Skip to main content
kalan

 

 

ඒ 1980 වසරයි. දිනය සහ මාසය මට හරියටම මතකයේ නැත. අම්මලා හරහා මට ලැබුණු ඇරයුමකි. ඇරයුම ආවේ අපේ ගෙදර ඇනෙක්සියේ පදිංචියට ආ තරැණ යුවළගෙනි. එනම් ඔවුන් සමඟ සිනමාපටයක් නැරඹීමට යාමට ඔවුන් හා එක්වන ලෙසයි.චිත්රපට  ප්‍රචාරක  දැන්වීම් වලට සවන් දෙමින් හා සිනමා ශාලා ළඟට ගොස් එහි ප්‍රදර්ශනයට  තබා ඇති සිනමා රෑපරාමුවල පිංතූර නරඹමින් සිටි මා කෙතරම් චිත්‍රපට  පිස්සෙකුදැයි ඔවුන් ඒ දින කිහිපයට අවබෝධ කරගෙන උන්හ.

 

මම මේ ඇරයුමින් කුල්මත් වූයේ සති මාස ගණන් උත්සහ කොට තමන් කැමති ගෑනු ළමයාගෙන් කිසිඳු ප්‍රතිචාරයක්  නොමැතිව නන්නත්තාරව වුන් පෙම්වතකුට හදිසියේම තම පෙම්වතියගෙන් පෙම් සිනහවක් ලද පෙම්වතකු පරිද්දෙනි.මම වහාම සූදානම් වී සවස 06:30 දර්ශනය නැරඹීම සඳහා අනුරාධපුරයේ නිව් විජේන්ද්‍ර  සිනමා ශාලාව බලා ඔවුන් සමඟ මගට බැස්සෙමි. ශාලාවට යන තුරැම අප බලන්නට යන්නේ කුමන සිනමා පටයදැයි නොදත්තෙමි.

 

දුර සිටම දුටු සිනමා ප්‍රචාරක  දැන්වීමෙන් මට ඒ අයියාව බදා වැළඳ ගැනීමට තරම් ලෙංගතුකමක් ඇතිවිය. ඒ සිනමාපටය වනාහී මා ගුවන්විදුලියෙන් අසා බැලිය යුතුම යැයි සිතාගෙන සිටි ඊට දිනකට පෙර මුදාහල එච් ඩී ප්‍රේමරත්නයන්ගේ ' පරිත්‍යාගය ' නම් විය .අළුත් සිනමා පටයක් නිසා බොහෝ පිරිස් පැමිණ සිටියත් අප කල් වේලා ඇතිව ගිය නිසා ශාලාව පසුපස හොඳ ආසන ලබා ගැනීමට හැකිවිය.ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමාපටවල ප්‍රචාරක දැන්වීම් වලින් අනතුරැව මා නොඉවසිල්ලෙන් වුන් ' පරිත්‍යාගය' ඇරඹිණි.

 

චිත්‍රපටියේ ප්‍රධානම පාඨය වූ " ඔබේ අතට රන් මුඳුවක් මා දෑතට විලංගුවක්" වෙන්නේ කොහොමදැයි මම බලා සිටියෙමි. මා මුල් වරට ඔහුව දුටුවේ එදායි.ඉස්සකු මෙන් එහෙ මෙහෙ දුව පනින ඉතා කඩිසර ,ලස්සන කට හඬක් ( screen voice) ඇති හුරැබුහුටි ගැටයෙකු තිරයේ දිස්වුනි.ගතානුගතික නළුවකුගේ බරසාර විලාසයක් අහලකවත් නැත. ඔහු ඉතා තාත්විකව රංගනයේ යෙදුණි. මද වේලාවකින් එය රංගනයක් බැව් අමතක වී මාද එහි ජීවත්වන තරමට ඔහු මට සමීප වූයේය.

