Skip to main content
film

 

" අප තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. එහෙත් අප සාමූහිකව දකින සිහිනය යථාර්ථයක් වේ" මෙලෙස ලියූවේ ඉංග්‍රීසි ජාතික සුප්‍රසිද්ධ ගායකයකු හා ලෝකයේ සාමය වෙනුවෙන් හඬක් නැඟූ මානව හිතවාදියකුද වූ ජෝන් ලෙනන්ය.

 

මෙලෙසින්ම සාමූහික දුටු සිහිනයක් සැබෑවක් කරගත් පිරිසක් 1943 වසරේ පෝලන්තයේ සිටියහ. ඔවුන් සිහින දුටුවේ අද දිනයේ ඔබ අප මෙන් සැපවත් ජීවිතයක්, ලස්සන බිරිඳක්, ගෙයක් දොරක් හෝ යාන වාහන ලබා ගැනීම වැනි භෞතික සුඛ විහරණය සඳහා නොවේ. ඔවුන් සිහන දුටුවේ තවත් දිනයක් හෝ නිදහසේ හුස්ම ගැනීමටය. එනම් මරණයෙන් බේරී පලා යාමටය. හිට්ලර්ගේ අමාණුෂික ජර්මානු නාසි හමුදාව පෝලන්තය අල්ලාගත් පසු ඔවුන්ගේ ජුවිෂ් ජාතිකයින් මෙලොවින් තුරන් කිරීමේ වැඩපිළිවෙළ සඳහා නැගෙනහිර පෝලන්තයේ වඳකාගාර ( death camps) ත්‍රිත්වයක් පිහිටවනු ලැබිණි. ඒවා පිළිවෙලින් බෙල්චෙක්, ට්‍රෙබ්ලින්කා සහ සොභිබෝ නම් විය. යුරෝපයේ හැම රටකින්ම පාහේ තමන් ජුවිෂ් ජාතිකයකුවී ඉපදීමේ වරදට මිලියන ගණනක් ජුවිෂ් ජාතිකයින් මෙම වඳකාගාරවට ගෙන එන ලදී. එහිදී ඔවුනට සිදුවූයේ ඉතාමත්ම කුරිරු ලෙස ගෑස් කාමරවල බල්ලන් බළලුන්සේ අන්න අසරණව හුස්ම හිරවී මිය යාමටයි. මෙම හැම කඳවුරකම සිරකරුවන් පලායාමට උත්සහා කළත් ජර්මානු නාසි හමුඳාව සහ ඔවුන්ට කත් ඇඳි යුක්රේන හමුඳා අතින් ඔවුන් සැවොම අමානුෂික ලෙස මරණයට පත්වූයේ එම කඳවුරු වලින් පලායාම සිහිනයක්ම පමණක් බවට පත්කර ලමිනි. එහෙත් 1943 ඔක්තෝබර මාසයේ 14 වෙනිදා මෙම සිහිනය සැබෑ කර ගැනීමට සිරකරුවන් පිරිසක් සමත් වූහ. එම මහා පලායාම සිදුවූයේ " සොභිබෝ" වධක කඳවුරිනි. එදා එහි රැඳවියන් වූ 600 ක් පමණ පිරිස පලා ගිය අතර එයින් 300කගේ පමණ ජීවිත කඳවුර අවට බිම් බෝමබ වලට හසුවී, ජර්මන් හා යුක්රේන භටයන්ගේ වෙඩිපහරට ලක් වී හෝ නැවත අල්ලාගෙන පැමිණ මරා දැමීමෙන් හෝ නැතිවිය. එහෙත් දෙවන ලෝක යුඳ ඉතිහාසයේ සාර්ථකමවූ සිරකරුවන්ගේ පලායාම මෙය බැව් ඉතිහාස පොත් වල සඳහන් විය. මානව ගුණ දහම් වලට නිඟාකළ ඒ කෘර යුඟයේ සිදුවූ මෙම ලොමු දැහැ ගැන්වෙන සත්‍ය පුවත ඇසුරින් තැනූ චිත්‍රපටයක් මට මෑතකදී නරඹන්නට ලැබිණි.එහි නම " Escape from Sobibor "  ය. 

