Skip to main content

 මෙහෙම අහලා නැද්ද කවදාවත්...? ඇයි එහෙම අහන්නේ කියලා හිතිලා තියෙනවද කවදාවත්...? ඇයි ඒ කියලා හිමින් හොයලා බලන්නකෝ එහෙනම්...එතකල් ඔටුවා ගැන .හොයමුද අපි..?


ඔටුවා ගැන මොනවද දන්නේ...? කාන්තාරයේ නෞකාව කියලා පුංචි කාලේ ඉගෙන ගත්තා. ඔටුවට වතුර නැතුව දවස් ගාණක් ඉන්න පුළුවන් කියලා අහලා තියෙනවා. තව...කිරි බීලා වැඩෙන සතෙක් කියලා දන්නවා. ඔන්න ඔය වගේ දේවල්නේ අපි දන්නේ ඔටුවා ගැන. ශ්‍රී ලාංකාවේ අපිට ගවයා වගේ අරාබිකරේ ඉන්නේ ඔටුවා. ඉතිං එයා ගැනත් පොඩ්ඩක් හොයලා බලමු එහෙනම්.

5.png
ඔටුවා කියන්නේ ක්ෂීරපායි සතෙක්. කිරි බී වැඩෙන හැම සතෙක්ම
අයිතිවෙන්නේ ක්ෂීරපායි ගණයට කියලා දන්නවනේ. ඔටුවගෙ මොල්ලියක්
තියෙනවා දැකලා තියෙනවා නේද..? අන්න ඒකේ තමයි එයාගේ ශක්තිය
එහෙමත් නැත්තන්ම් මේදය ගබඩා කරන් ඉන්නේ. කාන්තාරේ එයා ගමන්
කරනකොට ඒ ශක්තිය තමයි එයා ප්‍රයෝජනයට ගන්නේ. ඔටුවා කියන්නේ
දිර්ඝ කාලයක් තිස්සේ ගෘහාශ්‍රිතව හැදෙන සතෙක්. අපේ ගවයා වගේම.
එයාලගෙන් කිරි, මස් ලබාගන්නවා වගේම ඔටු කෙඳි සහ හිස කෙස් වලින්
ඇඳුම් නිර්මාණය සිදුවනවා. ඒ වගේම කාන්තාරය හරහා ගමන් කිරීමේදි
මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් ඔටුවන්ට යොදා ගන්නවා.
ඔටුවන් ජීවි විශේෂ තුනක් ඉන්නවා. ඒකෙන් තනි මොල්ලියක් තියෙන
ඔටුවන් 94%ක් ඉන්නවා. මොල්ලි දෙකක් තියෙන අය ඉතුරු කොටස
නියෝජනය කරනවා. Wild Bactrian කියලා වෙනම ඔටුවෝ විශේෂයකුත්
ඉන්නවා. අරාබිය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව, චීනය මොංගෝලියාව, වැනි
ප්‍රදේශ වල ඔටුවන් ව්‍යප්තව ජීවත් වෙනවා.
සමාන්‍යයෙන් ඔටුවෙක්ගේ ආයු කාලය කොච්චරක් විතර ඇද්ද...? 10ක්
15ක්...? නෑ... එයාලා සාමාන්‍යයෙන් අවුරුදු 40ක් 50ක් විතර ජීවත් වෙනවා.
සම්පූර්ණයෙන් වැඩුණු ඔටුවෙකුගේ උස පාදයේ සිට උරහිස දක්වා මීටර්
1.85 වගේම පාදයේ සිට මොල්ලිය දක්වා උස මීටර් 2.15ක් විතර වෙනවා.
ඔටුවෙක් එක්ක තරගෙට දුවමුද....? මට නම් බැරිවෙයි. මොකද එයා පැයට
කිලෝමීටර් 65ක වේගෙන් දුවනවනේ. ඒ වගේම මොනවා හරි බරක්
උසුලගෙන එයාලට පැයට කිලෝමීටර් 40ක වේගෙන් යන්නත් පුළුවන්.

ශක්තිවන්ත සතෙක් නේද...? Bactrian ඔටුවට පුළුවන් කිලෝග්‍රෑම් 300 -
1000 අතර බරක් ඔසවන් යන්න. අනික් ඔටුවන්ට පුළුවන් කිලෝග්‍රෑම් 300
- 600 අතර බරක් ඔසවන් යන්න.
ඔටුවන්ගේ පාද කුර සැකසිලා තියෙන්නේ ඕනම රළු පාංශු භූමියක
ඇවිදගෙන යන්න පුළුවන් විදියට. ඔවුන්ගේ දිග ඇස් පිහාටු, වැලි කුණාටු
වලි ඇස් ආරක්ෂා කර ගැනීමට උපකාරි වෙනවා. ඒ වගේම ඔටුවන්ගේ
උගුරේ පිහිටා තිබෙන විශේෂ පටලයකින් නිකුත් කරන ශබ්දයෙන්
ඔවුන්ගේ ආධිපත්‍ය පැතිරවීම වගේම ගැහැණු සතුන් ආකර්ෂණය
කරගැනීමට ද උපකාරි වෙනවා.


