Skip to main content
Rocket

 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබන සිසුවකු විසින්  ගුවන් ගත කළ හැකි  රොකට්ටුව නිපදවා ඇත.එල්.එච්. ගිහාන් හෙට්ටිආරච්චි සිසුවා විසින් නිර්මාණය කර ඇති මෙම රොකට්ටුව    කිලෝ මීටර් 20ක දුරකට යැවිය හැකි   බව පැවසේ 

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමීව පැවති ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබිණි.ප්‍රදර්ශනය විවෘත කිරීමට පෙරේදා (13) එහි ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද ඇගැයීමට එය ලක්විය.

 

 අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණික දැනුම ලබා  ගෙන මාස දෙකක කාලයක් ගත කර මෙය නිපද වූ බව පැවසූ ගිහාන් සිසුවා එයට පැයට කිලෝ මීටර් 750ක වේගයකින් ගමන් කළ හැකි  බවද පැවසීය . මෙම රොකට්ටුව උසින් අඩි 20ක් වන අතර බර කිලෝ ග්‍රෑම් 25කි

 

තමන්ගේ මෙම නිර්මාණය පෙරේදා නැරඹූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙය අගය කරමින් සතුට පළ කළ බවත් මෙය වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් පවසමින් රොකට්ටුව ගුවන්ගත කරන අවස්ථාවට සහභාගි වන බව පැවසූ බව ද ගිහාන් සිසුවා පැවසීය. 

 

තමන්ට මෙම රොකට්ටුව නිෂ්පාදනය කිරීමට රුපියල් 50,000ක පමණ මුදලක් වැයවූ බව පැවසූ ගිහාන් මෙය ගුවන්ගත කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දෙක යොදා කිලෝ මීටර් 20ක දුරක් යැවීමට රුපියල් ලක්ෂ නවයක පමණ මුදලක් වැයවන බව ද කීය. තමන්ට මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීමට සහය ලැබෙන්නේ නම් ශ්‍රී ලංකාවේ නම ඉහළ තැනකට ගෙන යාහැකි බව ද කියා සිටියේය. 

(Photo -BMV Facebook Page )