 

එම වෘත්තාන්තයේ පෙම්වතාට සිටියේ ඔහුයි. ඔහුගේ පෙම්වතිය( වසන්ති චතුරානි) ගේ අක්කාව විවාහකර ගැනීමට පැමිණිය මනමාලයා( ටෝනි රනසිංහ) ය. එහෙත් ඇයට දෑවැද්දක් දීමට වත්පොහොසත් කමක් නොමැති නිසා විවාහය නොකෙරෙන තැනට වැඩ සිද්ධවෙමින් පැවතිණි.තම පෙම්වතියගේ අක්කණ්ඩියගේ විවාහය කරදීමට ඔහුට මුදල් අවශ්ය විය. ඒ සඳහා ඔහු ශිෂටසම්පන්න හා නීතිගරැක ලෙස උදව් පැතුවත් මිතුරන්ගෙන් හා තම හාම්පුතාගෙන් අලුයම ඉවතලූ කෙළ පිඩක් පරිද්දෙන් ප්‍රතික්ෂේප  වුණි.

 

තම නෑනණ්ඩිය පිළිබඳව වූ මානුෂික හැගීම් හා තම පෙම්වතියට තිබූ අවංක ආදරය හමුවේ ඔහුගේ ආචාර ධර්ම හා නීතිගරැක සම්මතය බිඳී ඉහිරී සුනුවිසුනූ වී ගියේය.නෑනණ්ඩියගේ විවාහයට මුදල් සොයනු වස් ඔහු තම සේවා ස්ථානයෙන් බඩු ( තඹ) සොරකම් කිරීමට පෙලැඹුනි.කෙසේ හෝ මේ අයුරින් මුදල් සොයා ගෙන නෑනණ්ඩියව විවාහ කරදී ඔවූන්ව දෙවැනිගමනටත් පිටත්කොට ඉතා තෘප්තිමත් දෙනෙතින් යහළුවන් සමඟ ගිටාරයක් වයමින් ප්රීති වෙද්දී පොලිස් ජීප්රියක් පැමිණ ඔහුව අත්අඩංගුවට ගනු ලැබීමෙන් සිනමාපටය අවසාන විය.නෑනණ්ඩියගේ අතට රන් මුදුවක් ලබා දී තම දෑතට විලංගුවක් උරැමකරගත් ඒ මහා සහෝදරත්වයේ හා ආදරයේ පරිත්යාගය එය විය.

 

එදා මා ඒ දුටු හුරැබුහුටි නළුවා අමරසිරි කලංසූරියයි. බැලූ බැල්මට නළුවකුට තිබිය යුතු ආරෝහපරිණාහ දේහයක් ඔහුට නොවීය. එහෙත් ඒ කට හඬ අපගේ හදවතටම දැනුණි. ඒ මුහුණේ මාංශ පේශීන්ගෙන් හා ඇස් වලින් ඔහු ඉපැද්දූ හැගීම් ඔහු ලෝක පූජිත නළුවකු බව අපට පෙන්වීය. ආයාසයකින් තොරව ඔහු එම චරිතවල ජීවත් වූවේය.1940 බිනර මස විසි වෙනිදා මහනුවරදී ජන්ම ලාභය ලැබූ මේ විශිෂට රංගදරයා මහනුවර ධර්මරාජ විදුහලින් සිප් සතර හැදෑරීය.වයස අවුරැදු දාහතේදී සිය මවගේ වියෝවත් සමඟ සොහොයුරන් තිදෙනෙකුවද බලා කියා ගැනීමේ පවුල් බර ඔහු මත වැටිණි.

 

වැඩිදුර ඉගෙනීම අමතක කොට දිවි සටනට උරදීමට ඔහුට සිදුවිය. මුලින්ම දිනකට රැපියල් 1.75 ක වැනි සුළු වැටුපකට අනියම් කම්කරැවකු වශයෙන් ඔහු රැකියාව ඇරඹීය.ඉන්පසු සේවා ස්ථාන කිහිපයකම වැඩ කොට අවසානයේ තම සේවා ප්රධානියා හා ඇතිවූ ආරවුලකින් පසුව නැවත යමෙකු යටතේ වැඩ නොකිරීමට සිතා ගත්තේය.