 

වාර්ථාමය අනුසාරයෙන් කෙරෙන විස්තරයකින්( Narration) සිනමා පටය ඇරඹේ. ඉන්පසු රූප රාමුව කොඩි ගසක මුලට එල්ලවන කැමරාව ඉහළට ගොස් එහි ලෙළ දෙන හිට්ලර්ගේ නාට්සි දජයට නාභිගත වීමෙන් අවසන් වේ. ඉන්පසු අපට දැකගන්නට ලැබෙන්නේ සොභිබෝ කඳවුරේ රැඳවියන් එහි සුදු හුණු ගාමින්, මල් පාත්ති වවමින් කඳවුරේ බාහිර පෙනුම යහපත්ව තබා ගැනීමට වහලුන්‍ සේ වැඩ කරමින් සිටිනා අන්දමයි.  කඳවුරෙන් පලා යාමේ සිහිනය ඉතා ඉවසිල්ලෙන් සිත තබාගෙන තමන්ට විශ්වාස කිහිප දෙනකු සමඟ ඒ සඳහා උපක්‍රමයක් සොයමින් සිටිනා කෙනෙකු කඳවුරේ රැඳවියන් අතර සිටින අතර ඔහු නමින් ලියොන්( Alan Arkin) නම් වෙයි. වෙනදා මෙන්ම කඳවුරේ එක් තහනම් ප්‍රදේශයක පිහිටි ආදාහනාගාර චිමිණියකින් නිකුත් වී අහස් කුස සිඹගන්නා කළු දුමාරයත් සමඟ තවත් දිනයක් සොභිබෝවට උදාවේ. උදෑසන පෙරෙට්ටුවේදී ලියොන්ව හමුවන එළවළු කොරටුවේ වහල් සේවයේ යෙදෙන තිදෙනකු කටු කම්බි වැට කපා පලා යාමට තමන් තීරණය කළ බව පවසා සිටියි. කඳවුර අවට මුරට සිටිනා අවිගත් යුක්රේන භටයන් හා කඳවුර අවට බිම පුරා අටවා ඇති බිම් බෝම්බ ගැන ඔවුනට නැවතත් මතක් කර දෙන ලියොන් ඒ ගිනි දවාලේ එසේ පලායෑම සියතින් ගෙල සිඳ ගැනීමක් වැනි යැයි පවසා එසේ නොකරන ලෙස පැවසුවද ඔවුන් තමන් පලා යන මතයේම සිටියි. එකෙණෙහිම පෙරෙට්ටුව විසිරී යාමේ සංඥාව නිකුත්වන අතර ඔවුන්ට සුබ ගමන් කියා ඉතාමත්ම කනස්සල්ලෙන් පවසන ලියොන් ඇතුළු අනෙකුත් රැඳවියන් විසිරී යති. ඊළඟ දර්ශනය " සොභිබෝ" දුම්රිය ස්ථානයයි. ජර්මන් නිලධාරින් හා නිල් පැහැති ඇඳුම් ඇඳ ගත් ලියෝන් ඇතුළු රැඳවියන් පිරිසක් දුම්රිය මඟ දිඟට සිටගෙන පැමිණෙන දුම්රියක් පිළි ගැනීමට සූදානම්ව සිටී. එවිටම ඇසෙන්නේ වෙඩි හඬ වරුසාවකි. ඒ එදා කඳවුරෙන් පැන ගිය තිදෙනාගේ අවසානයයි. ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මේ රැඳවියන් අමතන ජර්මන් නිලධාරියෙකු සිනහමුසු මුහුණින් යුතුව දුම්රියේ පැමිණෙන නවකයින් පිළිගත යුතු බවත් පෙරදා මෙන් කලබල කරගතහොත් ඔවුන්ව වෙඩිතබා මරා දමනබවටත් තර්ජනය කොට වේදිකාව අසල වූ සංගීත තැටියක් වාදනය කරන ලෙස අණකරයි.  එකෙණෙහිම දර්ශනය වන්නේ දුම්රිය මඟ දිගේ දුම්රියපළට ළඟාවන වාෂ්ප දුම්රියක දර්ශනයකි. ඉතා දැඩි හමුඳා රැකවල් මධ්‍යයේ පැමිණෙන දුම්රියේ හැම පෙට්ටියකම වහල මත පවා අවිගත් සෙබළුන්ය. දුම්රිය ළංවත්ම එහි ස්වභාවය අපට පෙනේ. ඒවා කිසිසේත්ම මගී දූම්රිය මැඳිරි නොවේ. සතුන්ටවත් යා නොහැකි බඩු පෙට්ටි වැනි මැඳිරි වල ඇති ඉතා කුඩා කවුළු තුළින් ඒවා තුළ සැමන් ඇතිරුවාක් මෙන් තදවී සිටින මිනිසුන්ගේ අත් එළියට විත් water!, water !! යනුවෙන් පිපාසිතව වතුර ඉල්ලා සිටින දර්ශනය අපගේ හද කම්පා කරවීමට සමත්වේ.  දුම්රිය දුම් දමමින් නතර වන විට කැමරාව එල්ලවන්නේ දුම්රිය මගේ ඇති දුම්රිය නතරකරනයටය. ( train stopper) එයින් ඔවුන්ගේ ගමනේ අවසානය මෙය බැව් අපට හඟවයි.  ඉන්පසු එකා මත එකා වැටෙමින් හා තෙරපෙමින් මගීන් බිමට පනිනා අන්දමත් සෙබළුන් කස ළෙලදෙවමින් ඔවුන් හසුරවන කලබලකාරී වාතාවරණයත් තිරයේ දිඟ හැරේ. ඔවුනට බිමට බැසීමට සහය වෙන පරණ රැඳවියන් නවකයන් කිහිප දෙනෙකුට ජර්මානුවන් විමසුවොත් තමන් යම් කර්මාන්තයක ප්‍රවීණයකු බව පවසා ඉදිරිපත්වන ලෙස ඔවුනට දන්වා සිටී. ඒ මෙහොතේ ඒ මක්නිසාදැයි අපට නොවැටහේ.  සියලුම මගීන් බැසගත් පසු ඔවුන් ඔසවාගෙන ආ ඔවුන්ගේ බඩු භාණ්ඩ එතනම තබන ලෙසත් ඒවා පසුව ඔවුන් සිටිනා තැනට යවන බවත් සහ වයසක සහ ඇවිදීමට අපහසු අයට ප්‍රවාහාන පහසුකම් සපයනබවද පවසා ඔවුන් මෙහි යහතින් පැමිණි බව පවසා ඔවුනගේ නෑදෑ හිතවතුනට දන්වා යවන ලෙසද පවසන්නේ ඔවුන් මේ පැමිණ සිටින්නේ නිවාඩු නිකේතනයකට බැව් ඔවුනට ඒත්තු ගන්වමින් ඔවුන්ව මුලා කොට කළබල වීම වැලැක් වීමටයි.  ඉන්පසු කාන්තාවන් සහ කුඩා දරුවන් එක පසෙකටත් පිරිමින් එක පසෙකටත් වෙන්වන ලෙස අනකෙරේ. එහිදී එකටම ගුලිවී පණ බියේ වෙලී සිටින පවුල් වල සාමාජිකයින්ගේ තත්වය ඔබට හිතාගත හැකි නොවේද?

