන් ජෝතිපාලයන්ට ඒ බව දන්වා ඔහුව වේදිකාව පිටුපසු අඳුරින් පිරි ස්ථානයකට කැඳවාගෙන ගොස් තමන්ගේ කලිසම ගලවා ජෝතිපාලයන්ට දී ඇත. ඔවුන් දෙදෙනාගේම කලිසම් , එකම මිම්මේ තිබීම එදා ජෝතිපාලයන් විඳින්නට ගිය අවමානයෙන් බේරා ගැනීමට දෛවය ඉතාමත්ම කාරුණික වූ අවස්ථාවක් විය. තමන්ගේ කලිසමින් සැරසුණු ජෝතිපාලයන් ගී ගයා එනතුරු අපේ කතා නායකයා සංවිධායයකු සොයා දුන් සරමකින් සැරසී සිටියේලු. ඉන්පසු ගී ගයා අවසන ජෝතිපාලයන් සනතුන්ගේ කලිසම ආපසු දී තමන්ගේ ඉරුනු කලිසම ඇඳගෙන ගෙදර ගියේලු.

 

මේ එක නිදසුනක් පමණි. තවද තමන්ගේ විශ්ව විද්‍යාල සිසුන් , සිසු අරඟල වලදී පොලීසියට ගෙන ගිය අවස්ථාවන්හිදී පොලීසියට ගොස් ඔවුන් බේරා ගැනීමට මුලින්ම කටයුතු කර තිබුණේද මෙතුමන්ය. එතුමන් තමන්ටම ආවේණික වූ පිරිමි හඬින් ගීත ගැයූ අතර ගීයෙන් ගීයට එහි අරථය හොඳින්ම තීර්ව වන ලෙස හා අසන්නාගේ හදවතට තදින්ම දැනෙන ලෙස තම කට හඬේ භාවය වෙනස් කර ගැයීමට එතුමන්ට තිබුණේ සහජ හැකියාවකි. ඉතාම දුක්බර ගීයක් වූ එදා මෙදා තුර ගයද්දී සෝබරිත වූ ඒ හඬ ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ ගයද්දී කඟවේනෙකු මෙන් ජවසම්පන්න විය. බෝ මළුවේ ගීතය ගයද්දී බැතිබරව සංවේදී වූ හඬ මගේ රටට දළඳා හිමි සරණයි ගීතය ගයද්දී දේශාභිමානයෙන් ඔකඳ විය. මම නම් ආසයි අහන්න නයනා වැනි ප්‍රේමය වෑහෙන සුංගාරාත්මක ගීත ගයද්දි පෙමාතුර වූ ඒ හඬ ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතය ගයද්දී අසරණව වේදනාබරිත විය. එතුමන් සතුවූ සුවිශේෂි හැකියාව මෙයයි.

 

මහාචාර්‍ය පදවි, සංගීත නිපුන් නම්බුනාම වලින් පුද ලද මෙතුමන් අද වනවිට සෞදර්‍ය විශ්ව විද්‍යාලයේ කුලපතිතුමන් දක්වාම ඉහළට ගොස් ඇත්තේය. ඒ වෙන කිසිවකුත් නිසා නොව එතුමන් සතු දක්ෂතාවයන් නිසාවෙන්මය. එතුමාගේ ගීත හා සංගීතය පිළිබඳව හැදෑරීමම විශ්ව විද්‍යාලීය පාඨමාලාවක් බඳුය. අපේ පිනට අද දිනයේද එතුමන් ක්‍රියාකාරීව තම සේවය අප රටට , දැයට ලබා දෙමින් කටයුතු කරයි. දිනයක එතුමන්ගේ දියණියද අපට සිටින වටිනා ගායිකාවක වන ලකුණු දැනටමත් පෙන්වා දී හමාරය. එමෙන්ම මෙවැනි ශ්‍රේෂ්ඨ පුරුෂයකුට බිරිඳක්ව ඔහුගේ සෙවනැල්ලමෙන් ළඟ සිටින ගායනවේදිණී මල්කාන්තී නන්දසිරි මහත්මියවද මම මේ මොහොතේ ඉතාමත්ම කෘතවේදීව සිහිපත් කරමි.

 

පසුගියදා පැවති " දූ අනුරාධා" ප්‍රසංගය පිළිබඳ දොරමඬලාව වැඩසටහනේදී එතුමිය ඉතාමත්ම නිරහංකාරව හා අව්‍යාජව පැවසූ වදන් මගේ සිත තදින්ම පැහැර ගැනීමට සමත් විය. ගෙදර ඇතුලත ගිනි ජාලා මවන සමහරු ප්‍රසිද්ධියේ " අනේ අපි අතර කවදාවත් බං බොලං කියාගෙන නෑ . අපි හරියට කිරියි පැණියි වගේ" ය යන බොරු බයිලාවන් නොගයා ඇය ප්‍රායෝගික සත්‍යම කීවාය. එනම් කාටත් පොදු ලෙස ඔවුන් දෙදෙනා අතරත් ඉඳහිට නොහොඳ නෝක්කඩු ඇතිවන බවයි. එහෙත් මේ තාන්න මාන්න කිසිත් නැති එදා, බැඳි ආදරය තවමත් එලෙසින්ම පවතින බවයි. දිවියේ සදාතනික සත්‍ය නම් මෙයම නොවේද? අවසාන වශයෙන් මම මෙසේ ලියමි. මේ පුංචි සටහන මේ විසල් යුඟ පුරුෂයාට උපහාර පිණිසය.මට එතුමන් වෙනුවෙන් කළ හැක්කේ මේ සුහුඹුල් කෘතවේදී සටහන ලිවීම පමණකි. ආදරණීය ගාන්ධර්වයාණෙනි, සොඳුරු මිනිසානෙනි, ඔබට චිරං ජයතු!!

චන්දන ගුණසේකර එංගලන්තයේ සිට .....

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
Standard (Image)