 

ඔහු කෑගල්ලේ හා පේරාදෙණියේ රෙදි වෙළදාමක් පටන් ගත්තේ මෙහි ප්රතිඵලයක් හැටියටය. එයින් නොනැවතුණු මේ උත්සහවන්ත තරැනයා ඇඳුම් මැසීමේ ටේලර් සාප්පුවක් ඇරඹීය. එය හොඳින් දියුණු වී ටේලර් සාප්පු දෙකක හිමිකාරයකු වන්නට ඔහුට වැඩි දිනක් ගත නොවුණි.කෙසේ වෙතත් දෛවයේ සරදමකින් හෝ අපගේ වාසනාවට 1969 දී මේ හුරැබුහුටි තරැනයා සිනමාවට එක්විය. ඒ රැයක් දවාලක් නම් චිත්‍රපටියේ  රඟපාමිනි.

 

ඉන්පසු 1969 දීම සුගතපාල සෙනරත් යාපා සූරීන්ගේ උසස් නිර්මාණයක්වූ හන්තානේ කථාවේ විජය කුමාරතුංගයන්ගේ මිතුරකුගේ භූමිකාව රඟ දැක්වීය. සිනමා ලෝකයේ සැමගේම අවධානය මේ පුංචි සිත්ගන්නා සුළු නළුවා වෙත යොමුවන්නට පටන් ගති.මෙහි ප්‍රතිපලයක්  ලෙස 1974 වසරේදී ධර්මසේන පතිරාජයන්ගේ අහස්ගව්ව චිත්රපටයට එක්වීමේ අවස්ථාව උදාවිය.තම ජීවිතයේ හැරවුම් ලක්ෂයක්වූ අහස්ගව්ව චිත්‍රපටියේ  ඒ ප්‍රතිභාපුර්ණ  රංගනයට හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට අමරසිරි කලංසූරිය රංගදරයා සමත්විය.තම දිවියේ රඟපෑ දෙවැනි සිනමාපටයෙන්ම හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමෙන් ඔහු මොනතරම් නම් දක්ෂ නළුවකුද යන්නට නිදසුන් සපයයි.

 

එම සිනමා පටයේ විමල් කුමාරද කොස්තා ( ගුණේ) සමඟ විජේ නම් රැකියාවිරහිත තරැනයන්ගේ භූමිකාව ඔහු කෙතරම් නම් සාර්ථකව හා තාත්විකව රැඟුවේදැයි අවබෝධවීමට නම් එම සිනමාපටය නැරඹිය යුතුමය.කවදත් තම චිත්‍රපටි තුළින් අළුත් මුහුණු සිනමාවට දායාද කළ සිංහල සිනමාවේ මැදමාවතේ සිනමා අධ්‍යක්ෂ  එච් ඩී ප්‍රේමරත්න  1978 දී අපේක්ෂා චිත්‍රපටියට අමරසිරි කලංසූරිය එසේනැතිනම් කවුරැත් ආදරයට ඇමතූ ලෙස කළංව තෝරා ගති.

 

අපේක්ෂා චිත්රපටයේ ඒ සුන්දර අව්‍යාජ්‍ය පෙම්වතාගේ චරිතය අප කෙසේනම් අමතක කරමුද? එහි එක් ජවනිකාවක මාලනි ෆොන්සේකා සමඟ රේල් පීලි මත දුවමින් ගීයක් ගයමින් කළ ඒ ආදරණීය රංගනය මා තව තවත් ඔහුට ඇලුම් කිරීමට පෙළැඹීය.1978 දීම සුනිල් ආරියරත්නයන්ගේ අනුපමා සහ ධර්මසේන පතිරාජයන්ගේ බඹරැ ඇවිත් නම් චිත්රපටවල කලං විදහා දැක්වූයේ අද්විතීය රංගනයකි.

 

අසිත් අයියා ( විජය) වෙනුවෙන් තම දිවිය කැප කළ රජී මල්ලී නම් චරිතය අනුපමා චිත්‍රපටියේ   පනපෙවීය. මෙහි එන එච් ආර් ජෝතිපාලයන් ගයන ' රාජකිරැලු පලන්දාපු රජ්ජුරැවෝ ගීතයට පිරිස සමඟ කලං කළ හුරැබුහුටි රංගනය ඉතාමත් සිත්ගන්නා සුළු විය.බඹරැ ඇවිත් සිනමාපටයේත් විජයගේ මිතුරන් ලෙස කොස්තා හා එක්ව කළ ඒ රංගනය කෙතරම් නම් තාත්විකද? ඒ රංගනයන් තුළප්‍රේක්ෂකයන්  ගිලී කිමිඳවීමට කලං සමත් විය.