 

එසේ වෙන්කොට,  යම් දක්ෂකම් ඇත්තන් (Skilled Workers) රඳවාගෙන අනෙක් සියලුම දෙනාට ගමන් මහන්සිය නිවාගෙන විවේක ගැනීමට ප්‍රථම දිය නාගැනීම (showers) සඳහා කැඳවාගෙන යනු ලබයි. ඒ යන්නේ නැවත නොඑන ගමනක් බව පැරණි සිරකරුවන් හා ජර්මන් නිලධාරීන් හැර මේ අසරණයන් නොදනී. ඔවුනට පසුව සිය පවුල්වල සමාජිකයින් සමඟ කඳවුර ඇතුළතදී එක් විය හැකි බව පැවසෙයි. වෘතීය හැකියාවන් ඇත්තන් ඒ ඒ කර්මාන්ත කෙරෙන ස්ථානවලට රැගෙන යනු ලැබෙයි. මෙලෙසින් දිනපතාම දුම්රිය පැමිණෙන අතර දෛනිකව මෙම වැඩපිළිවෙළම සිදුවේ. එමෙන්ම චිමිනියෙන් නිකුත්වන කළු දුම් රොටු සැමදා පැය 24 රේම සොභිබෝ අහස් කුස සිඹ ගනියි. මෙලෙසින් කල් ගතවන අතර කඳවුරේ එදිනෙදා ජීවිතය රූපරාමුවෙන්  රූපරාමුවට තිරයේ දිඟ හැරේ. කුඩා බිළිඳකු කෙසේ හෝ සඟවාගෙන ඇඳුම් මසන කම්හලේ සිටි මවකට සිදුවන ඉරණම හද කම්පාකරන සුළුය. සැමදාම සවසට විවේක කාමරයේදී ලියොන් සහ සැමුවෙල් ප්‍රධාන කිහිප දෙනෙකු කඳවුරෙන් පැනයාම ගැන සාකච්ඡා කළත් එය කරන්නෙ කෙලෙසද යන්න පිළිබඳව ඔවුනට සිතාගත නොහැක. ඒ ගැන සැමදා සිතන ඔවුන් සාමූහිකව එක සම්මුතියකට එකඟවේ . එනම් දිනයක කෙසේ හෝ පැනයාමේදී කඳවුරේ සිටින 600 දෙනාම ගැලවී යායුතු බවයි. දැව ඉනිමං සාදා වැටෙන් පැනීම, උමඟක් හාරා එය හරහා පැනයාම වැනි අදහස් මතුවූවත් ඒවා කළ නොහැකි නිසා තවමත් පැනයාමේ සිහිනය සිහිනයක්වම පවතී. එලෙසම තවත් දිනෙක පැනයාමට තැත් කළ රැඳවියන් 13 දෙනෙකුට ඔවුන් ඇස් ඉඳිරිපිටම අත්වූ ඉරනම තව තවත් ඔවුන්ගේ පලායාමේ සිහිනය යථාර්තයෙන් ඈත් කිරීමට සමත් වෙන අතර එය ඉතාම කල්පනාවෙන් හා සූක්ෂමව කළයුතු බව ඔවුනට ඒත්තු ගන්වයි. හදිසියේම දිනෙක කඳවුරට එන අමුත්තන් පිරිසකි. ඔවුන් ජර්මානුවන් විසින් අල්වාගත් රුසියානු යුද භටයින් පිරිසක් බැව් පසුව ලියෝන්ට දැනගන්නට ලැබේ. එම යුද භටයන් හා මිතුරුව තමන්ගේ අරමුණ එම බට කණ්ඩායමේ නායකයාවූ ඇලෙක්සැන්ඩර් එසේත් නැතිනම් සාෂාට( Rutger Hauer) ලියොන් විසින් පවසනු ලබයි. එහිදී සාෂා සතු යුද දැනුමත් හා ලියොන් ඇතුළු පිරිස සතු සොභිබෝ කඳවුර හා එහි සිටින ජර්මානුවන් ගැන දැනුමත් මේ ඓතිහාසික පැනයාමට උපයෝගීකර ගැනීම ඔවුන්ගේ අරමුණ වේ. පසුව