ඉස්සර අපි හිතුවා නේද ඔටුවගේ මොල්ලියේ වතුර ගබඩා කරලා
තියාගන්නවා කියලා. හැබැයි ඒක එහෙම නම් නෙමෙයි. මම කලින් කිව්වා
වගේම ඒ මොල්ලි වල තැන්පත් කරන් ඉන්නේ මේදය. කාන්තාරයේ ගමන්
කරනකොට ඒ මේදය ශක්ති ප්‍රභවයක් බවට පත්වෙලා මේ සතුන්ට
ශක්තිය ලබා දෙනවා. එම ලැබෙන ශක්ති ප්‍රමාණය හේතුවෙන් ඔටුවන්ට
දැනෙන ජල අවශ්‍යතා ප්‍රමාණය සීමා සහිත වෙනවා. අන්න ඒක නිසා
තමයි අපි කියන්නේ ඔටුවන්ට වතුර නැතුව දවස කීපයක් ඉන්න පුළුවන්
කියලා. හැබැයි එහෙම වුණත් දවස් 10කට සැරයක්වත් ඔටුවෙක් වතුර
බොන්න ඕන. එහෙම නැතිනම් එයාගේ ශරීරයෙන් 30% ක කොටසක්
විජලනයට ලක් වෙන්න හැකියාව තියෙනවා.


ඒ වගේම මෙයාලගේ රතු රුධිර සෛල වල හැඩය ඕවලාකාර හැඩයක්
ගන්නවා. ඒක අනික් ක්ෂීරපායි සතුන්ගේ රතු රුධිර සෛල වල රවුම්
හැඩයෙන් වෙනස් වුණ හැඩයක්. මේ හැඩය විජලනයේදි රුධිරය ගලා
යාමට පහසුවක් වෙනවා. දන්නවද ඔටුවෙකුට මිනිත්තු 3කදි වතුර ලීටර්
200ක් බොන්න පුළුවන්. මේ හැමදේම උපකාරි වෙන්නේ මේ සතුන්ට
කාන්තාරයේදි සිය ජීවිතය නොනැසී පවත්වා ගන්න. වතුර නැතුව අනික්
සත්තු මැරෙන කොට, කර්කෂ දේශගුණික තත්ව වලදි අනික් සත්තු
මැරෙද්දි ඔටුවට හැකියාව තියෙනවා තමන්ගේ ජීවිතේ රැකගන්න.
ඔටුවන්ගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක් වෙනවා. ඒත් රාත්‍රියේ
සීත දේශගුණයක්දි එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වගේ වෙනවා.
ඔටුවන් සහ අනෙකුත් සතුන් සංසන්දනය කරනකොට සාමාන්‍යයෙන් අනික්
සතුන්ගේ ශරීර වලින් සංචිත ද්‍රව ලීටර් 30 - 40ක් පමණ ක්ෂය වෙන අතර
ඔටුවන්ගෙන් ක්ෂය වෙන්නේ ලීටර් 1.3ක් විතර. ඔටුවන්ගේ ශරීරය

සැකසිලා තියෙන්නෙම කාන්තාර ජීවිතේකට අනුගත වෙලා. සීත කාලෙට
ඔවුන්ගේ ශරීරය මත ලොම් වැඩෙනවා. ඒව උෂ්ණ කාලේ වෙනකොට
හැලිලා යනවා. ඔටුවන්ගේ වකුගඩු සැකසිලා තියෙන්නේ අවම මුත්‍රා
නිෂ්පාදනයක් සඳහා. මොකද ඔටුවා කාන්තාරේ ගමන් කරනකොට
විජලනය වීමෙන් වැළැක්වෙන්න.
ලංකාවේ අපිට ගවයා වගේ තමයි අරාබිකරේට ඔටුවා කියලා මම
කිව්වනේ. ඉතිං මේ ඔටුවගෙන් ඔටු කිරි ලබාගන්නවා, වගේම ඔවුන්ගේ
මස් අනුභව කරනවා. ඔටු කිරි විටමින්, ඛණිජ ලවණ, ප්‍රෝටීන් සහ
ප්‍රතිශක්තිකරණ ප්‍රහේද වලින් ඉතාම පොහොසත්. කිරි වලින් යෝගට්, චීස්
එහෙමත් නිෂ්පාදනය කරනවා.
මේ වෙනකොට ඔටුවන්ව සංචාරක කර්මාන්තය සඳහා භාවිතාවෙන
සතෙක්. භාණ්ඩ ප්‍රවාහනය සහ මගී ප්‍රවාහනයට අමතරව තමයි ඒ. ඒ
වගේම ඔටු රේස් දැකගන්නත් පුළුවන්.
ඕනම දේශගුණික තත්වෙකට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිමත් දේහය
හිමි මේ ආඩම්බරකාර අහිංසකයා තවත් කාලයක් වැලි කුණාටු වලින්
පිරිනු කාන්තාර වල ඇවිදගෙන යනවා අපිට දකින්න පුළුවන් වේවි.

 

Sri Lankan Editor

නදීශානි බණ්ඩාර දොඩංගොල්ල .දෝහා සිට ....

 Sri Lankans Online Sub Editor Doha, Qutar