 

1980 දී එච් ඩී ප්‍රේමරත්න නැවතත් තම චිත්‍රපටියේ ප්‍රධාන  භූමිකාව නිර්ලොබීව ප්‍රධානය  කළේ අපේක්ෂා ඇතුළු එතෙක් කලං රඟපෑ චිත්‍රපටි  කළාවූ සාධාරණය හේතුවෙනි. මේ චිත්‍රපටය  නම් මා මේ සටහන මුලදීම ඔබට කියූ පරිත්‍යාගයයි .ඉන්පසු 1986 දී කලංගේ සිනමා දිවියේ තවත් නිම් වළල්ලක් විවර කළ ධර්මසිරි ගමගේ සූරීන්ගේ පූජා නම් වූ ඒ අතිශයින්ම සංවේදී දැවැන්ත නිර්මාණයේ අලුගෝසුවාගේ පුතාගේ භූමිකාව රඟදැක්වීමට වාසනාව උදා විය.

 

පූජාහී තම නැගෙනියව දූෂණය කළ කාමාතුරයාව මරා දැමීමේ වරඳට උසාවියෙන් වරඳකරැ වී මරණීය දණ්ඩනයට යටත්ව හුස්ම සිරවී මරණයට පත්වන තුරැ එල්වා තැබීමට යටත්වීමට බන්ධනාගාරයේ අලුගෝසුවා( ජෝ අබේවික්රම) ගේ පුත්රයා ( කලං) ට සිදුවේ.එම උද්වේගකාරී හා අති සංවේදී ජවනිකාවේ කලං රඟපෑ අපූරැව විස්තර කරන්නට මම තවමත් වදන් සොයමි. එය ඒ තරම්ම ජීවමාන රංගනයකි.සුදුපැහැ රෙදිකඩකින් හිස ආවරණය කර පෝරකය වෙත නිලධාරීන් දෙදෙනකු විසින් ගෙන එන අවස්ථාවේ ඔහුගේ ඇස්වල තිබූ අසරණභාවය , මරණ බිය කලං මොනවට නිරෑපනය කළේය. මට දැනෙන අන්දමට එය ඔහුගේ විශිෂ්ටතම රංගනයයි.ඒ ජවනිකාවේ කලංගේ පියා ලෙස රඟපෑ ජෝ අබේවික්‍රමය තමන්ගේම පුතා මැරිය යුතු අලුගෝසුවාගේ භූමිකාව කෙතරම් නම් තාත්විකව සහ සංවේදීව කළේද යත් එය කඳුළක් නොහෙළා නැරඹූ කෙනෙකු වේනම් ඒ දෑසේ කඳලු නොඑන රෝගයකින් පෙළෙන්නෙකුම විය යුතුය.

 

ප්‍රේමසිරි  කේමදාසයන්ගේ සංවේදී තනුවට පණ්ඩිත් අමරදේවයන්ගේ ඒ ගැඹුරැ හඬ මහා ශෝකී සජ්ගායනයක් ලෙසින් පසුබිමින් ඇසුණි. ඒ ධර්මසිරි ගමගේ සූරීන් අතින් ලියැවුණු ' පූජා' ගීතයයි.මෙහිදී තම පුතා (කලං ) එල්ලීමට ලීවරය ක්‍රියා කරවීමට පෙර තම පපුව අල්ලාගත් අලුගෝසුවා හදවත පුපුරා මැරී වැටෙන්නේ තම පුතුට අභය දානය පූජා කරමිනි. ලොවේ සියලුම පියවරැන්ගේ පීතෘ සෙනෙහස නම් එය බව මේ අනුවේදනීය පුවත තුළින් මෙම සිනමා පටයෙන් දුන් පණිවුඩයයි.