ඔවුන් නිතර හමුවීම ජර්මානු නිලධාරීන්ට සැක නොහිතෙන ලෙස සාෂාට , ලූකා නම් තරුණියක්( Joanna Pacula) ඔහුගේ පෙම්වතිය ලෙස හඳුන්වා දෙන අතර ඔවුන් අතර දිවෙන හද කකියවන අනුවේදනීය නමුදු හිමිනොවනා පෙම , පලායාම පිළිබඳව කෙරෙන සාකච්ඡා අතරම තිරයේ  දිඟ හැරේ. පැනයාම සඳහා එහි සිටින සියලුම ජර්මන් නිලධාරීන් පැයක් අතුලත ඝාතනය කළ යුතු බවත් විදුලි හා ටෙලිෆෝන පහසුකම් කපා හැරිය යුතු බවත් සාෂා පවසන අතර ඒ සඳහා අවශ්‍ය පුද්ගලයින් හා තොරතුරු ලියොන් විසින් සපයනු ලැබෙයි. ඒ අතරම හැකි තරම් ආයුධ සෑදීමටද කම්මල් හා වඩුවැඩ අංශවල වැඩකරන ඔවුනට හිතවත් සඟයන්ට පැවරේ. නිලධාරීන් කිහිප දෙනෙකු තෙදින සංචාරයක් සඳහා කඳවුරෙන් පිටතට ගිය එක්තරා දිනෙක සවස 4ට පැනයාමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් කතිකා කර ගත්තද අවාසනාවට එදා තවත් බට පිරිසක් කඳවුරට පැමිණි නිසා මෙහෙයුම පසුවදාට කල් දැමීමට ඔවුනට සිදුවේ.  පසුවදා සවස 4 සිට පැයක් තුළ ජර්මන් නිලධාරීන්ව මරණයට පත්කරන ආකාරයත් ඉන්පසු කම්බි වැටවල් කඩාගෙන ඔවුන් පැනයන ආකාරයත් ඔබට  සිනමා පටය නරඹාම විඳගන්නට ඉඩ හරිමින් මම සිනමා පටය පිළිබඳව මින් ඉදිරියට කතා නොකරමි. එහෙත් සටහන අවසන් කිරීමට පෙර මගේ සිතේ කකියන කාරණා කිහිපයක් මෙහි සඳහන් කිරීමට අවසර. එදා මිනිසකු විසින් තවත් මිනිස් වර්ගයක් සමූල ඝාතයන කිරීමට ගත් කෘර තීරණයත් ඒ සඳහා ඔහුට උල්පන්දම් දුන් ඔහුගේ හෙංචයියනුත් මිනිස් ඉතිහාසය පුරා ඇතිරූ මහා කළු පැල්ලමට අභියෝග කළ මිනිසුන් පිරිසක් සාර්ථකව මරණය පෙනි පෙනී ඉන් මිදි පලා ගියහ. ඒ ඓතිහාසික පලායාම සිදුවූ 1943 ඔක්තෝබර 14 වෙනිදායින් පසු ලැජ්ජාවට පත් හිට්ලර්ගේ හෙංචයියන් සොභිබෝ කඳවුර වසා දමා සියළුම ගොඩනැඟිලි  ඩෝසර් මඟින් බිමට සමතලා කොට ඒ භූමියේ පයින් ගස් යායක් පැළ කොට භෞතිකව එය සඟවා දැමුවත්,  ඔවුන් එදා මිනිස් සංහතියේ සාරධර්ම සිඳ බිඳ දමමින් හා මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිඳුකළ ඒ පාපතර කෲර ක්‍රියාන්විතයේ කළු පැල්ලම නම් කිසිදාක වසාලිය නොහැකි විය. එදා මිනිසුන් දවාලමින් අහසට බට කළු දුම් රොටු අදත් සිහිනයක් ලෙස ඒ භූමිය අවට වාතලයේ සැරිසරනු ඇත.

 

එදා පණ බියේ මිරිකෙමින් ඔවුන් නැඟූ අඳෝනා අදත් එම වනය සිසාර හමන සුළඟේ මුසුව ඇත.  මෙම සිනමාපටය තැනූ 1987 වසර වනවිටත් එදා සොභිබෝ වඳකාගාරයෙන් පලාගොස් දිවි බේරාගෙන ලොව නන්දෙස වෙසෙන කිහිප දෙනෙකු වසරක් පාසාම එම භූමියට ගොස් එදා ඝාතනයට ලක්වූ තම පවුල් වල ආදරණීයයන් සිහිපත් කරනු ලැබිණි. එහෙත් මෙම සිනමාපට තිරගත වී වසර 31 කට පසුව මා මේ ලිපිය ලියන අද දිනයේ නම් ඔවුන් කිසිවෙකුත් ජීවතුන් අතර ඇති බවටනම් සැක සහිතය.  සත්‍ය වශයෙන්ම සිදුවූ මෙම ඛේදවාචකය මා දුටුවේ ඒ ඇසුරින් තැනූ මෙම සිනමා පටයෙන් වුවත් එය හැබෑටම සිදුවූවාක් නොවේදැයි සිතන විට ඇතිවන භීතිය හා හද සංවේගය නම් මගේ ජීවිතයෙන් කිසිදාක බැහැර නොයනු ඇත. 

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
Standard (Image)