 

මෙම අද්විතීය රංගනයන් වෙනුවෙන් ජෝ අබේවික්රමයන් වසරේ හොඳම නළුවා ලෙසත් අමරසිරි කලංසූරිය හොඳම සහය නළුවා ලෙසත් 1986 ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ මේ නිසාය.පොළොන්නරැවේ ජීවත්වූ , සමාජය විසින්ම දාමරිකයෙකුබවට පත්කළ රටම හෙල්ලූ පොඩි විජේගේ ජීවිතය අළලා 1987 වසරේදී නිර්මාණය කළ පොඩි විජේ චිත්රපටයේ පොඩි විජේගේ භූමිකාව රඟ දැක්වූයේද කලංය. එලෙසම වජිරා චිත්රපටයේ කලංගේ රංගනයද රසික සිත් සතන් පැහැරගති.

ඉන්පසු කලංගේ සිනමා දිවියේ වූයේ දිගු නිහඬතාවයකි.

1987 න් පසු සිංහල සිනමාවේ ව්යවසනයට කලංගේ ඉදිරි ගමනද බිලිවූයේ අපේම අවාසනාවටය. නීතිය වල්වැදුණු , මනුෂ්ය ජීවිතයේ වටිනාකම බිංදුවට ගිය , ගිනිගත් දේශයක කුමන නම් සිනමාවක්ද?ඉන්පසු ලංකාවේ ප්රථම ටෙලි නාට්යවූ ඩී බී නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු හී ප්රධාන භූමිකාවක් රඟපෑමේ ගෞරවය කලංට හිමි විය.2001 වසරේදී රොඩ්නි විධානපතිරණගේ ' ශිල්ප දෙනු මැන ' ටෙලි නාට්යයෙන් පසු කලං රෑපවාහිනියේද දක්නට නොලැබුණි.2004 දී උදයකාන්ත වර්ණසූරියගේ දියයට ගින්දර නම් චිත්රපටයට සහ ඉන් වසර දහයකට පසු 2014 වසරේදී කේ සරා( Que Sera) නම් චිත්‍රපටියට  කලංගේ දායකත්වය ලැබිණි.

 

එහෙත් කිසිදු සිනමා සම්මාන ප්‍රධානයක  හෝ රිදී රැයක් වැනි නළු නිළියන් එකතුවූ සංදර්ශනයකදී හෝ අමරසිරි කලංසූරිය නම්වූ ඒ සිංහල සිනමාවෙන් අපේම අවාසනාවට හරියට වැඩක් නොගත් අග්‍රගන්‍ය  නළුවා දක්නට නොලැබුණි. ඔහුට ආරාධනා නොකළාද එසේත් නැතිනම් කලං ආරාධනා ප්රප්‍රතික්ෂේප  කළාද යනවග දන්නේ ඒ උත්සව සංවිධායකයෝම පමණි.මා මෑතකදී කළංව රෑපවාහිනියේ දුටුවේ එතුමා කොස්තාද සමඟ සහභාගී වූ එක්තරා වැඩ සටහනකදීය. මට එහි නම මතක නැත.එදා මා දුටුවේ මගේ හදවතේ සිටි ඒ හුරැබුහුටි අව්‍යාජ  ගැටවරයා වෙනුවට මැදිවියේ තැන්පත් පියෙකි. එතුමාගේ මුහුණේ ඒ අව්‍යාජ  සිනහවම තිබුණත් එදා තිබූ සැහැල්ලුබව වෙනුවට යම් කලකිරීමක සේයාවක් දක්නට ලැබුණි.

 

ඒ කෙසේ වෙතත් ආදරණීය කලං ඔබගේ සුවහක් රසික රසිකාවින්ගේ හදවත් තුළ ඔබ එදා තැබූ නොමැකෙන සටහන අදටත් එලෙසම බව පවසමින් මට සමුගන්නට අවසර. කවුරැන් හෝ නිෂ්පාදනය කරන උසස් සිනමා කෘතියක ඔබව නැවතත් දක්නට ලැබේවා!

 

ඔබට චිරං ජයතු!!

 

චිත්රපට සහ තිරගතවූ වසර ඇතුළු සමහර තොරතුරැ අන්තර්ජාලයෙන් ලබාගත්බව කරැණාවෙන් සලකන්න.

 

චන්දන ගුණසේකර  එංගලන්තයේ සිට .....

Add new comment

Plain text

  • No HTML tags allowed.
  • Lines and paragraphs break automatically.
  • Web page addresses and email addresses turn into links automatically.
Standard (Image)